කොළඹ නගරයේ තරුණ තරුණියන් ෆයිසර් එන්නත ඉල්ලා සිටින බව කොළඹ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි පසුගිය දා ප්‍රකාශ කළේය. ෆයිසර් එන්නතින් වැඩි ආරක්ෂාවක් ඇතැයි පවතින පදනම් විරහිත මතය හේතුව මත මෙලෙස ඔවුන් එම එන්නත ඉල්ලා සිටින බව වෛද්‍ය විජයමුණි ප්‍රකාශ කරයි.අනූ හත් දහසක් පමණ වන කොළඹ තරුණ ජනගහනයෙන් පහෙන් එකකට වඩා ඔවුන්ට දුන් සයිනොෆාම් චීන එන්නත ලබාගෙන නැත.ඔහු එසේ කීවත් ඊට වඩා වෙනත් කාරණයක් තරුණ පිරිස ෆයිසර් එන්නත ඉල්ලා සිටීම තුළ පවතියි. මන්ද විදේශ රැකියා සදහා හෝ විදේශ අධ්‍යාපන අවකාශ සොයා යන බහුතරය කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ පිරිසය. කොළඹ දිස්ත්‍රික්කයේ තරුණ පිරිසට එවැනි බලාපොරොත්තු තිබුණත් එය හේතුවක් කරගෙන ෆයිසර් එන්නත බලධාරින් ලබා දෙන්නේ නැත.
විදෙස් රැකියා සදහා හෝ විදෙස් අධ්‍යාපනය සදහා යන අයට ෆයිසර් එන්නත යුද හමුදා රෝහලෙන් ලබාගත හැකි බව රජය ප්‍රකාශ කර තිබේ. එහෙත් එම එන්නත ලබා ගැනීම වෙනුවෙන් විදෙස් ගතවන බවට ලිපි ලේඛන ඉදිරිපත් කළ යුතුය. විදෙස් අපේක්ෂාව මත පමණක් ෆයිසර් එන්නත ලබා දෙන්නේ නැත.
ඇමරිකාව ආදී යුරෝපා රටවල් චීන එන්නත් ලබා ගත් පුද්ගලයන්ට එරටට ඇතුළු වීමට විසා ලබා දෙන්නේ නැත. ඔවුන් රටට ඇතුළුවීමට අවසර ලබාදී ඇත්තේ ෆයිසර්, මොඩානා, ඇස්ට්‍රාසෙනිකා හා ස්පුට්නික් යන එන්නත් මාත්‍රා දෙකම ලබාගත් පුද්ගලයන්ට පමණකි.
මෙරට තරුණ තරුණියන් ෆයිසර් එන්නත් ඉල්ලා සිටින්නේ එම පදනම මතය. එහෙත් ශ්‍රී ලංකා රජය ෆ්යිසර් එන්නත ලබා දෙන්නේ හම්බන්තොට ජනතාවට ය. ෆයිසර් එන්නත එම ප්‍රදේශයට ලබාදීමට කිසිදු විද්‍යාත්මක හේතුවක් සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දී නැත. නමුත් රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති වරයා කීවේ හම්බන්තොට වරාය හේතුවෙන් එම ප්‍රදේශයට ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇති බව ය.
කොළඹ, ගාල්ල, ත්‍රීකුණාමලය, කන්කසන්තුරේ හා ඔලුවිල් හී ද වරායන් පවතී. රටේ ප්‍රධානම වරාය පවතින්නේ කොළඹ ය.එහෙත් කොළඹ ජනතාවට ෆයිසර් එන්නත ලබා දෙන්නේ නැත. දැනට ෆයිසර් එන්නත ලබා දෙන්නේ පුත්තලම, කිළිනොච්චිය හා හම්බන්තොට යන ප්‍රදේශවලට ය.
පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත කීවේ හම්බන්තොටට ෆයිසර් දුන්නේ එම එන්නත් එවන රටවල් විසින් කරන ලද ඉල්ලීමකට අනුව බවය. පසුව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කීවේ එන්නත් ලබා දෙන කිසිදු රටත් එන්නත දිය යුතු ප්‍රදේශ නම් කර නොඑවන බවය.
එසේනම් හම්බන්තොටට එන්නත ලබාදීම පිටුපස දේශපාලනය තිබෙන බව පැහැදිලි ය. එම කාරණය පදනම් කර ගනිමින් ඉකුත් සතියේ විශේෂඥ වෛද්‍යවරු තිදෙනෙක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ් උපදේශන කමිටුවලින් ඉල්ලා අස්විය. සුප්‍රසිද්ධ කායික රෝග වෛද්‍යවරයෙකු වන විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ද ඒ අතර විය.
විද්‍යාත්මක ක්‍රමවේදයෙන් තොරව මෙලෙස එන්නත්කරණය කිරීම තුළ ගැටළු රැසක් මතුව තිබේ. අවශ්‍ය පුද්ගලයන්ට අවශ්‍ය එන්නත ලැබෙන්නේ නැත. රජය මෙරටට ආනයනය කර ඇති එන්නත් අතරින් වැඩිම එන්නත් සංඛ්‍යාවක් ගෙන්වා ඇත්තේ සයිනොෆාම් එන්නත්ය.
බංග්ලාදේශය මෙම එන්නත් කුප්පියක් මිලදී ගත්තේ ඩොලර් 10 ක් වැනි මුදලකට ය. නමුත් ලංකාව එම එන්නත් කුප්පියක් මිලදී ගන්නේ ඩොලර් 15 ට ය. බංග්ලාදේශයට ඩොලර් 10 ට දුන් එන්නත ලංකාවට දෙද්දී ඩොලර් 15 ක් වූවේ කෙසේද?යන්න ගැටළු සහගත ය. මෙයට රජයේ පිළිතුර වන්නේ එන්නත් ඉල්ලුම වැඩිම අවස්ථාවේ ඇනවුම් කිරිම නිසා මිල වැඩිව ඇති බව ය.
සයිනොෆාම් එන්නත් වැඩිම සංඛ්‍යාවක් ලබාදී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට වීම ද විශේෂත්වයකි. වැඩිහිටියන් කෙසේ වෙතත් තරුණ පිරිස මෙම එන්නත ලබා ගැනීමට සුදානම් නැත. මන්ද ලෝක සෞඛ්‍ය සංවිධානය ද සදහන් කරන්නේ කොවිඩ් වෛරසයෙන් වැඩිම ආරක්ෂාවක් හිමි වන්නේ ෆයිසර් එන්නතෙන් බවට ය. තවද ඇමරිකාව හා යුරෝපයට යාමට නම් සයිනොෆාම් එන්නත ලබා ගැනීමෙන් ඵලක් නොවේ.
රජය නිසි වේලාවට නිසි පියවර නොගැනීම නිසා ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටියි. කොවිඩ් වසංගතය පැතිර යද්දී පැණී හා ගංගාවලට මුට්ටි දමන්නට රජය වෙහෙස වූවා මිස එන්නත් ආනයනය කරන්නට උත්සාහ කළේ නැත. එම නිසා දැන් ජනතාවට සිදුව ඇත්තේ ලෝකය පිළිනොගත් චීන එන්නත් ජනතාවට ලබාදීමටය. චීන එන්නත් මේ වන විට ලබා දෙන්නේ අප්‍රිකාව හා ශ්‍රී ලංකාව පමණකි.ලසන්ත වීරකුලසූරිය