කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

වෛද්‍ය උපාධිය සඳහා සම්මත නිර්ණායකයන්ට පටහැනි ලෙස කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට සිසුන් බඳවා ගැනීමට ගෙන තිබෙන තීරණය තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා ප්‍රමුඛ පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(01) තීරණය කරන ලදී.එහිදී අදාල පෙත්සම කරුණු වසන් කරමින් ගොනුකර තිබෙන බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා විසින් මතු කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කොට තිබේ.එහි දී පෙත්සම්කරුවන් කියා තිබුණේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට වෛද්‍ය විද්‍යා උපාධිය සඳහා සිසුන් බඳවා ගැනීමට සූදානම් වන බවට ඉකුත් අප්‍රේල් මස දැන්වීම් පළ කර තිබූ බවත්, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිර්ණායකයන්ට පටහැනි ආකාරයෙන් එම තීරණය ගෙන තිබූ බවකි.මේ තුළින් තමන්ගේත් ජනතාවගේත් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා මෙම පෙත්සමක් ගොනු කර තිබිණ.මෙම පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන කරුණට අදාළ නඩුවක් මීට පෙර අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබූ බවත්, ඒ පිළිබඳව පෙත්සම්කරුවන් සිය පෙත්සමේ සඳහන් නොකොට කරුණු වසන් කිරීමට කටයුතු කර ඇතැයි විරෝධතා මතු කෙරිණ.ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කරන ලදී.

කාලීන පුවත්