තමන් ජනාධිපතිවරයා ලෙස පත් කරගන්නා ලද්දේ සහල් හා පරිප්පු මිල බැලීමට නම් තමන් ගෙන් වැඩක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සඳහන් කරයි.
ඒ මහතා මේ බව පැවසුවේ කාබනික පොහොර මඟින් ගොවිතැන් කරන වගාවක් නිරීක්ෂණය සදහා කුලියාපිටිය උඩුබද්දාව ප්‍රදේශයට ගිය අවස්ථාවේදී ය.එය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ රාජ්‍ය අංශයේ සබැඳියාවක් නැති පෞද්ගලික ගොවි බිමකි.
ඔහු ඒ ගමන කැඳවාගෙන ගොස් ඇත්තේ කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.මෙරට සිදුවන වානිජමය කාබනික පොහොර වගාවන් අතරේ නව රැල්ලේ ජනප්‍රිය සම්ප්රදායක් ද තිබේ.
එය හැඳින්වෙනුයේ”රෑට රසායනික දවල්ට කාබනික”යනුවෙනි.එහෙත් ජනපති වරයාගේ අධීක්ෂණය ලක් වූ කාබනික ගොවිපල සම්බන්ධයෙන් එවැනි නිගමනයකට ඒමට අපට නොපුළුවන.
මේ අතර රට පුරා ඇති කාබනික ගොවිතැන් පිළිබඳ හැකිතාක් තොරතුරු, වාර්තා ගොනු කර එවන මෙන් රාජ්‍ය සහ රජයට හිතවත් මාධ්‍ය ආයතන තමනට බල කරන බව ප්‍රාදේශීය මාධ්‍යවේදීහු කියති.එහෙත් ඔවුන් අසනුයේ මෙම ගොවිපල හිමි කරුවන් ගේ කට වචන මිස මේවායේ කාබනික”කන්‍යා භාවය”පරීක්ෂා කරන්නේ කෙලෙසද? යන්න ය.
අප රටේ සමස්ත කෘෂිකර්මයම එක්වර කාබනිකකරණය කළ නොහැකි බවත්, එවැනි රටක් මුලු ලෝකයේම නොමැති බවත් දැන් මුලු රටම දැන කියාගෙන හමාර ය.
එය උපන් හැටියේ බිළිඳෙකුට බත් කැවීමට වෙර දැරීමක් බව රට පුරා ගොවීහු එක හඬින් කියති.එවන් කටයුත්තකට මුල පිරීම නුදුරේ දී ම මහා සාගතයකට තුඩු දෙන කරුණක් බව මේ වන විටම අනාවරණය වී ඇත.ඒ අනුව ජනතාව තමන් බලයට පත් කර ගත්තේ සහල් පරිප්පු වල මිල බැලීමට නොවන බවට ජනපති වරයා කළ ප්‍රකාශය ද අතිශය අනතුරු දායක ය.
ඔහුගේ ඒ කතාවට අනුව මෙම මාස් කන්නයේ රටට නිසි වී අස්වැන්නක් නොලැබීම මත රට තුළ උග්‍ර සහල් හිඟයක් ඇති වී සහල් කිලෝවක් රුපියල් තුන් සියයක් පමණ වුව ද මේ කතාව මෙලෙසම කියන්නට ජනාධිපතිවරයාට පුලුවන.ඒ අනුව ඔහුගේ මේ වෑයම රාජ්‍ය පාලකයකුගේ ප්‍රධානතම වගකීම වන රටේ ජනතාවගේ මූලික අවශ්‍යතා සපුරාලීමෙන් පවා බැහැර වීමට බව පෙනෙයි.
ඒ අතරේ ජනාධිපති වරයා පසුගිය කාලයේ අත්‍යවශ්‍ය මිල පාලනය කිරීම පිණිස තොග වෙළඳාම් කරන ආයතන වලට ගොස් ඒවායේ මුදලාලිලාගේ පුටු වල පවා වාඩි වී කතා බස් කරනු රටේ ජනතාව රූපවාහිනී මාධ්‍ය වලින් දුටුවහ.එවිට බොහෝ දෙනා සිතුවේ”වැඩ කරන අපේ විරුවා”මේ ප්‍රශ්නයත් පහසුවෙන්ම ගොඩ දමනු ඇතැයි කියා ය.
ඉන් පසු ඔහු සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනය සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසරිස් වරයකු ද පත් කළේය.එතෙත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි බවට පත් වූ පසු ඔහු මෙසේ තම වගකීම් අතහැර දමන්නට වෙර දරනු පෙනෙයි.
මෙය ඉතා නරක තත්වයකි.එමෙන්ම මේ වන විට විවිධ වගාවන් සඳහා රසායනික පොහොර හා කෘත්‍රිම පළිබෝධ නාශක ගෙන්වීමට ද රජය අවසර දී ඇතත් ජනාධිපති වරයා තම කාබනික පොහොර දවල් සිහිනයෙන් පිබිදී නොමැති බවක් හැඟෙයි.
“මම ප්‍රමුඛත්වය දුන්නේ ගොවීන්ට. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නේ නැහැ, ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න.මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා අනාගත පරපුර වෙනුවෙන් පෙළ ගැහෙන්න”යැයි ද ජනාධිපති වරයා එහිදී කියා තිබේ.අප රටේ ගොවි ජනතාවගේ අනාගතය සම්බන්ධයෙන් බලපවත්වන දැඩිම අවදානම් සහගත කාල පරිච්ඡේදය දැන් පසුවෙමින් තිබේ.
මෙවර කෘෂි අස්වැන්න දැනටමත් වම්බටු එළබටු වී ඇති බවටත් ලොකු ළුුණු රතු ළුුණු බවටත් පත් වී ඇතැයි ගොවීහු වේදනාත්මක මැසිවිලි නඟති. ජනපති වරයා ගොවීනට ප්‍රමුඛත්වය දුන් බවක් කියන්නේ එවන් පසුබිමක සිට ය.තමන් එක් වරම රසායනික පොහොර භාවිතය අත් හිටුවන ලද්දේ ජනතාව වකුගඩු රෝගයෙන් මුදවා ගැනීමට බව කී ජනපති වරයා ඒ සමඟම කියා සිටියේ ගොවීන්ට රසායනික පොහොර සමඟම “වකුගඩු ද දීමට” සිදුවන බැවින් මෙම පියවර ගත් බව ය.
එමෙන්ම හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පොලොන්න්නරුවේ ඉදි කළ අති විශාල වකුගඩු රෝහල පිළිබඳව ද මෛත්‍රීපාල සිරිසේන නම නොපවසා කීමට තරම් ජනපති වරයා “කෘතවේදී ” විය.අප රටේ වී වගාව වැඩිපුරම ව්‍යාප්ත වී ඇති කුරුණාගල, අනුරාධපුර, පොලොන්නරුව,මඩකලපුව, අම්පාර,හම්බන්තොට ආදී දිස්ත්‍රික්ක තුළ මෙම වකුගඩු රෝගය පැතිරීමේ විෂමතා තිබේ.
ජනපති වරයා පවසන අන්දමට මෙම වකුගඩු රෝගය පැතිරීම හා රසායනික පොහොර භාවිතාව අතර සෘජු සබැඳියාවක් තිබේ නම් එම රෝගය වී වගා කරන සෙසු දිස්ත්‍රික්ක වල ද එක සේ පැතිර තිබිය යුතු ය.එමෙන්ම මුලුමනනින්ම රසායනික පොහොර මත පදනම් වන තේ වගාව සිදුව ප්‍රදේශ වල ද මෙය පැතිට තිබිය යුතුය. ශ්‍රී ලංකාවේ භාවිතා කරන රසායනික පොහොර භාවිතා කරන ආසියානු කලාපයේ සෙසු රටවලින් ද මෙම රෝගය වාර්තා විය යුතුය.නමුත් ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වල එවැනි හුවා දැක්වීමක් නැත.
මෙම වකුගඩු රෝගය හා රසායනික පොහොර භාවිතය පිළිබඳ රජයට මෙම”කදිම ඔත්තුව”සපයා ඇත්තේ වත්මන් රජයේ ප්‍රමුඛතම උපදේශක වරයකු වන මහාචාර්ය චන්න ජයසුමනය.ඔහු කියා ඇත්තේ තමන්ගේ මෙම පර්යේෂණය සඳහා”දෙවියන් හා යකුන් “ගෙන් ලැබුණු තොරතුරු ද පාදක කරගත් බවකි.ඒ අනුව ජනපති වරයාගේ එම ප්‍රකාශයේ අතාර්කික සහ බොළඳ ස්වභාවය මැනැවින් වටහා ගත හැකි වනු ඇත.
ජනපති වරයා එහිදී පවසා ඇති අන්දමට ඔහුගේ අපේක්ෂාව ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ය. දේශපාලන නායකයන් නොගන්නා අසීරු තීරණ ඒ වෙනුවෙන් ගැනීමට ඔහු සූදානම් ය. එදා යුද්ධයට අත ගහන්න එපා යැයි බොහෝ දෙනා ඉල්ලා සිටි නමුත් 30 වසරක යුද්ධය අවසන් කළාක් මෙන් කුමන බාධාක හමුවේ වුවත් හරිත කෘෂිකර්මාන්තය ජය ගන්නා බව ද ජනාධිපති වරයා මෙහි දී කීය.ඔහුගේ මෙම ප්‍රකාශය ද ගැටළු සහගත ය.
ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂක වශයෙන් 2019 ඔක්තෝබර් 15 වනදා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක දී “ද හින්දු”පුවත් පතේ මාධ්‍යවේදිනී මීරා ශ්‍රී නිවාසන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් වත්මන් ජනපති වරයා කියා සිටියේ එල්ටීටීඊ යුද්ධයට නායකත්වය දුන්නේ එවක යුද හමුදා පති වරයා මිස තමන් හෝ තම අයියා නොවන බවය.
ඒ මීරාගේ “යුද සමයේ හමුදාවට භාරවූවන්ට මොකද වුණේ?” යන පැනය හමුවේ ය.නමුත් ඔහු දැන් නැවත අනියමින් කියා සිටිනුයේ 30 වසරේ යුද ජයග්‍රහණය තම හපන්කමක් බවකි.
වත්මන් පාලනය මේ අයුරින්ම පැවතිය හොත් රාජපක්ෂ නාමය ද ශ්‍රී ලංකාවෙන් සදහටම මැකී යන බවක් කියනුයේ මහින්ද රාජප්ක්ෂගේ නිල නොලත් පුරෝහිත මැඳුර බඳු නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය.
රාජපක්ෂ වරුන් නොමැති දේශපාලනයක් ගැන ඒ හිමි නමට සිතා ගන්නට වත් බැරි බව අපි දනිමු.ඒ හිමියන්ට උවමනා වී ඇත්තේ මල්ලී ඉවත් කොට අයියාට ලොකු පුටුව ලබා දීමට බව පෙනෙයි.එහෙත් මෙරට ජනතාවට ඇති බරපතලම ප්රශ්නය මෙරට දේශපාලනයෙන් රාජපක්ෂ වරුන් අතුගෑවී යාම නොවේ. මුලු රටම මහත් විනාශ මුඛයකට පත් වීමය.
දමයන්ති ගමගේ