කොවිඩ් වසංගතයෙන් පසු නැවතත් ගෝලීය වසංගතයක් ගැන බියක්

කොවිඩ් වසංගතය ගැන කෙමෙන් අමතකව යමින් තිබිය දී මේ දිනවල තවත් වසංගතයක් ගැන බිය පළවෙමින් තිබේ. ඒ වඳුරු උණ යනුවෙන් ද හැඳින්වුණු මන්කිපොක්ස් (Monkeypox) හෙවත් එම්පොක්ස් (Mpox) වසංගතයක් ගැන යි. මෙය ලොව පුරා පැතිර යාමේ අවදානමක් මතුව ඇති බව සඳහන් වන අතර පසුගිය දා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙයට අදාළව ගෝලීය සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට ද පියවර ගත්තේය. මේ නිසා මේ වනවිට මෙම වසංගතය ගැන විශාල අවධානයක් යොමු වන්නට පටන් ගෙන තිබෙනු දැකිය හැකි වේ.

2022 වසරේ ද මෙම එම්පොක්ස් වයිරසය සමහර රටවල පැතිරෙන්නට පටන් ගත්තේය. නමුත් එන්නත්කරණ වැඩසටහන් ආදිය හරහා එය මැඩ පවත්වා ගැනීමට එවර හැකි විය.

එම්පොක්ස් වයිරසයේ වර්ග දෙකක් තිබේ. ඒ, ක්ලේඩ්-1 (Clade 1) සහ ක්ලේඩ්-2 (Clade 2) යනුවෙනි.
2022 වසරේ පැතිරුණේ ක්ලේඩ්-2 වර්ගය යි. එය සැලකෙන්නේ එතරම් වේගයෙන් ව්‍යාප්ත නොවන, එමෙන්ම බරපතල රෝග ලක්‍ෂණ ද ඇති නොකරන වර්ගයක් ලෙසිනි. නමුත් මෙවර පැතිරෙමින් ඇත්තේ ක්ලේඩ් 1 වර්ගය බව අනාවරණය වී තිබේ. එමෙන්ම එහි අලුත් ප්‍රභේදයක් ද පැතිරෙමින් ඇති බව විද්‍යාඥයන් සොයා ගෙන ඇත. එම අලුත් ප්‍රභේදය හඳුන්වා ඇත්තේ ක්ලේඩ් 1බී (Clade 1b) යන නමිනි. මේවා වඩාත් වේගයෙන් පැතිරෙන බවත්, වැඩි මරණ අනුපාතයක් පෙන්වන බවත් සඳහන් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානය වහාම ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇත්තේ මේ නිසා ය.

එම්පොක්ස් වයිරසය අයත් වන්නේ වසූරිය වයිරසය අයත් වන වයිරස කාණ්ඩයටම ය. වසූරිය ද ඉතා භයානක රෝගයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එම්පොක්ස් රෝගයේ ප්‍රධාන රෝග ලක්‍ෂණ වන්නේ උණ, හිසරදය, මස්පිඬු වේදනාව ආදියයි. සම මත බිබිලි සහ දද ඇති වීම ද විශේෂ රෝග ලක්‍ෂණයකි. මුහුණ, අත් පා වැනි තැන්වල මෙන්ම ලිංගික අවයවවල ද මෙම බිබිලි සහ දද ඇති විය හැකි බව සඳහන් වේ. රෝග තත්ත්වය වඩාත් දරුණු වුවහොත් නියුමෝනියාව, මොළයේ ආසාදන ආදිය ඇති වීමටත්, ඒ තුළින් මරණය පවා සිදුවීමටත් හැකිය. මෙම වයිරසය වඩාත්ම බෝ වන්නේ ස්පර්ශය තුළිනි. ලිංගික ක්‍රියාවන් තුළින්, සිප ගැනීම් තුළින්, ආසාදිතයන් පාවිච්චි කළ ඇඳ ඇතිරිලි, ඇඳුම්, තුවා වැනි දේ තුළින් එය තව කෙනෙකුට පහසුවෙන් බෝ වීමට හැකි බව සඳහන් වේ. මුවින් පිටවන කෙළ බිඳිති හරහා ද මෙය බෝ වීමට හැකියාව තිබේ.

වයිරසය සිරුරට ඇතුල් වී දින 3-21 අතර කාලයක් තුළ රෝග ලක්‍ෂණ මතු වේ. ඉන්පසු සති 2-4 අතර කාලයක් රෝග ලක්‍ෂණ පැවතිය හැකිය.

මේ වනවිට එම්පොක්ස් රෝගය වඩාත්ම පැතිරෙමින් ඇත්තේ මධ්‍යම සහ නැගෙනහිර අප්‍රිකාවේ රටවල යි. මේ වසරේ මුල සිට මේ දක්වා අප්‍රිකාවේ රටවල් 13 කින් මෙම වයිරසය වාර්තා වී තිබේ. ආසාදිතයන්ගෙන් සියයට 96 ක්ම වාර්තා වී තිබෙන්නේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙනි. බුරුන්ඩි, කෙන්යාව, රුවැන්ඩාව වැනි රටවලින් ද රෝගීන් වාර්තා වී ඇත. මේ වසර තුළ මෙම රටවලින් හමුවී ඇති ආසාදිතයන් ගණන 17,000 කට ආසන්නය.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ ඉදිරියේ දී මෙය ලොව වෙනත් කලාපවලට ද පැතිරීමේ අවදානමක් පවතින බව යි. “මෙම රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමත්, මෙයට ගොදුරු වී මිනිසුන් මිය යාමත් වැලැක්වීම සඳහා මනා සම්බන්ධීකරණයකින් යුතු ජාත්‍යන්තර උත්සාහයක් අවශ්‍යයි” ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන තෙද්‍රෝස් ගෙබ්‍රෙයේසස් ප්‍රකාශ කර තිබිණි.

මෙවර පැතිරෙමින් ඇති වයිරස වර්ගය ඉතා වේගයෙන් පැතිරෙන නිසා ඉතා ඉක්මනින් එය අප්‍රිකානු කලාපයෙන් පිටතට ද පැතිරීමට ඉඩ ඇති බව විශේෂඥයන්ගේ අදහස යි. මේ වනවිටත් ස්වීඩනයෙන් ක්ලේඩ් 1බී නව ප්‍රභේදය ආසාදනය වූවකු හමු වී තිබේ. ඔහුට වයිරසය ආසාදනය වී ඇත්තේ පසුගිය කාලයේ අප්‍රිකානු රටක රැඳී සිටිය දී බව සඳහන් වේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය ද පවසන්නේ ඉදිරියේ දී මෙය ලොව වෙනත් කලාපවලට ද පැතිරීමේ අවදානමක් පවතින බව යි. “මෙම රෝගය ලොව පුරා ව්‍යාප්ත වීමත්, මෙයට ගොදුරු වී මිනිසුන් මිය යාමත් වැලැක්වීම සඳහා මනා සම්බන්ධීකරණයකින් යුතු ජාත්‍යන්තර උත්සාහයක් අවශ්‍යයි” ගෝලීය සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වන තෙද්‍රෝස් ගෙබ්‍රෙයේසස් ප්‍රකාශ කර තිබිණි.

වයිරස ව්‍යාප්තිය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා ඒ ගැන කරනු ලබන පර්යේෂණ, එය මැඩපැවැත්වීම සඳහා යෙදවෙන අරමුදල් ප්‍රමාණය ආදිය වැඩි වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ. එම්පොක්ස් වයිරසය වසූරිය වයිරසය අයත් වන වයිරස කාණ්ඩයටම අයත් වන නිසා වසූරිය එන්නත තුළින් මෙය වලක්වා ගැනීමට හැකියාව තිබේ.

මෙම වයිරසය මුලින් මන්කිපොක්ස් යනුවෙන් නම් කෙරුණේ 1958 වසරේ එය මුල් වරට සොයා ගන්නා ලද්දේ වඳුරන් තුළින් වීම නිසා ය. ඩෙන්මාර්කයේ විද්‍යාගාරයක කිසියම් පර්යේෂණ කටයුත්තක් සඳහා රඳවාගෙන සිටි වඳුරන් අතරින් එය සොයා ගනු ලැබිණි. මන්කිපොක්ස් යනුවෙන් හැඳින්වුවත් මෙම වයිරසය වෙනත් සතුන් තුළ ද පැතිරෙන්නකි.

මෙම වයිරසය මුලින් මන්කිපොක්ස් යනුවෙන් නම් කෙරුණේ 1958 වසරේ එය මුල් වරට සොයා ගන්නා ලද්දේ වඳුරන් තුළින් වීම නිසා ය. ඩෙන්මාර්කයේ විද්‍යාගාරයක කිසියම් පර්යේෂණ කටයුත්තක් සඳහා රඳවාගෙන සිටි වඳුරන් අතරින් එය සොයා ගනු ලැබිණි. මන්කිපොක්ස් යනුවෙන් හැඳින්වුවත් මෙම වයිරසය වෙනත් සතුන් තුළ ද පැතිරෙන්නකි. දැන් එය මන්කිපොක්ස් යනුවෙන් හඳුන්වන්නේ නැත. පළමු වතාවට මිනිසකු තුළින් එම්පොක්ස් වයිරසය සොයා ගැනුණේ 1970 වසරේ යි. එම ආසාදිතයා වූයේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ මාස නවයක් වයසැති කුඩා දරුවෙකි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර