කෘෂි විද්‍යා මහාචාර්ය මාරඹේ පොහොර සමාගම් “ඒජන්ත” වරයෙක්ද?

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා කටයුතු කළේය.

එයට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටියේ රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය විවේචනය කිරීම ය. එසේම රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අමාත්‍යංශය තුළ කටයුතු කළ නොහැකි බව ද කෘෂිකර්ම ඇමතිවරයා ඔහුව ඉවත් කරමින් සදහන් කර තිබුණි.

ඉන් නොනැවතුණු කෘෂිකර්ම අමාත්‍යාංශය ඔහු රසායනික පොහොර සමාගමක “ඒජන්තයෙකු” ලෙස කටයුතු කරන අයෙකු බවට ද චෝදනා එල්ල කළේය.

කෙසේ වෙතත් මේ සියළු චෝදනාවන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂිවිද්‍යා පීඨයේ මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ සියළු තනතුරුවලින් ඉවත් කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පසුගිය දා කටයුතු කළේ ය. එයට හේතුව ලෙස ඔහු සඳහන් කර සිටියේ රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය විවේචනය කිරීම ය.

එසේම රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් අමාත්‍යංශය තුළ කටයුතු කළ නොහැකි බව ද කෘෂිකර්ම ඇමතිවරයා ඔහුව ඉවත් කරමින් සදහන් කර තිබුණි.ප්‍රතික්ෂේප කරමින් මහාචාර්ය බුද්ධි මාරඹේ මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කර තිබුණි. කෙසේ වෙතත් මහාචාර්යවරයා මේ වන විට රාජකාරි කටයුත්තක් වෙනුවෙන් විදෙස්ගතව සිටියි.

අප රටේ කෘෂිකර්ම අමාත්‍යංශයට “ඇලජික්” වුව ද ඔහු මේ වන විට එක්සත් ජාතීන්ගේ 2021 දේශගුණික විපර්යාස සමුළුවේ පූර්ව කෘෂිකාර්මික වැඩමුළුවේදී අදහස් දැක්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වි සිටියි. ඔහු ඊට සම්බන්ධ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරාධනයකට අනුව ය. ස්කොට්ලන්තයේදී මෙම සමුළුව පැවැත්වේ.

මහාචාර්ය බුද්ධි මාරඹේ යනු මෙරට කාබනික ගොවිතැන සම්බන්ධයෙන් ලෝකය පිළිගත් විද්වතෙකි. ශ්‍රී ලංකා පරිසර පද්ධතීන්ට අනුකූළව පරිසරය හා මිනිසා ආරක්ෂා කිරීම වෙනුවෙන් ප්‍රමිතීන් සකස් කිරීමේ කමිටුවේ වසර හයක කාලයක් සේවය කළ විශේෂඥයෙකි. රට මහා ව්‍යසනයන්ගෙන් මුදවා ගැනීමට මෙම කමිටුවට හැකියාව ලැබුණි. ශාක නිරෝධායන නීති රීතින් ශක්තිමත් වූයේ ද මෙම කමිටුව හරහා ය.

එම නීතීන් ශක්තිමත් නොවුණා නම් විස සහිත ක්ෂුද්‍රජීවින් හා බැක්ටිරියා අඩංගු චීන කාබනික පොහොර තොගය ලංකාවට ගොඩබා හමාර ය. එසේම ඔහු දේශගුණික විපර්යාස සහ ආහාර සුරක්ෂිතතාවය ගැන මෙන්ම පැළෑටි විද්‍යාව ගැන දිගින් දිගටම පර්යේෂණ කරන මහාචාර්යවරයෙකි.

චීන කාබනික පොහොර තොගය මෙරටට ගොඩබෑමෙන් රටට ඇතිවිය හැකි තර්ජනය පළමුව හෙළිදරව් කළේ මහාචාර්ය බුද්ධි මාරඹේ ය. ඔහු කළ එම වරදට ලැබුණු දඩුවම වූවේ අමාත්‍යාංශයේ තනතුරුවලින් ඉවත් කිරීම ය.බහු ජාතික සමාගම් ඒජන්ත වරයකු ලෙස චෝදනා කිරීම ය.

කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් තමන් ඉවත් කළ බව ඔහුට දැනගැනීමට ද ලැබෙන්නේ මාධ්‍ය මගිනි. ඔහු විදෙස්ගත වන අවස්ථාව දක්වාම කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් යොමු කළ ලිපියක් හෝ දුරකතන ඇමතුමක් ඔහු වෙත ලැබී නොමැත. මහාචාර්ය බුද්ධි මාරඹේ පවසන්නේ තමාව පත් කිරීමට ඇති අයිතිය සේම ඉවත් කිරීමටත් කෘෂිකර්ම අමාත්‍යාංශයට අයිතියක් ඇති බවකි.

තමන්ගේ විද්‍යාත්මක දැනුමෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයට හොඳ සේවයක් ලබා දුන් බව පමණක් කිව හැකි බව ඔහු පවසයි. තමන් ඉදිරිපත් කරන්නේ විද්‍යාත්මක කාරණා පමණක් බැවින් රටට නුසුදුසු ඕනෑම ප්‍රතිපත්තියක් විවේචනය කිරීමේ අයිතියක් තමන් සතු බවද හෙතෙම පෙන්වා දෙයි.

බොහෝ පිරිසක් පෙන්වා දීමට උත්සාහ කරනුයේ මහාචාර්යවරයා කාබනික පොහොරට අකමැති බවකි. නමුත් සැබෑ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. ඔහු ආචාර්ය උපාධිය සම්පූර්ණ කරනුයේ ජපානයේ හිරෝෂීමා විශ්ව විද්‍යාලයෙනි. එහිදි සත්ව අපද්‍රව්‍යවලින් සකසනු ලබන කොම්පෝස්ට් සහ එම කොම්පෝස්ට්වලින් ස්වභාවිකව ඇති වන විෂ ද්‍රව්‍ය යොදා වල් පැලෑටි මර්දනය කිරිම යන විෂය සම්බන්ධයෙන් කළ පර්යේෂණ අනුව ඔහුට ආචාර්ය උපාධිය හිමි විය.

ශාක පරිසර විද්‍යාවට සත්ව අමුද්‍රව්‍යවලින් සකසන කොම්පෝසට් කුමන මට්ටමේ බලපෑමක් ඇති කරයිද? යන්න ගැන පුළුල් පරික්ෂණ කර තිබේ. ඔහුගේ විෂය වන්නේ ද කාබනික වගාව ය. එසේනම් ඔහු එයට අකමැති වන්නේ මන්ද යන ගැටළුව මතුවේ. ඔහු ඉදිරිපත් කරන ගැටලුව වන්නේ විෂයේ මූලධර්මීය පදනම අවභාවිතා වීමය. එය පිළිබඳව සංවාදයක් ඇති කිරීම කාබනික වගාවට අකමැතිවීමක් ලෙස දැක්වීම තුළ ඇත්තේ වෙනත් ප්‍රශ්නයකි.

මහාචාර්යවරයා කාබනික වගාව මේ රටේ ප්‍රායෝගික කිරීමට පත් කළ විද්වත් මණ්ඩලයේ ප්‍රමුඛ සාමාජිකයෙකි. 1999 හා 2003 කාලවකවානුවේදී ඔවුහු ලංකාවේ කාබනික කෘෂිකර්මාන්තයේ ප්‍රායෝගික අවස්ථා ගැන අත්හදා බැලුහ.

ගොවීන් 300 ක් පමණ සහභාගී කර ගනිමින් ඔවුන් 2002 වර්ෂයේදි ගන්නෝරුවේ දී සම්මන්ත්‍රණයක් ද පවත්වා තිබේ. කාබනික කෘෂිකර්මාන්තය යනු අගය එකතුකරන ලද ඵලදායින් වගා ක්‍රමයක් බවත් ඉන් ඉතා හොදින් විදේශ විනිමය උපයාගත හැකි බවත් මහාචාර්යවරයා පෙන්වා දෙයි. කාබනික වගාව තුළ කළ හැකිදේ වගේම කළ නොහැකිදේ හඳු නාගත් බව ඔහු කියා සිටියේය. ඔවුන් එදා ඉදිරිපත් කළ වැඩපිළිවෙල ක්‍රියාත්මක වුවානම් කාබනික වගාව සාර්ථක වීමට ඉඩු තිබිණි.

පොහොර සමාගමක අධ්‍යක්ෂවරයෙකුය යන පැනයට ද මහාචාර්ය බුද්ධි මාරඹේ පිළිතුරු ලබාදී තිබුනි. තමා පූර්ණකාලීව කටයුතු කරන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බවද ඔහු සඳහන් කර තිබේ. වර්ෂ 2009 දී එවක උපකුලපතිගෙන් සීඅයිසී කළ ඉල්ලීමක් අනුව උපකුලපති වරයා ඔහුට නිර්දේශ කර තිබුණේ සිසුන්ගේ අධ්‍යයන හා පර්යේෂණ කටයුතුවලට බාධා නොවන අයුරින් සී.අයි.සී ආයතනයට සේවය ලබා දෙන ලෙසය.

ඒ අනුව තමන් 2018 දක්වා විශ්ව විද්‍යාලයේ කටයුතුවලට බාධා නොවන අයුරින් එම ආයතනයේ කටයුතුවලට සම්බන්ධ වූ බවද මහාචාර්යවරයා පවසයි. එසේම තමා කිසිවිටෙක පොහොර සමාගමක “ඒජන්තයෙකු” ලෙස කටයුතු නොකළ බවද ඔහු පවසයි. තමන් ඔවුනට ඉදිරිපත් කළේ තමන්ගේ පර්යේෂණ හා නිගමනයන් ඔවුනගේ නිෂ්පාදන කටයුතුවලට ලබාගන්නා ආකාරය පිළිබඳව කරුණු දැක්වීමෙන් බව පමණකැයිද ඔහු සඳහන් කරයි.

ඔහු ඉදිරිපත් කළ බරපතලම කාරණය වූයේ චීන කාබනික පොහොර සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කාරණාවන් ය. මෙම නැවේ තිබෙන ලංකාවට නුසුදුසු පොහොර තොගය ලංකාවට ගොඩ බෑමට තබා කිට්ටු කරන්න හීනෙන් හෝ නොසිතන ලෙස ඔහු කියා සිටියි. විද්‍යාත්මක මත පසෙක ලා එලෙස කළහොත් එය ජනතාවට වන්දි ගෙවන්න බැරි තරමේ වරදක් බව පවසන මහාචාර්යවරයා ඊට සම්බන්ධ සියළු දෙනා රටේ අනාගතයට කළ වරදකරුවන් බවට පත්වනු ඇති බවයද පවසයි.

චීන පොහොර මෙරට පසට අතිශයින්ම නුසුදුසු ය. එම නුසුදුසු බව කෘෂි ක්ෂේත්‍රයේ සියළු ආචාර්ය මහාචාර්යවරුන් පෙන්වා දී තිබේ. මෙම චීන නැවේ තිබෙන්නේ ශාක නිරෝධායන සේවයෙන් හා ප්‍රමිති ආයතනයෙන් ප්‍රතික්ෂේප වූ පොහොරය. එය ගොඩබෑමට මෙතරම් උත්සාහ කරන්නේ මන්දැයි පැහැදිලි නැත. චීන කින්ඩාවෝ සමාගම පවසන්නේ තුන්වන පාර්ශවයක් හරහා මෙම පරික්ෂණය කළ යුතු බවකි.

එසේම ඔවුන් එය කළ යුතු පර්යේෂණායතනයක නමක් ද ඉදිරිපත් කරති. එය අසාදු ලේඛන ගත සමාගමක් බවට හෙළිව තිබේ.මේ අතර හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මෙම චීනය කරන මෙම තුන් වන පාර්ශවය ගැන යෝජනාව උපහාසයෙන් බැහැර කරයි.”එහෙම තුන් වෙනි පාර්ශවයක් මැදිහත් වෙන්න ඕනේ යුද්ධයක් වගේ දේකදී විතරයි.ඒත් ඉතින් මේක වෙළඳ ගනුදෙනුවක් මිසක් යුද්ධයක් නෙවෙයිනේ”ඔහු කියයි.

ඒ අතර කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කරනුයේ තමන් එම ධූරයේ සිටින තුරු සාම්පල ප්‍රතික්ෂේප වූ මෙම චීන පොහොර තොගය ගොඩබෑමට අවසර නොදෙන බවය. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවසරයකින් තොරව පොහොර ගොඩබෑමක් කළ නොහැකි බැවින් ආණ්ඩුව මෙම ගැටළුවේදී සිරවී සිටිති. දැන් කෘෂිකර්ම ඇමතිවරයා සඳහන් කරනුයේ මෙම පොහොර වරායෙන් ගොඩබාන්නේ නැති බවකි.

නමුත් ඇමති වරයා කියන්නේ ඊළගට එන කාබනික පොහොර සුදුසු බවට පර්යේෂණ මගින් තහවුරුවුවහොත් එය බාර ගන්නා බවකි. එසේම එය තුන්වන පාර්ශවයකින් පරික්ෂා කිරීමට සුදානම් බව ද ඇමතිවරයා සදහන් කරයි.

මේ උත්සාහ කරන්නේ චීන ඇණවුම වෙනත් වටයකින් රටට ඇතුළත් කර ගැනීමටය. මහාචාර්ය බුද්ධි මාරඹේ විරුද්ධ වූයේ ද මේ කාරණයටය.

මෙම පොහොර තොගය ගොඩබෑවොත් වන බිහිසුණු ව්‍යසනයෙන් නැවත රටට පුනරුත්ථාපනය විය නොහැකි බව ආචාර්ය මහාචාර්යවරු පෙන්වා දෙති.

මෙම නිසා කෘෂි ක්ෂේත්‍රයට සම්බන්ධ මහාචාර්යවරු පිරිසක් මේ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයාගෙන් අවස්ථාවක් ද ඉල්ලා තිබේ.

කෘෂි විශේෂඥයන් ප්‍රසිද්ධියේ පෙන්වා දෙන්නේ මෙරට පස භූමිය විනාශ නොකරන ලෙසට ය. නමුත් න රජයට ඇති ගැති භාවය කරන කොට ගෙන ඉදිරියේදි මෙම පොහොර තොගය වෙනත් ආකාරයකින් රටට ඇතුළත් කිරීමට ඔවුන් කටයුතු කරනු ඇත.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර