කෘෂිකර්ම ඇමතිගේ බණ්ඩාරගම වී අස්වනු නිරීක්ෂණයේ නොපෙනෙන පැත්ත

මෙවර මහ කන්නය කාබනික පොහොර භාවිතා කර නිසි කලට වගා කළ අයට අස්වැන්න අඩු වී ඇත්තේ ඉතා සුළු වශයෙන් බව කලුතර, බණ්ඩාරගම, මිල්ලනිය ගොවියන් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ඉදිරියේ පැවසූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය මාධ්‍ය වෙත නිවේදනය කර තිබුණි.කලුතර, බණ්ඩාරගම ප්‍රදේශයේ කුඹුරු අක්කර 2,000 ක පමණ මහ කන්නයේ වී වගාව නිරීක්ෂණයට එහි ගිය අමාත්‍යවරයාට,එහි ගොවියන් පෙන්වා දී ඇත්තේ ඉදිරි යල කන්නයේ නිසි කලට පොහොර ලබා දී නිසි කලට කුඹුරු ඉඩම් වී වගාව සදහා සුදානම් කළහොත් අස්වැන්න අඩු නැතුව ලබාගත හැකි බව ය.
මෙම ප්‍රකාශය නිකුත් වීමෙන් පසු කුරුණෑගල, පොළොන්නරුව, අනුරාධපුර ගොවියෝ තරමක් කලබල වූහ.ඔවුන් ඇමති වරයාට ඇරයුම් කළේ තම කුඹුරු ඉඩම් ද නිරීක්ෂණය කිරීමට පැමිණෙන ලෙස ය.එහෙත් ඇමති වරයා එහි යනු ඇතැයි සිතිය නොහැක.ඔහු තම වී අස්වනු නිරීක්ෂණය සඳහා පහත රට තෙත් කලාපයට අයත් කලුතර, බණ්ඩාරගම වැනි ප්‍රදේශයක් තෝරා ගන්නට ඇත්තේ එබැවිනි.

අප රටේ වැඩිම වී අස්වැන්නක් ලැබෙන්නේ අම්පාර, පොලොන්නරුව හා අනුරාධපුර දිස්ත්‍රික්ක වලිනි. කලුතර කුඹුරු අක්කර 2000 ක වී වගා කරන විට අනෙක් දිස්ත්‍රික්කවල කුඹුරු අක්කර දස දහස් ගණනකින් වී වගා කෙරේ. එවන් ප්‍රදේශ මඟ හැර ඇමති වරයාගේ මෙම කලුතර චාරිකාව මාධ්‍ය සංදර්ශනයක් බව පැහැදිලි ය.
රටේ වී අස්වැන්නේ අඩුවක් නැති බව පෙන්වා දීමට කෘෂිකර්ම අමාත්‍ය වරයාට උවමනා වී තිබේ.ඒ රසායනික පොහොර භාවිතයෙන් ඉවත් වී කාබනික වගාවට එක රැයින් යොමු වීමට රජය ගත් පියවර සාධාරණීකරනය කිරීමට ය.

කාබනික ගොවිතැන කළ මැදිරිගිරිය ප්‍රදේශයේ කුඹුරු අක්කර දහස් ගණනක් අසාර්ථක වී ඇති බවට එම ගොවීන් නඟන මැසිවිල්ල මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. එක පැත්තක වී ගොවිතැන සාර්ථක වන්නත් අනෙක් පැත්තේ අසාර්ථක වන්නත් හේතුව කුමක්දැයි සෙවීමට හරි නම් ඇමති වරයා එහි ද යා යුතු ය.නමුත් යන පාටක් නැත.

කාබනික ගොවිතැන ලෙස බොහෝ දෙනෙකු පෙන්වා දෙන ගොවිතැනේ දී කුඹුරු ලියැදිවලට සුළුවෙන් හෝ රසායනික පොහොර යොදා ඇති බව ගොවීන් පොදුවේ දන්නා රහසකි. ඒ මන්ද පසුගිය කාලයේ රුපියල් 550 ට නිකුත් කළ යුරියා පොහොර මිටි මහ කන්නය වන විටත් යම් ප්‍රමාණයකින් ගොවීන් සතුව තිබේ. එලෙස තමන් සතුව පැවැති පොහොර ඔවුහු මෙවර කන්නයට ද භාවිතා කළහ. එම අස්වැන්න පෙන්වා රටේ වී ගොවිතැන කඩා වැටී නැතැයි කියා පෙන්වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය අසාර්ථක උත්සාහයක නිරතව සිටින බව ද පැහැදිලි ය.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ වී අස්වැන්නේ අඩුවක් වුව ද එය සාගතයකට හේතුවක් වන්නේ නැති බව ය. ඒ මන්ද සෑම කන්නයක දීම අවශ්‍ය තරමට වඩා අස්වැන්නක් රටට ලැබෙන බැවිනි. ඊට අදාළ සංඛ්‍යා ලේඛන පවා කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉදිරිපත් කර තිබුණි. එහෙත් දිගින් දිගට කන්න කිහිපයක් අස්වැන්න අඩුවුවහොත් රටේ ජනතාවටත් “කන්නම” දෙයක් නැති වීම වැළක්විය නොහැකි බවට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා සහතික වී නැත.ඒ අද තම තනතුර මඳ කිපුණු අලියකු බලා ගැනීමක් වැනි බව ඔහුට ද වැටහී ඇති නිසා විය හැක.

කාබනික පොහොර වගා සංග්‍රාමය හේතුවෙන් වී අස්වැන්න අඩු වීම නිසා සාගතයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ කීය. ඔහු කීවේ සාගතයකට රට සුදානම් විය යුතු බව ය. එය කියා පැය 24 ක් යාමටත් මත්තෙන් මහාචාර්යවරයා ලේකම් කමින් ඇද දමා තිබුණි. රජය උත්සාහ කරන්නේ කෙසේ හෝ තමන්ගේ මතය තහවුරු කිරීමට ය.එහෙත්,එහි අනිටු ඵල විපාක අත් විඳීමට සිදු වන්නේ අසරණ මහජනයාට ය.

ඊළග යල කන්නයේ වී තබා එළවළු වගාවට වත් රසායනික පොහොර නැත. රසායනික පොහොර තහනම ඉවත් කළ ද පොහොර මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා ගොවීන්ට වගාවට අවශ්‍ය පොහොර ලබා ගැනීමට මුදල් නොමැත. යුරියා පොහොර කිලෝ 50 ක මිටියක් රුපියල් 25000 ක් පමණ වේ. මේ නිසා යුරියා පොහොර කිලෝ දෙකක ප්‍රමාණයේ පැකට්ටු දැන් වෙළෙද පොලට පැමිණ තිබේ. එහි මිල රුපියල් 2000 කි. කිරි පිටි සේම පොහොර ද දැන් “ෂැසේ පැකට්” ගාණට වැටී ඇත.

පොහොර කිලෝ දෙකක යූරියා පැකට්ටුවකින් වගා කළ හැකි කුඹුරු ප්‍රමාණයක සහල් ප්‍රමාණවත් වන්නේ සෙල්ලම් බත් ඉවීමකට පමණි . නමුත් කෘෂිකර්ම ඇමතිවරයා පවසන්නේ රටේ ආහාර හිඟයක් ඇතිවන බවට ජනතාව අතරේ වැරදි මත පතුරුවා හැරීමට ඇතැම් විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් කටයුතු කරන බවයි. ඔවුන් එසේ කීවත් එවන්නක් ඇති වීමට කිසිදු ඉඩක් නැතැයි ද ඇමතිවරයා කියා තිබුණි

මේ වන විටත් රටේ ජනතාව පරිභෝජනය කරනුයේ ඉකුත් යල කන්නයේ අස්වැන්න බවත් මෙවර මහ කන්නයේ අස්වැන්න ඉදිරියේ දී නෙලීමට ඇති බවත් ඔහු කියා සිටියේය. ඔහු යල කන්නයේ අස්වැන්න තවමත් වෙළෙද පොලේ තිබෙන බව කීවත් තොග වෙළෙදුන් සමීපයේ ඇත්තේ මෙරට සහල් නොව ඉන්දියාවෙන් හා පකිස්ථානයෙන් ආනයනය කළ සහල් ය. මෙරට නඩු, කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 160 ත් 180 ත් අතර මිලකට අලෙවි වන අතරේ පිටරට සහල් රුපියල් 130 ට අලෙවි වේ.මේ සියළු තත්වයන් හමුවේ මෙම මායාකාරී පොහොර කප්පාදු වැඩ සටහන ඉදිරියට ගෙන යා හැක්කේ තව ඉතා කෙටි කාලයක් පමණි.

ලසන්ත වීරකුලසූරිය

 

එතෙර - මෙතෙර