කේන්දරේ රාජ යෝගයක් තිබීම රජ කමට සුදුසු කමක්ද? – හේම ශ්‍රී අමරසිංහ

 

ඉදිරි ජනපතිවරණයක් පිළිබඳව ඉවක් වැටුණු සැනින් අප සමාජය මීළඟ ජනාධිපති කවුරුන් ද විනිශ්චය කරන ගුප්ත ක්‍රමයක් තිබේ.ඒ එක් එක් අපේක්ෂකයා ගේ ජන්ම පත්‍ර වල ඇති රාජ යෝග පිළිබඳ විමසිලිමත් වීම ය.මෙය එක් එක් ජනාධිපති අපේක්ෂකයා ගේ ජයග්‍රහණය කෙරෙහි ජනතා විශ්වාසය ද ගොඩ නංවන්නක් බැවින් එක් එක් ජනාධිපති අපේක්ෂකයාගේ ජන්ම පත්‍ර වල ඇති රාජ යෝග හුවා දැක්වීමට විවිධ ජ්‍යෝතීර්වේදී පිරිස් ද යුහුසුළු වනු පෙනෙයි.මේ අතර මෙම රාජ යෝග කතාව තමන් කෙරෙහි ද ගලපා බැලීමට සාමාන්‍ය ජනතාව ද වෙර දරති.
“මගේ කේන්දරේ රාජ යෝගයක් පිහිටලා තියෙනවා කියලා මගේ දෙමව්පියන්ගෙන් දැනගන්න ලැබුණේ මම පුංචිම කාලේ. ඒ කතාව ඉස්සර අපේ නෑදෑයෝ අතරෙත් පැතිරුණා. මට යමක් දැනුම් තේරුම් ඇති කාලෙ වෙනකොට ඒ සමහරු මට විශේෂ ගෞරවයක් දක්වන බවත් මට තේරුණා. ඒ සමහරු මට විහිළු කළෙත් ‘රජ පැටියා’ කියලා. ඒ කොහොම නමුත් මගේ ඉගෙනීම සාර්ථක වුණේ නැති හින්දා මම වෙල්ඩින් වැඩ ඉගෙන ගත්තා. පස්සේ තනියම වෙල්ඩින් වැඩපොළක් පටන් ගත්තත් ඒක හරි ගියේ නැහැ. අද මම වෙල්ඩින් වැඩ කරන්නේ අනුන් යටතේ.’ මීට මාස කිහිපයකට ඉහත එක්තරා තරුණයෙක් ද තම ජන්ම පත්‍රය මා වෙත යොමු කොට එය හැකි ඉක්මනින් පරීක්ෂා කර දෙන ලෙස ඉල්ලීමක් ද කළේය.

එමෙන්ම ඔහු කියා සිටියේ මීට වසර කිහිපයකට පෙර විවිධ රෝගාබාධයන්ට ලක් වූ තම මාපියන් ද අකාලයේ මියගිය බවය. තම වැඩිමල් සොයුරිය ද විවාහ වී ඇති අතර තමන් දැන් තම මහ ගෙදර හුදෙකලා දිවියක් ගත කරන බව ද හෙතෙම කීය.
“කොහොම හරි දැන් මට තේරෙනවා මගේ ජීවිතේ දවසින් දවසම අවුල් වෙනවා කියලා. කොටින්ම මට දැන් හරියට කේන්ති යනවා. ඒ වගේම මට දැන් එක තැනක වැඩ කර ගන්නත් බෑ. මම වගේ රාජ යෝගයක් තියෙන කෙනෙක් මෙහෙම අනුන් යටතේ වැඩ කරන්නේ මොකටද? කියලා මට මං ගැනම දුකක් ඇති වෙනවා. ඉස්සර මට යාළුවෝ කීපදෙනෙක් හිටියා. දැන් ඒ අයත් මාත් එක්ක තරහ වෙලා. ඒ සමහරු කියනවා මට රජ පිස්සුව හැදිලලු. ඒත් මම එයාලට කිව්වා මට රාජ යෝගයක් තියෙනවා කියලා කියන්නේ මගේ කේන්දරේ තියෙන දෙයක් මිසක් මම බොරුවට හදලා කියන දෙයක් නෙවෙයි කියලා. ඉතින් මට ඕනේ ඒ මට තියෙන රාජ යෝගය මගේ පලාපල විස්තරයක් ලියවාගෙන ඒ අයට
පෙන්නන්න.” එම තරුණයා කීය. එහෙත් ඔහු ඉදිරිපත් කළ ඒ කරුණු අනුව එය කේන්දරය බලවා ගැනීමට ඇති හදිසි අවශ්‍යතාවක් සේ මට නොහැඟුණි. එබැවින් සතියකින් ඔහුගේ ජන්ම පත්‍රය පරීක්ෂා කොට පලාපල විස්තරයක් දීමට මම ඔහුට පොරොන්දු වීමි.

එලෙස තම ජන්ම පත්‍රය මා හට ලබා දී ගිය එම තරුණයා ඊට පසු එදින හිමිදිරියේම මට දුරකථන ඇමතුමක් ලබා දී තම ජන්ම පත්‍රය පරීක්ෂා කළේ දැයි මගෙන් අසා සිටියේය. එවිට මම සතියක් තුළ එය පරීක්ෂා කිරීමට මා ඔහුට වූ පොරොන්දුව සිහිපත් කළෙමි. නමුදු පසු දා හිමිදිරියේ ඔහු යළි මට දුරකථන ඇමතුමක් ලබා දෙමින් ඒ පැනයම විමසා සිටියේය. එලෙස එම සතිය තුළ හතර පස් වතාවක්ම මට දුරකථන ඇමතුම් ලබා දෙමින් ඔහු ඒ පැනයම විමසා සිටි බැවින් ඔහු කිනම් හෝ තදබල අසහනයකින්, මානසික පීඩනයකින් පෙළෙන බව මට මූලිකව වටහා ගත හැකි විය. එම තරුණයා මා හමුවේ අනාවරණය කළ පරිදිම ඔහුගේ ජන්ම පත්‍රයේ ‘රුවක පුරුෂ’ රාජ යෝගය සටහන්ව තිබිණි. කුජ හෙවත් අඟහරු වෙතින් හිමිවන මෙම රුචක පුරුෂ යෝගය 1, 4, 7, 10 ස්ථානවල කුජ හෙවත් අඟහරු කේන්ද්‍රගතව වෘශ්චික, මේෂ, මකර රාශිගතව පිහිටීමෙන් පෙන්නුම් කරන්නකි.නමුදු ජන්ම පත්‍රයක සඳහන් රාජ යෝග සම්බන්ධයෙන් සාමාන්‍ය ජනතාව තුළ පවත්නා අනවබෝධය මුල් කොට තම ජීවිතය, අනාගතය සම්බන්ධ අධිතක්සේරුවකින් පසුවීම මත ඔහුගේ වර්තමාන දිවිපෙවෙත කිසියම් අසාර්ථක බවට පත්ව ඇති බව පෙනේ. තම ජන්ම පත්‍රය පරීක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් ඔහු පළ කළ හදිසිය ද ඒ අසාර්ථකත්වය නිරූපණය කරන්නකි.

ජන්ම පත්‍රයක එන ‘රාජ යෝග’ යනු ඒ ඇත්තාට රජකමක් හෝ රාජ්‍ය නායකත්වයක් හිමිකර ගත හැකි නියත සුදුසුකමක් සේ සැලකීම සාමාන්‍ය ජනතාව තුළ සේම ඇතැම් ජ්‍යොතීර්වේදීන් තුළ පවා පවතින බරපතළ මිථ්‍යාවකි. එහි ‘රාජ’ යනුවෙන් හැඳින්වෙනුයේ සිය පෞරුෂය මුල් කරගත් නායකත්ව සුදුසුකමක් මිස වත්මන් ව්‍යවහාරයට අනුව ගතහොත් ජනාධිපති, අගමැති, කැබිනට් අමාත්‍ය, කැබිනට් නොවන අමාත්‍ය, රාජ්‍ය අමාත්‍ය තබා ප්‍රාදේශීය මන්ත්‍රී පදවියක් සඳහා වත් වන සුදුසුකමක් නොවේ. රටක පාලන කාරකාදීන්ගේ ජන්ම පත්‍ර පරීක්ෂා කිරීම්වල දී රාජ යෝග සහිත මෙන්ම රහිත ජන්ම පත්‍ර ද කොතෙකුත් හමුවිය හැක.මෙහිදී රාජ යෝග හිමි ජන්ම පත්‍රයකට හිමිකම් කියන්නා තමන් ජීවත් වන සමාජ සංස්කෘතික පදනම තුළ නායකත්ව සුදුසුකමක් හිමිකර ගනියි. එය තම පවුලේ ඥාතීන් අතර ගම්වාසීන්, ප්‍රදේශවාසීන් අතර හිමිකර ගන්නා නායකත්වයක් විය හැකිය. නමුදු එසේ රාජ යෝග සම්බන්ධ ග්‍රහ පිහිටීම්වලට පවා අසුබ පාපී ග්‍රහ දෘෂ්ටි එල්ල වේ නම් ඒවාට සාපේක්ෂව එහි සුබ පල අහෝසි වීම හෝ අව ප්‍රමාණ වීම සිදු වෙයි. එමෙන්ම එම රාජ යෝගයට අදාළ භාවාධිපති අසුබ නම් එමගින් ද ඉහත ආකාරයේම ප්‍රතිඵල හිමිවීම වළකාලිය හැක.එමෙන්ම එම ප්‍රතිඵල අහිමි කරවන තවත් ග්‍රහමය තත්වයන් ඇති අත්‍ර ඒ සඳහා ඒ තැනැත්තා ගේ ජන්ම පත්‍රය සූක්ෂම පරීක්ෂාවකට ලක් කළ යුතුය.මෙය ජ්‍යෝතීර්වේදය පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක් ඇති ජ්‍යෝතීර්වේදීයකුට වුව දිගු කාල වේලාවක් සහ මානසික ශ්‍රමයක් යෙදවීමට කාරියකි.එබැවින් බොහෝ විට ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවේ.

මා හොඳින් දන්නා හඳුනන ප්‍රදේශයේ මුල් පෙළේ සමාජ සේවකයකුගේ ජන්ම පත්‍රයක ද රාජ යෝග පිහිටා තිබූ අතර එහි ඔහු දිළින්දකු බවට පත් කරන ‘දරිද්‍ර’ යෝගයක් ද පිහිටා තිබේ. එනිසාම ඔහු තමන්ගේ පෞද්ගලික දිවි පෙවෙත ගත කරනුයේ අනුන්ට අත පාමිනි. එමෙන්ම යමකුගේ රාජ යෝගයකට අදාළ ග්‍රහයකු සමඟ නීච ග්‍රහයකු සංයෝගව සිටී නම් ඉනුදු ඒ රාජ යෝගයේ බල බිඳී යනු ඇත.
ඒ අනුව රාජ්‍ය පාලකයන්ගේ පටන් සාමාන්‍ය ජන නායකයන් දක්වා මෙම රාජ යෝග පිහිටි කේන්දර හිමියන් තුළින් දුගී නායකත්වයන්, දුෂ්ට නායකත්වයන්, දුර්වල නායකත්වයන් ආදී විෂම නායකත්ව ලක්ෂණ පහල විය හැක. .ඒ අනුව ජන්ම පත්‍රයක් මගින් රාජ යෝග පෙන්නුම් කරන්නකු වුව තමන් තුළ ගොඩනගා ගන්නා ආත්ම විශ්වාසය සහ පෞරුෂය මත ඒ නාකත්වයට අවශ්‍ය සදාචාරාත්මක පසුබිමකින් යුතුව චිත්ත ශක්තිය ගොඩනගා ගත යුතු ය. එසේ නොමැතිව තම ජන්ම පත්‍රයේ ඇති රාජ යෝගයක් මුල් කොට තමන්ට රජකම ලැබෙන තුරු බලා සිටීම තම ජීවිතය රැක ගැනීමට ජලය නොමැති බව සලකා යමකු සුවිසල් ජලාශයකට පැන දිවි නසා ගැනීමකට සමාන යැයි මට සිතේ.

හේම ශ්‍රී අමරසිංහ

 

ඉරා අදුරුපට