අංශභාගය යනු ශරීරයේ පැත්තක් පණ නැතිවීම යි. එවැනි රෝගියෙකු දුටු විට ඔබේ සිතට ලොකු කම්පාවක් ඇති වීමට පුළුවන. නමුත් මෙවැනි රෝගයක් කාට කොයි මොහොතේ හටගත හැකි දැයි කියන්නට නොහැකි නිසා ඕනෑම කෙනෙකු අංශභාගය ගැන දැනුවත් වී සිටීම ඉතා වැදගත් වනු ඇත.
අපේ ශරීරයේ සෑම ස්නායුවක් ම මොළයෙන් ආරම්භ වේ. ශරීරය සම්බන්ධ සියලුම දේවල් මොළය විසින් බෙදා ගෙන තිබෙන අතර මොළයේ වම් පැත්ත මගින් ශරීරයේ දකුණු පැත්ත බලා ගනී. ශරීරයේ වම් පැත්ත බලාගන්නේ මොළයේ දකුණු පැත්ත මගිනි. ඒ අනුව මොළයේ වම් පැත්තට කිනම් හෝ හානියක් සිදු වුවහොත් ශරීරය දකුණු පැත්ත ක්‍රියාකරවීම අපහසු වේ. මොළයේ දකුණු පැත්තට හානියක් සිදු වුවහොත් ශරීරයේ වම් පැත්ත ක්‍රියාකරවීම අපහසු වනු ඇත.
මොළයට ද පෝෂණය අවශ්‍ය ය. යම් හෙයකින් මෙලෙස මොළයේ එක් පැත්තක් බලා ගන්නා නහරය අවහිර වුවහොත් හෝ පිපිරුණොත් එම ප්‍රදේශයට පෝෂණය ලබා ගන්නට නොහැකි වෙයි. එවිට මොළයේ ඒ පැත්ත මිය යනු ඇත.
මේ ආකාරයට අවහිර වීමක් සිදු වුවහොත් ඒ අවහිර වීමට හේතුව නහරයක් පිපිරීමද යන්න සොයා බැලීමට මොළයේ සීටී ස්කෑන් පරීක්ෂණයක් කළ යුතු වේ. පිපිරී ඇත්නම් ඉක්මනින් ශල්‍යකර්මයකට භාජනය කර ලේ කැටිය ඉවත් කිරීමෙන් රෝගියා සුවපත් කළ හැකිය. නහරය අවහිර වී ඇත්නම් එය සිදුවී පැය එකහමාරක් ඇතුළත එම් ආර් අයි ස්කෑන් පරීක්ෂණයක් මඟින් එය හඳුනාගෙන ඉක්මනින් ප්‍රතිකාර ලබා දුන්නොත් මොළයේ එම කොටස මිය යාම වළක්වාගත හැකිය.
නමුත් අවාසනාවට අපේ රටේ බොහෝ රෝගීන්ට මෙම ප්‍රතිකාර නිසි පරිදි ලබා ගැනීමට හැකියාවක් නැත. රෝගය හැදුණු විගසම රෝහලකට ගෙන යා යුතු වීම, නහරය අවහිර වී ඇත්නම් එය සිදුවී පැය එකහමාරක් ඇතුළත පරීක්ෂා කිරීමට එම් ආර් අයි ස්කෑන් යන්ත්‍රයක් එම රෝහලේ තිබීම, එවැනි අවස්ථාවකදී දිය යුතු ඖෂධවල මිල අධික වීම යන කරුණු මෙහිදී බලපායි. අපේ රටේ රජයේ රෝහල්වල එම් ආර් අයි ස්කෑන් යන්ත්‍ර තිබෙන්නේ කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන රෝහල් කිහිපයක පමණි. මෙසේ ප්‍රතිකාර පමා වීම තුළින් සිදුවන්නේ රෝගියා අංශභාග රෝගියකු බවට පත් වීම ය.
අංශභාග රෝගය ගැන කතා කරන විට අපගේ මතකයට නැගෙන්නේ ශරීරයේ එක් පැත්තක අතක් සහ පයක් අප්‍රාණික වූ රෝගියෙකි. නමුත් අංශභාගය වැළඳෙන හැම දෙනාටම එය හටගන්නේ එකම ආකාරයට නොවේ.
මෙයින් වැඩිපුරම දක්නට ලැබෙන්නේ මුහුණේ එක් පැත්තක් ඒ පැත්තේ අත සහ පය යන තුනම හෝ තුනෙන් දෙකක් නැතිනම් එකක් අප්‍රාණික වූ රෝගීන් ය.
නමුත් මේ කිසිවක් නැතිව කතා කරන විට වචන පටලැවීම ලෙසින් අංශභාගය වැළඳෙන අයද සිටිති. සමහරුන්ට සම්පූර්ණයෙන්ම කතා කිරීමට බැරිව යයි.එසේ වන්නේ අප කුඩා කල සිට වචන සියල්ල මොළයේ සටහන් වී තිබෙන ස්ථානය විනාශ වී යාම නිසාය. එවිට රෝගියාට කතා කිරීමට නොහැකි වන සේ ම අනෙක් අය කියන කිසිම දෙයක් ද තේරෙන්නේ නැතිව යයි.
තවත් සමහර රෝගීන්ට කතා කිරීමට හැකියාව තිබුණත් වචන එන්නේ නැත.එසේ වන්නේ වචන සටහන් වී ඇති මොළයේ අදාළ ස්ථානය විනාශ වීම නිසා ය. ඒ අනුව ඔවුන් හඬ පිට කරනවා පමණි. නැවත ඔවුන්ට වචන ඉගැන්වීම ද අපහසු ය.
මේ සියල්ලට වඩා වෙනස් අයුරින් ද අංශභාගය වැළඳේ. එනම් යමක් දෙස බැලූ විට එහි හරි අඩක් අඳුරු වී ඒ පැත්ත නොපෙනී යාම මින් එක් ස්වභාවයකි.
තවත් අයට අංශභාග ලක්ෂණ හට ගන්නේ ශරීරයේ පැත්තක් හිරි වැටීමක් ලෙසින් හෝ ඒ පැත්තට තියුණු ඇල්පෙනෙත්තිවලින් අනින ආකාරයටය.
මේ ලක්ෂණ අතරින් පැත්තක් අඳුරු වී පෙනීම යන ලක්ෂණය හැරුණු විට අනෙකුත් ලක්ෂණ හට ගත් කෙනෙකුට ඒ සමඟ ආහාර ගිලීමේ අපහසුතා ද ඇති වෙයි. සමහරුන් සිහිසුන් වී ඒ මොහොතේම මිය යාම ද සිදුවිය හැකිය.
සමහරුන්ට ඉහත කී ලක්ෂණ සංඥාවක් ලෙස ඇති වී විනාඩි කිහිපයකින් හෝ පැය කිහිපයකින් එය යථා තත්ත්වයට පත් වන්නට පුළුවන. මෙසේ වන්නේ සියුම් ලේ කැටියක් නහරයක තැන්පත් වී පසුව ඉබේම දියවී යාම නිසාය. මෙලෙස සිදුවූ කල රෝගීන් “දැන් ඉතින් නැවත අංශභාගය හැදෙන්නට ඉඩක් නෑ” යනුවෙන් නිගමනය කරන්නේ නම් එය ඉතාමත් වැරදි අදහසකි. එනිසා මෙවැනි තත්ත්වයක් ඇති වූ වහාම ස්නායු හෝ කායික රෝග විශේෂඥ වෛද්‍යවරයකු වෙත ගියහොත් අංශභාගය වැළඳීම වළක්වා ගන්නට පුළුවන. නමුත් බොහෝ දෙනෙකු එසේ නොකිරීම කණගාටුවට කරුණකි.
ඉතා කලාතුරකින් සමහරුන්ට අංශභාගය වැළඳුණු පසු කල් ගත වීමේ දී යම් පමණකට සුවය ලැබෙන අවස්ථා තිබේ. එය ඉතාම සෙමින් සිදුවන දෙයකි.
මෙම රෝගීන්ගේ පොදුවේ දක්නට ලැබෙන ලක්ෂණයක් වන්නේ ආහාර ගිලීමේ අපහසුතාව යි. මේ නිසා යමක් පොවන්නට යාමේදී පිට උගුරේ යාම සිදුවිය හැකිය . එවැනි අවස්ථාවක හුස්ම හිරවී රෝගියා ඒ මොහොතේ ම මිය යා හැකිය. එය ඉතාම වේදනාකාරී මරණයකි. එනිසා තමේ අවස්ථාවේදී වතුර ටිකක් පොවන්නටවත් උත්සාහ නොකළ යුතුය. එවිට ස්වසන මාර්ගය දිගේ කෑම සහ බීම පෙණහලු කරා යාම සිදුවේ. එහි ප්‍රතිඵලයක් ලෙස රෝගියා මිය යා හැකිය.
එනිසා අංශභාගය වැළඳුණු වහාම රෝගියා රෝහලකට රැගෙන යාම කළ යුතුවේ. එවිට ආරක්ෂාකාරී ලෙස නාසයෙන් බටයක් යවා රෝගියාට දියර ආහාර ලබා දෙන්නට පුළුවන . රෝගියාට කතා කරන්නට බැරි නිසා ආහාර හෝ වතුර ඉල්ලා සිටින්නට හැකියාවක් නැත. කළ යුත්තේ දියර ආහාර සහ වතුර දිගින් දිගටම දීමයි. බත් බ්ලෙන්ඩර් කර කැඳ සාදා දීම , සුප් සාදා එළවළු ටික බ්ලෙන්ඩර් කර සුප් වතුර සමග දීම, කිරි දීම ආදියෙන් රෝගියාට පෝෂණය ලැබේ. එසේ බ්ලෙන්ඩර් නොකර දියරය පමණක් දුන්නොත් රෝගියාට පෝෂණයක් ලැබෙන්නේ නැත.
ඇඳ තෙමා ගන්නා නිසා මුත්‍රා පහ කිරීමට රෝගියාට බටයක් සවි කෙරේ.
මෙවැනි රෝගීන් එක ඇලයකට දිගු වෙලාවක් සිටින විට මේ ලෙස ඇඳට තද වුණු කොටසෙහි ඇඳ තුවාල හටගනියි. සමහරුන් ගේ මෙවැනි තුවාල අඟල් හයක් පමණ ගැඹුරට ඇටකටු දක්වාම පවතිනු දැකිය හැකිය. මේවා හට ගැනීම වළක්වන්නට නම් පැය දෙකකට වරක්වත් රෝගියා හැරවිය යුතුය. එසේ නැතහොත් වතුර පුරවන ලද විශේෂිත මෙට්ටයක් භාවිත කරන්නට සිදුවෙයි.
එක් වරක් හෝ නහරයක් පිපිරීමෙන් නැතහොත් අවහිර වීමෙන් අංශභාගය වැළඳුණහොත් යළිත් එවැන්නක් සිදු වීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩිය. එය වළක්වන්නට නම් රෝගියා දිගින් දිගටම ප්‍රතිකාර ගැනීම වැදගත් වේ.
දියවැඩියාව,අධික රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල්වලින් ආරක්ෂා වීම, ඒවා තමාට තිබෙන්නේ නම් නිසි ප්‍රතිකාර ලබාගැනීම තුළින් ආරක්ෂා වීම , දුම්පානයෙන් සහමුලින් වැළකීම අත්‍යවශ්‍ය වේ.
නමුත් සමහරුන්ට මේ කුමන රෝගයක් නොතිබුණත් අවුරුදු හැට හැත්තෑව පසු වූ කල මෙම රෝගය හට ගැනීමේ අවදානමක් තිබෙන බව නොකියාම බැරිය. කෙසේ වුවද රෝගය වැළඳුණු පසු හැකි ඉක්මනින් රෝහලකට යාම ඉතා වැදගත් කාරණයකි.
කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් ද සිල්වා
ඉන්දු පෙරේරා