‘G77 කණ්ඩායම සහ චීනය’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා කියුබාවේ සංචාරයක නිරත වූ ජනපති රනිල් වික්‍රමසිංහ කියුබා ජනපති මිගෙල් ඩියෙස්-කැනෙල් බර්මියුඩෙස් ද හමු වූ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත වූයේ ය. මෙහි දී දෙරට අතර දේශපාලන, ආර්ථික, සෞඛ්‍ය, අධ්‍යාපන ක්ෂේත්‍රයන් සඳහා එකිනෙකාට සහයෝගී වෙමින් ඉදිරියට ගමන් කිරීමේ වැදගත්කම ද කතා බහ කළේය. මේ සම්බන්ධයෙන් ඇතැම් මාධ්‍යවල සඳහන් කොට තිබුණේ කියුබාව විවිධ ක්ෂේත්‍රයන්ගෙන් ශ්‍රී ලංකාවට උදව් කිරීමට පවා ඉදිරිපත් වූ බවකි.
ශ්‍රී ලංකාව සහ කියුබාව ගතහොත් මෙරට සබඳතාවල සැලකිය යුතු දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය විසිවන සියවසේ මුල් භාගය දක්වා දිව ගියත් මෑතකාලීන සබඳතා ගොඩනැගෙන්නේ 1959 වර්ෂයේ සිටය. කියුබාව රාජ්‍යයක් වශයෙන් පිළිගත් ලොව පළමු රටවල් අතර ශ්‍රී ලංකාව ද පසුවෙයි. 20 වැනි සියවසේ මුල් භාගයේ දී කියුබාවේ සිට පැමිණි වෙළෙඳූන් ශ්‍රී ලංකාවේ උතුරේ සහ වයඹ ප්‍රදේශවල වාසස්ථාන ගොඩ නගා මෙහි ස්ථිර පදිංචියට පැමිණි බවට වාර්තා ලැබෙන මුත්, අද ඒ පරම්පරාවල කිසිවකු දකින්නට ලැබෙන්නේ නැත. නමුත් ඔවුන් රැගෙන ආ සංස්කෘතික අංග නම් ඇතැම් තැන්වල සුළු වශයෙන් ඉතිරි වී තිබේ. මේ රටවල් දෙකම නොබැඳි පිළිවෙත අනුගමනය කරන රාජ්‍යයන් දෙකක් වශයෙන් කාලයක් තිස්සේ එක ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීමේ ඉතිහාසයක් ද දක්නට ලැබේ. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සහයෝගය අවශ්‍ය සියලු විටකම සහාය දුන් රටක් ලෙස ද කියුබාව පවතී.
ශ්‍රී ලංකාව සහ කියුබාව රටවල් දෙක විවිධ ක්ෂේත්‍රයන්ගෙන් යම් සංසන්දනයක් කළ හොත් සෑම ක්ෂේත්‍රයකින් එක් රටක් අනෙක් රට සැලකිය යුතු මට්ටමකින් අභිබවා යන පෙනුමක් දකින්නට ලැබෙන්නේ නැත. වෙනත් ආකාරයෙන් සඳහන් කරන්නේ නම් මේ රටවල් දෙකම ඇත්තේ එකම ‘බෝට්ටුවේ’ ය. එසේ හෙයින් මහා පරිමාණ වශයෙන් ශ්‍රී ලංකාවට කියුබාවටවත්, කියුබාවට ශ්‍රී ලංකාවටවත් උදව් කිරීමේ හැකියාවක් නැත.
කියුබාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය ශ්‍රී ලංකාවට වඩා ඉහළ තැනක පවතින බව කලක පටන් පැවති අදහසක් වුව ද, එහිද එතරම් විශාල වෙනසක් දකින්නට ලැබෙන්නේ නැත. උදාහරණයක් ලෙස ආයු අපේක්ෂණය ගතහොත් කියුබාවේ ගැහැනුන් සඳහා අවුරුදු 71 ක් වෙද්දී ශ්‍රී ලංකාවේ එය අවුරුදු 73 කි. පිරිමින් සඳහා කියුබාවේ 76 ක් පවතිද්දී ශ්‍රී ලංකාවේ එය අවුරුදු 80 කි. ඒ අතින් බලද්දී ශ්‍රී ලංකාව සිටින්නේ ඉදිරියෙනි. මරණ අනුපාතිකය කියුබාවේ 14.65%ක් වෙද්දී ශ්‍රී ලංකාවේ එය 7.36% කි.
දේශපාලන ස්ථාවරත්වය අතින් කියුබාව ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිය ද සිවිල් අයිතිවාසිකම් අතින් ඔවුන් පසු වන්නේ අපට වඩා පහළ තැනකය. ජීවන වියදම අතින් සලකා බලද්දී ඔවුන් ශ්‍රී ලංකාව කියුබාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටී.
කාලගුණය සහ දේශගුණය අතින් මේ රටවල් දෙකේම ඇත්තේ එක හා සමාන තත්ත්වයකි. ඒ නිසා කෘෂිකාර්මික කටයුතුවල දී දෙරට අතර අත්දැකීම් හුවමාරු කර ගැනීමේ සැලකිය යුතු ඉඩක් පවතී. සාමාන්‍ය ආදායම් මට්ටම අතින් කියුබාව ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් තිබෙන රටක් වුව ද දූෂිත දර්ශකයේ මේ රටවල් දෙකටම ඇත්තේ ‘නරක’ යන ස්ථානය ය. එබැවින් ඒ සම්බන්ධයෙන් කියුබාව යනු ශ්‍රී ලංකාවට ආදර්ශයක් ගත හැකි රටක් නොවේ. විරැකියා මට්ටම අතින් නම් කියුබාව ශ්‍රී ලංකාවට වඩා යහපත් තැනක පසුවෙයි.
භාණ්ඩ අපනයනය අතින් ශ්‍රී ලංකාව කියුබාවට වඩා බොහෝ ඉදිරියෙන් පසුවුවත්, ආනයනය අතින් දෙරටම සිටින්නේ තරමක් සමාන මට්ටමකය.
බලශක්තිය නිපදවීම අතින් කියුබාව අපට වඩා ඉතා ඉදිරියෙන් පසුවෙයි. එබැවින් තාක්ෂණය සම්බන්ධව නොවුනත් ඔවුන් බලශක්තිය අරපරිස්සමෙන් භාවිත කරන අන්දම පිළිබඳ අපට බොහෝ ආදර්ශයන් සහ උපදෙස් කියුබාවෙන් ලබා ගත හැකි බවට සැකයක් නැත.
නැවතත් සෞඛ්‍යය පිළිබඳ කතා කළහොත් කියුබාවේ රෝගීන් දහසකට ඇඳන් 5.33 ක් පවතිද්දී ශ්‍රී ලංකාවේ එය 4.15 කි. එහි විශාල වෙනසක් නැත. නමුත් රෝගීන් දහසකට කියුබාවේ වෛද්‍යවරු 8.19 ක් සිටිද්දී ශ්‍රී ලංකාවේ සිටින්නේ 0.96 ක් පමණි. මෙහි අතිවිශාල වෙනසක් දකින්නට ලැබේ. මෑතක සිට අප රට අතහැර විදෙස් ගතවන වෛද්‍යවරුන්ගේ වර්ධනයක් පවතින නිසා අප ඇත්තේ තවත් පහළ තැනක විය හැකි ය. එබැවින් එරට රජය වෛද්‍යවරු සම්බන්ධයෙන්, ඔවුන් සිය රටේම තබා ගනිමින් තම පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්වය නගා සිටුවන්නට කටයුතු කරන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකාවට කියුබාවෙන් සැලකිය යුතු සහයෝගයක් ලබා ගත හැකි වනු ඇත.
රටවල් දෙක අතර මේ ආකාරයෙන් යම් සංසන්දනයක් ඉදිරිපත් කරන ලද්දේ ජනපති රනිල් වික්‍රමසිංහ හමුවේ කියුබාව ශ්‍රී ලංකාවට උදව් කරන බව සඳහන් කරන ලද පුවත් දකින්නට ලැබුණු නිසාවෙනි. මේ සංසන්දනය අනුව ශ්‍රී ලංකාව සහ කියුබාව යනු සෑම ක්ෂේත්‍රයකින්ම එක සමාන මට්ටමක පවතින රටවල් දෙකක් බව පැහැදිලිව පෙනෙන්නට තිබේ. එබැවින් ඉන්දියාව ශ්‍රී ලංකාව වෙනුවෙන්වත්, බංග්ලාදේශය ශ්‍රී ලංකාව වෙනුවෙන්වත්, අඩුම තරමේ මාලදිවයින ශ්‍රී ලංකාව වෙනුවෙන්වත් කරන ආකාරයේ උදව්වක් කියුබාවට ශ්‍රී ලංකාව වෙනුවෙන් මහා පරිමාණයෙන් කළ හැකි බවක් පෙනෙන්නන්ට නැත. නමුත් අප පැරණි කියමනකට අනුව මේ රටවල් දෙකට එක් ක්‍රමයක් අනුගමනය කළ හැකිය. ඒ ‘අන්ධයා සහ කොරා’ න්‍යාය ය. මේ කතාව අනුව අන්ධයාට දෑස් නොපෙනෙන නමුත් ඇවිදින්නට හැකිය. කොරාට ඇවිදින්නට නොහැකි නමුත් දෑස් පෙනේ. අන්ධයාගේ කරට කොරා ගොඩ වූ පසු දෙදෙනාට වැඩි කරදරයකින් තොරව සෑහෙන දුරක් ගමන් කළ හැකි ය. ශ්‍රී ලංකාව සහ කියුබාව සම්බන්ධයෙන් පැවසිය හැක්කේ ද ඒ කතාවමය. මේ රටවල් දෙක එකිනෙකාගේ කරමතින් ඉදිරියට ගමන් කරනවා විනා එක් රටකට අනෙක් රට වෙනුවෙන් මහා පරිමාණ උදව් කරන්නට හැකියාවක් නැත.
නිරංජන් චාමින්ද කරුණාතිලක