කුරුල්ලෙක් වගේ නිදහසේ පියාඹන්න ඔබටත් ආසද?

vinivida

ඔබ කුරුල්ලෝ දැකල තියෙනවද?

ඒ ප්‍රශ්නෙට සමහරවිට ඔබ හිනාවෙන්නත් පුළුවන්. ඒත් ඇත්තටම නුදුරු අනාගතයේදී විශේෂයෙන් නගරබද ඉන්න අයගෙන් ඒ ප්‍රශ්නය අහන්නත් අපට සිද්ද වෙයි. මොකද., නගරබදව දැන් කුරුල්ලෝ කියල ජාතියක් දකින්න නැති තරම්.
කෙසේ වෙතත් උදේ නැගිට්ටම කිචිබිචි ගගා අත්තෙන් අත්තට පැන ස්වභාවධර්මය ලස්සන කෙරෙන බට්ටිච්චෝ දෙමලිච්චෝ වගේ කුරුල්ලන්ව දකින්න ලැබෙනවනම් ඇත්තටම ඒක හිතට මිහිරියාවක් සතුටක් දැනෙන දෙයක් නේද?
ඔබට නිකමටවත් හිතිලා නැද්ද අනේ මටත් කුරුල්ලෙක් වගේ වෙන්න තියනවනම් කියලා?
කුරුල්ලෝ නිදහසේ සතුටින් ඉන්න හැටි දැකලා අපටත් එහෙම හිතෙනවා නම් ඒක පුදුමයක් නෙමේ.
කුරුල්ලන්ට හැමදේටම උඩින් පියාඹලා සොබාදර්මය රස විඳින්න නිදහස තියෙනවා . සතුටින් ඉන්න අවස්ථාව තියෙනවා.
එහෙම සතුටින් ඉන්නේ ඒගොල්ලෝ එක අත්තකට සීමාවෙලා නැති නිසා . එක අත්තක් උඩට වෙලා ඒක අයිතිකරගෙන සීමා වෙලා හිටියනං සතුටින් ඉන්න වෙන්නෙ නෑ. අත්ත අතහැරියාම තමයි ඒ ගොල්ලන්ට නිදහස රස විඳින්න පුළුවන්.
අපිත් එක එක දේවල්වලට බැඳිල සීමා වෙලා හිරවෙලා ඉන්න නිසා තමයි බොහෝ වෙලාවට අපිට ජීවිතේ සතුට විඳගන්න බැරි.
අතහැරීම පුරුදුවුනා නම් අපි බොහෝ දෙනෙකුට ප්‍රශ්න වේදනා ගොඩක එරිලා දුක් විඳිනවා වෙනුවට හිත නිදහසේ තියාගෙන ඉන්න ලේසි වෙනවා.
මොනවද මේ අපිට අතහරින්න බැරි අතු?
අපි ඇත්ත නැත්ත හොයන්නෙ නැතුව නොයෙකුත් මිත්‍යා මතවලට විශ්වාසයන්ට ඇබ්බැහිවෙලා ඉන්නවා. ඒ වගේම අතීතයේ සිද්ධ වෙච්ච සමහර දේවල් පිළිබඳ මතකයන්ට තදින් බැඳිලා ඉන්නවා. අතීතය කවදාවත් නැවත එන්නේ නැහැ. වෙච්ච වැරදි මකන්නත් බෑ.
එහෙම එකේ මතකයන් ගැන හිතෙන් විඳවමින් ඉන්නව නම් ඒකත් අපිට අතහරින්න බැරි අත්තක්.
ඒවගේ අපි නොයෙකුත් බාහිර දේවලට බැඳිලා ඉන්නවා. තාන්න මාන්නවලට, අප සතු දේපළවලට, ඒ වගේම සල්ලි වලට අපි තදින්ම බැඳිලා ඉන්නවා .
සමහර වෙලාවට මේව ගැන හිත ඇතුලේ පුදුම බයකින් ඉන්නේ. ඒ වගේ බයකින් ඉන්නව නම් ඒකත් අපට අත හරින්න බැරි අත්තක් තමයි.
එහෙනම් ඉතින් අපිට දැන් තියෙන ගේදොර මිල මුදල් වගේ දේවල් ගැන හොයන්නෙ බලන්නෙ සලකන්නේ නැතුව අතෑරලා දාන්න කියලද කියන්නේ කියලා ඔබ අහයි..

නෑ ! ඒ ගැන අවධානය යොමු කරන්න එපා කියනවා නෙවෙයි.
ජීවත්වන කාලයේදී අපිට මිල මුදල් , බාහිර ලෝකයේ යම් යම් දේවල් අවශ්‍යයි.
ඒවා පරිහරණය කරනවා කියන එක එක දෙයක්. ඒවට ඇලී ගැලී කෑදර වෙලා ,වහල් වෙලා, තණ්හාවෙන් ඉන්නවා කියන එක තව දෙයක්.
වෙන විදියකට කියනවා නම් අපි මේ ලෝකේ භාවිතා කරන මිල මුදල් ගෙවල් දොරවල් යාන වාහන වගේ දේවල් අපි පාවිච්චි කළ යුත්තේ සෙරෙප්පු දෙකක් වගේ මිසක් ඔටුන්නක් වගේ නෙවෙයි.
තණ්හාව තමයි අතහරින්න ඕන කියලා අපි කියන්නේ.
මේ විදිහට දේවල්වලට හිතෙන් බැදිලා ඉන්න තුරු කුරුල්ලෝ වගේ නිදහසේ සැහැල්ලුවෙන් ජීවිතයේ නියම තෘප්තිමත් බව විඳ ගන්න හම්බවෙන්නේ නැහැ..
ඒ නිසා ඔබට සැහැල්ලු ජීවිතයක් අත්දකින්න අවශ්‍ය නම් හැකි තරම් සියලුම දේවල් මනසින් අතහරින්න.
හිත රිදවන අතීත මතකයන් අතීතයටම යන්න අරින්න. වැරදි කළ අයගේ වැරදි වලට හිතෙන් සමාව දීලා අමතක කර දමන්න.
එක මනෝවිද්‍යාව උගන්වන ගුරුවරයෙක් දවසක් වතුර වීදුරුවක් අරගෙන එක ශිෂ්‍යයෙකුට කිව්වලු අත දිග ඇරලා අල්ල උඩින් ඒ වීදුරුව ටික වෙලාවක් තියාගෙන ඉන්න කියල.

“ ඔය වීදුරුව කොච්චර විතර බර වගේ දැනෙනවද” කියල ගුරුවරයා ඇහුවම “ග්‍රෑම් පන්සීයක් විතර ඇති”කියලා ඒ ශිෂ්‍යයා පිළිතුරු දුන්නලු.
විනාඩි තුනක් විතර ගිහිල්ලා ඇහැවුලු දැන් කොහොමද දැනෙන්නේ කියලා. “දැන් නම් ගොඩක් බරයි වගේ දැනෙන්නේ” කියලා ශිෂ්‍යයා
පිළිතුරු දුන්නම, තවත් විනාඩි දෙකක් විතර ගියාට පස්සේ ගුරුවරයා ඒ ප්‍රශ්නෙම ඇහුවම,
“දැන් නං සෑහෙන්න බරයි වගේ දැනෙන්නේ” කියල පිළිතුරු දුන්නලු.
ඊටත් විනාඩි දෙකක් විතර ගියාට පස්සේ “දැන් කොච්චර බරයි වගේ දැනෙනවද” කියලා ඇහුවම ශිෂ්‍ය කිව්වලු,
“ අනේ මට මීට වැඩිය මේක උස්සගෙන ඉන්න බැහැ.. ලොකු බරක් මගේ අත උඩින් තියලා වගේ මට දැනෙන්නෙ… මගේ මුළු අතම රිදෙනව. හිරිවැටිල පන නෑ වගේ ..”
ඊට පස්සේ ගුරුවරයා ශිෂ්‍යයන්ට පොඩි අවවාදයක් දුන්නලු.
” අපේ ජීවිතෙත් යම් අමිහිරි දේවල් සිදුවුණාම අපි ඒක ටිකක් වෙලා මතක තියාගෙන ඉඳලා අමතක කරොත් ඒක එතනින් ඉවරයි . නමුත් දිගින් දිගටම ඒ ගැන කල්පනා කර කර හිත ඇතුලෙම දරාගෙන හිටියොත් එන්න එන්නම… විනාඩියෙන් විනාඩිය, දවසින් දවස ඒක මහා බරක් බවට පත් වෙනවා. අර අත හිරි වැටුනා වගේම හිත හිරවැටිලා මානසිකව අකර්මණ්‍යවෙලා මුළු ජීවිතයම නීරසව දුර්වල ලෙස ගෙවී යන්න ඉඩ තියෙනවා.
අපි ප්‍රශ්න නිසා විඳවන්නේ ඒ ප්‍රශ්නෙ නිසා ඇතිවෙන අපහසුවට වඩා , අපි ඒක කොච්චර දිගු කාලයක් හිතේ තියාගෙන කල්පනා කර කර වද වෙනවද කියන එක මතයි.
තවත් පුංචි කතාවක් තියෙනවා මතක තියා ගන්න.
එළවළු කූඩයක් ඔලුවේ තියාගෙන උදේ ඉඳලා හවස් වන තුරු පාරක් පාරක් ගානේ යන එළවළු වෙළෙන්දියක් හිටියා. ඇය වරින් වර වෙහෙස නිවා ගන්න කූඩය බිම තියලා තේ වතුර එකක් බොන්න එහෙම ගියාම එක දවසක් රස්තියාදුකාර කොල්ලෝ කුරුට්ටො වගයක් ඒ වෙළෙන්දියගේ කූඩෙ එළවළු වලට යටින් ටිකක් බර කළුගල් එකක් දෙකක් දැම්මා.

ඒ බව දන්නේ නැති වෙළෙන්දිය හවස වෙනකම්ම ඒ කළුගල් සහිත බර කූඩය ඔළුවේ තියාගෙන වෙළඳාමේ ගිහින් හවස අමාරුවෙන් කූඩය බිම තිබ්බට පස්සෙයි දැන ගත්තේ ඉතුරු වුණු එළවලු වලට යටින් කළුගල් තිබෙන බව.
අනුන් අපේ ඔළුවට දාන එක අනවශ්‍ය ප්‍රශ්න ඔලුවේ තියාගන අපිත් දවස් ගෙවන්නේ ඒ වගේ.
ඉතින් හිතල බලන්න!
ඔබට හිතට වද දෙන ප්‍රශ්න බොහොමයක් ඔබ හිතේ තියාගෙන ඉන්නේ බොරුවට.
අතීත මතක සටහන්, අනිත් අය ඔබට කරපු වැරදි, ඔබට අයිතිවාසිකම් තිබෙන ඉඩකඩම් මිල මුදල් වාහන යනාදිය, අනාගත බලාපොරොත්තු යනාදී මෙකී නොකී බොහෝ දේවල් ඔබ තදින් බදාගෙන ඉන්නවා විය හැකියි.
හිතන්න මේ ගැන ටිකක්. ජීවිතය හරිම කෙටියි. ඉන්න ටිකේ සැහැල්ලුවෙන් ඉන්න. අතීතයවත් අනාගතයවත් වර්තමානවත් ඕනවට වඩා බදාගන්න එපා .
එදිනෙදා පැවැත්මට අවශ්‍ය කටයුතුවල යෙදෙන්න. අනවශ්‍ය බැඳීම්වලින් මිදෙන්නෙ. කුරුල්ලෝ සතුටින් ඉන්නේ අත්ත අත ඇරලා පියාඹන නිසා වගේම ඔබත් අනවශ්‍ය බැඳීම් අතහරින්න .එතකොට සෑහෙන දුරටවත් කුරුල්ලෙක් වගේ නිදහසේ හිත සන්සුන්ව තියාගෙන ජීවත් වෙන්න ඔබට පුළුවන් වේවි.

මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු

එතෙර - මෙතෙර