කවුද මේ අවලස්සන ඇමෙරිකානුවා?

පහුගිය කාලය පුරා ශ්‍රී ලංකා දේශපාලනය තුළ අවලස්සන ඇමෙරිකානුවකු පිළිබද කතාවක් කරලියට පැමිණ තිබුණේ විමල් වීරවංශ විසින් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ‘අවලස්සන ඇමෙරිකානුවෙකු’ ලෙස හදුන්වා දීම නිසා ය. මෙකී අවලස්සන ඇමෙරිකානුවා යන ඛණ්ඩය විමල් වීරවංශ විසින් උදෘත කර ගන්නට ඇත්තේ The Ugly American නම් වූ කෘතියෙන් යැයි අපි අනුමාන කරන්නෙමු. ඉයුජින් බර්ඩික් නම් වූ දේශපාලන විද්‍යාඥයා සහ විලියම් ලෙඩරර් නම් වූ ගත් කතුවරයා විසින් ලියා ප්‍රකාශයට පත් කරනු ලැබූ The Ugly American නම් දේශපාලනික කෘතිය ප්‍රකාශයට පත් වූයේ 1958 වසරේ දී ය. පිටු 285 කින් යුතු එය ලෝක ඉතිහාසයේ වැඩිපුරම අලෙවි වූ දේශපාලනික කෘතිවලින් එකක් ලෙස ද වාර්තාගත වී තිබේ. මේ නිසාම එය පසු කාලීනව “Iconic Cold War text” ලෙස ද නම් කරනු ලැබිණි.

අග්නිදිග ආසියාවේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නවල විලාසය සහ හරය ගැන එම යුගයේ දී මෙකී කතුවරුන් දැඩි ලෙස කලකිරීමකට පත් ව සිටියහ. දේශීය භාෂා ඉගෙන ගැනීමට, දේශීය සිරිත් විරිත් අනුගමනය කිරීමට සහ කලාපීය හමුදා උපක්‍රම භාවිතා කිරීමට කැමති නම්, ඇමරිකානු නිලධාරීන්ට සහ සිවිල් වැසියන්ට අග්නිදිග ආසියානු දේශපාලනයේ සැලකිය යුතු වෙනසක් කළ හැකි බවට වූ විශ්වාසය ඔවුන්ගේ යම් යම් ලේඛන හරහා ප්‍රදර්ශනය කිරීමට උත්සාහ දරා තිබිණි. මෙකී කෘතියෙන් සම්පූර්ණයෙන්ම පාහේ නිරූපණය වන්නේ විදේශයන්හි කොමියුනිස්ට් රාජ්‍ය තාන්ත්‍රික සාර්ථකත්වයට තුඩු දුන් එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික බලකායේ අසාර්ථකත්වය යි. මේ නිසාම දේශීය සංස්කෘතිය අවබෝධ කර ගැනීමට අසමත් වූ ඇමෙරිකානුවන්ට අග්නිදිග ආසියාවේ දේශපාලන පැවැත්ම සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වී ගිය ආකාරය එකී සමාජය පිළිබඳ අධ්‍යයනයෙන් මනා කොට අවබෝධ කර ගත හැකි ය.

විවිධ දේශපාලන විදුවතුන්ගේ මතය වූයේ, පසු කාලයේ විශේෂයෙන්ම කෙනඩි පාලන සමයේදී සාම බලකාය පිහිටුවීම සදහා මෙකී The Ugly American කෘතිය අර්ධ වශයෙන් පිටිවහලක් වන්නට ඇති බවයි.

මෙහිදී Ugly යන වචනය භාවිත කිරීමට හේතුව එමගින් සිය අකමැත්ත විවිධ අංශ කීපයක් හරහා නිරූපණය කිරීමට ඇති හැකියාවයි. එනම් අපකීර්තිමත්, නොහොබිනා, අවලක්ෂණ, අනතුරු සහිත, අශෝභන, දරුණු, විකට, විරූපී, අමනෝඥ, නිගරුකටයුතු, අකර්මන්‍ය, අකාලානුරූපී වැනි අර්ථ රැසක් මෙම Ugly යන වචනයෙන් නිරූපණය වීම ම, කතුවරුන්ගේ අදහස් සහ ප්‍රතිපත්ති ඉතා හොදින් සමාජගත කිරීමට සමත් වී තිබිණි. විදේශයක ජීවත් වන ඇමෙරිකානු ජාතිකයෙකුගේ හැසිරීම සෑම ආකාරයෙන්ම එරට ස්වදේශිකයන්ට අහිතකර නම් ඔහු The Ugly American නොහොත් අවලස්සන ඇමෙරිකානුවකු ලෙස එදා සමාජය විසින් හදුන්වා දී තිබුණි.

බටහිර සමාජය තුළ සමාජීය වශයෙන් පැවති විවිධ විපර්යාසවලදී ඇමෙරිකානුවන්ගේ අපකීර්තිමත් හැසිරීම් රටාව කරණකොට ගෙන ලෝකයා විසින් යම් යම් පුද්ගලයන් නම් වශයෙන් අවලස්සන ඇමෙරිකානුවන් ලෙස හැදින්වීමට පවා පසුබට වූයේ නැත. මේ අතරින් මෑත කාලීන ඇමෙරිකානු ජනපතිවරයෙකුව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් ද එසේ නම් කරනු ලැබූවන්ගෙන් කෙනෙකි. ජනාධිපති උපදේශකවරයෙකු සහ කැන්සාස් ප්‍රාන්තයේ ලේකම්වරයෙකුව සිටි ක්‍රිස් කොබැච්, ඉන්දියානා සම්මේලන සාමාජික ටොඩ් රොකිටා, මිසුරි ප්‍රාන්තයේ නගරාධිපති එරික් ග්‍රෙයිටන්ස් ආදීන් ද අවලස්සන ඇමෙරිකානුවන් ලෙස ප්‍රසිද්ධියට පත්වීමට හේතු වූයේ ඔවුන් සිය දේශපාලනික බලතල උපයෝගී කර ගනිමින් සිදු කරනු ලැබූ සුවිසල් අකටයුතුකම් ය.

එකී අවලස්සන ඇමෙරිකානුවන් සියල්ලන්ම පාහේ සිදු කළේ යැයි කියන අකටයුතුකම් හා සංසන්දනය කිරීමේ දී පසුගිය දා විමල් වීරවංශ විසින් නම් කරනු ලැබූ අවලස්සන ඇමෙරිකානුවාගේ අවලස්සන ඉතා ඉහලින් කැපී පෙනෙන ආකාරයක් දකින්නට තිබේ. මන්ද යත් ඉහතින් නම් සදහන් කළ අවලස්සන ඇමෙරිකානුවන් සියලු දෙනාම පාහේ උපතින්ම ඇමෙරිකානු ජාතිකයින් වුව ද වීරවංශ විසින් සදහන් කළ එකී අවලස්සන ඇමෙරිකානුවා පසුකාලීනව ඇමෙරිකන් ජාතිකයෙකු බවට පත් වුව ද, උපතින් ශ්‍රී ලාංකිකයෙකු ව සිටි බව අප කාටත් තවමත් හොදින් මතක ඇති බැවිනි.

දුලංජලී මුතුවාඩිගේ

එතෙර - මෙතෙර