නත්තල් සීයා යනුවෙන් ප්‍රකට ශාන්ත නිකොලා මුනිද්‍රයන් උදෙසා කැප කෙරුණු දේවස්ථානයක් පමුණුගම, බෝපිටියේ තිබේ. නත්තල් සීයා ගේ ත්‍යාගශීලීත්වය ජන්ම උරුමය කර ගත් නිසා දෝ එහි ප්‍රදේශවාසීන් ගෙන් බහුතරය ද අතිශය ත්‍යාගශීලී ය. ඒ අනුව මීට මඳ කලෙකට ඉහත එහි වෙසෙන අපේ හිතවතකු ගෙන් එම දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය නිමිත්තෙන් තම නිවසේ පැවැත්වෙන සුහද හමුවක් සඳහා ඇරයුමක් ලැබිණ.ඒ මටත් ප්‍රජා ක්‍රියාකාරී ආයතනයක් ලෙස පවත්වා ගෙන යන පමුණුගම, බෝපිටියේ මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්යක්ෂ මගේ හිතවත් අරුණ වීරසිංහටත් ය.
“මම නම් ඔය තණ්ඩලේ ලා ගැන දන්නේ අර කරත්ත කවියේ එන තණ්ඩලේ දෙන්න දෙපොලේ දක්කනවා කියන විස්තරේ විතරයි” එම සුහද හමුව තරමක් උණුසුම් වෙමින් පැවැති අවස්ථාවක මම ඊට එක් ව සිටි පමුණුගම, බෝපිටිය ආශ්රිත හිතවතුන් හමුවේ කියා සිටියෙමි.ඒ වන විට අප ගේ මාතෘකාව වී තිබුණේ එම ප්‍රදෙශයේ පිහිටි කොළඹ පුත්තලම ඇල මාර්ගයේ සහ ඊට තරමක් ඔබ්බෙන් වූ පැරණි ඕලන්ද ඇල මාර්ගයේ අතීතයේ පාරු ප්‍රවාහන කටයුතු කළ තණ්ඩලේ ලා පිළිබඳව ය.එම සුහද හමුවට එම තණ්ඩලේ කෙනකුගේ මුනුපුරකු ද එක්ව සිටීම ඒ මාතෘකාව ඇදී ඒමට ආසන්න නිමිත්ත විය.
“ඔය කියන්නේ කරත්තවල තණ්ඩලේලා ගැන නේ” එවිට ඒ සාදයට එක් ව තරමක දොඩමළු බවට පත්ව සිටි ගැමියෙක් කීය. “හැබැයි; ඉස්සර මෙහේ පාරු පැදපු සමහර තණ්ඩලේ ලා නම් දෙන්නා දෙපොළේ නෙවෙයි හත් අට දෙනා හත් අට පොළේ තියාගෙනත් දක්කලා තියනවා”ඔහු සිනාසෙමින් කීයේ ඊට එහි සිටි සියල්ලන් ගේ හාස්‍යෝත්පාදක අනුමැතිය ද ලබා ගනිමිනි. ඔහු කී ඒ “හත් අට දෙනා හත් අට පොළේ තබාගෙන දැක්කීම” යනුවෙන් හඳුන්වන ලද්දේ එම තණ්ඩලේලාට එම පාරු සමඟ දෙපස අනියම් බිරියන් සිටි බව කියා පෑමට ය.ඒ අනුව ඒ මනමාල කම මුසු වූ තණ්ඩලේ රස්සාව ගැන විමසුම් කිරීමේ සිතක් මා තුළ පහළ විය.
ඔරු-පාරු යන යුගල පදය සිංහල බස කතා කිරීමට ලිවීමට, කියැවීමට දන්නා ඕනෑම කෙනකුට අතිශයින් හුරු පුරුදු ය. එහෙත්, ගංගා ඇල දොළ හා සබැඳියාවක් නොමැත්තවුනට මෙහි ප්‍රායෝගික වැදගත් කමක් ඇත්තේම නැත. එනිසාම බොහෝ දෙනෙක් මෙම ඔරු පාරු යන්න හරිහැටි නිර්වචනය කිරීමට වත් නොදනිති.
ඔරුව යනු කුඩා ප්‍රමාණයේ ජලජ යාත්‍රාවක් වන අතර පාරුව යනු ප්‍රමාණයෙන් ඊට වඩා විසල් යාත්රාවකි. දාහතර වන සියවසේ ලියැවුණු පන්සිය පනස් ජාතකයේ ද පසලොස්වන සියවසේ ලියැවුණු හංස සංදේශයේ ද මෙම පාරු යන වදන දක්නට ලැබේ.එහෙත්, දහතුන් වන සියවසේ ලියැවුණු සද්ධර්ම රතනාවලිය සහ දාහතර වන සියවසේ ලියැවුණු සද්ධර්මාලංකාරයේ ඒ සඳහා “පඩව්” යන වදන ද යෙදී තිබේ. ගංගා ඇල දොල ආදියේ සේම මුහුදේ යාත්‍රා කෙරෙන ජල යාත්‍රා ද ඒ කාලයේ පඩව් නමින් හඳුන්වා ඇති බව පෙනෙනුයේ එම පැරණි ලේඛණ වල නැව් නැඟීම යන්න “පඩව් නැඟීම” ලෙසින් දක්වා ඇති බැවිනි. එමෙන්ම පන්සිය පනස් ජාතකයේ එන සමුද්දවානිජ ජාතකයේ එම පඩව්වක ප්‍රධානියා “පඩව් නායකයානෝ” ලෙසින් දක්වා තිබේ. මෙම පඩව් යන වදන තෙලිගු බසින් සිංහලයට එක් වූවක් බව අනාවරණය කර ගත හැකි අතර එදා මෙදා තුර ඒ වෙනුවට යෙදෙන පාරු යන වදනත් සමඟ යෙදෙන තණ්ඩලේ යන වදන ද කොතෙක් ප්‍රාදූර්භූත වූවක් දැයි සොයා ගත යුතු ය.කෙසේ හෝ එය හුදු ජන වහරක් මිස සම්භාව්‍ය සිංහලයෙහි යෙදෙන්නක් නොවේ.නමුදු මෙම තණ්ඩලේ යන යෙදුම ගැල් කරුවන්ට ප්‍රථම පාරු කණ්ඩායම් නායකයන්ට යෙදී තිබූ බව පැහැදිලි ය.
මෙම පාරු සේවය සම්බන්ධයෙන් ඉංග්‍රීසි යුගයට අයත් ලේඛන වල ද බොහෝ තොරතුරු දැක්වේ. ඒවායේ මෙම පාරු හැඳින්වෙනුයේ Padda boat යනුවෙනි. එය මේවා හැඳින්වෙන “පඩව්” වන වදන ඉංගිරිසියට හැරවීමක් බව පෙනෙයි. මෙම පඩව් නම් යාත්‍රා විශේෂය අප රටේ ගංගා ඇල දෙළ වල සේම මුහුදේ ද යාත්‍රා කළ බවට ගාල්ල නගරයට ආසන්න මාගාල්ලේ පිහිටි පඩව්තොට නම් ග්‍රාම නාමය හොඳම නිදසුනකි.
මෙම පාරුවක් මතු පිටට පෙනෙනුයේ පල දෙකකින් යුතු පොල් අතු සෙවිලි කළ දිගැටි නිවහනක් මෙනි. සාමාන්‍යයෙන් අඩි 30–50 දිගින් යුතු පාරුවක පළල අඩි 8-12 දක්වා බව පැවසෙයි. ඒ තුළ වැඩිම කොටසක් භාණ්ඩ ප්‍රවාහනයට වෙන් කොට ඇති අතර නිදාගැනීම පිණිස වූ වෙනම කොටසක් සහ කෙළවරක කුඩා මුළුතැන්ගෙයක් ද තිබේ. ඒ අනුව මෙය එක්තරා අන්දමක නිවසක් ද වූ බවට මෙම සාම්ප්‍රදායික පාරු කවිය ද කදිම සාක්ෂියකි.
සීරුව ඔබට කනු නොම සිටුවා මහත
වාරුව ඇතිව දිය පිට තැනූ ගෙයක් ඇත
මාරුව තැනින් තැන බඩු ගෙන ගමන් යන
පාරුව වැනි ගෙයක් මේ මුළු ලොවේ නැත
ඉහත සඳහන් සුප්‍රකට පාරු කවියට අනුව වුව පාරුව යනු හුදෙක් මගී ප්‍රවාහනයට වඩා භාණ්ඩ ප්‍රවාහනය පිණිස යොදා ගන්නා ලද්දකි. කළු, කැලණි ඇතුළු තවත් ගංගාවන් මගින් සේම දියවන්නා ආදී ඔයවල් ඔස්සේ ද සිදු වූ මෙම පාරු ප්‍රවාහනය සඳහා කොළඹ සහ ඒ ආශ්රිත ඉතා විධිමත් ජල මාර්ග පද්ධතියක් මත තිබූ බව පැහැදිලි ය. සෑම ජල මාර්ගයක්ම කොළඹ වරාය හා සම්බන්ධව තිබීම මත මෙම පාරු සේවය අතීතයේ අප රටේ ආනයන අපනයන කටයුතු සඳහා ද සෘජුවම සම්බන්ධ වී තිබූ අයුරු අතිශයින් පැහැදිලි ය.
මෙම පාරුවක ප්‍රධානියා වන තණ්ඩලේගේ වෘත්තිය අනුව බලන විට පාරුවක තණ්ඩලේ කම පාරුව පැදවීමට පමණක් සීමා නොවේ. එක්තරා අන්දමකට එය පැරණි අශ්ව කෝච්චි යුගයේ තිබී මේ වන විට දුම්රිය සේවයට පිවිස ඇති ගාඩ් හෙවත් නියාමක වෘත්තියට සහ නෞකාධිපති තනතුරට සමාන්තර වූවකි.
පැරණි ඕලන්ද ඇල සහ පසුව 1802 පමණ සිට විවෘත කරන හැමිල්ටන් ඇල හෙවත් ඉංග්‍රීසි ඇළ ඔස්සේ කොළඹ සිට පුත්තලම තෙක් විහිද ගත් පාරු සේවාව මගින් පුත්තලම දෙස සිට කොළඹ දෙසට ප්‍රවාහනය කෙරුණු කොප්පරා, ලුණු, කරවල,පුවක්, පොල් පරාළ, සෙවිලි උළු ආදිය සම්බන්ධ පූර්ණ වගකීම හා භාරකාරත්වය හිමි වූයේ තණ්ඩලේ ට ය. එමෙන්ම කොළඹ සිට ආපසු යන ගමනේ දී ගෙන යන හාල්, සීනි, පිටි, සිමෙන්ති,යකඩ සේම ටින් කෑම, විලවුන් වශයෙන් වූ මෙකී නොකී සෑම බඩු තොගයකම වගකීම සේම ඒ සම්බන්ධ ලිය කියැවිලි වල වගකීම හා භාරකාරත්වය ද තණ්ඩලේ සතු විය. ඒ අනුව හයක් හතරක් නොදන්නා මෝඩයකුට තණ්ඩලේ කෙනකු වීමට නොහැකි බව ඉතා පැහැදිලි ය.”තණ්ඩලේ කියන්නේ ඕනෙ වෙලාවක ඕනෙ සෙල්ලමකට ලෑස්ති මිනිහෙක් කියලනෙ කියන්නෙ” එදා අප එක් වූ සුහද හමුවේ දී පැවසිණ.ඔහු එහි දී “සෙල්ලම” යනුවෙන් කුමක් හැඳින්වුව ද එය තණ්ඩලේ ලා යනු ජීවිත පරිඥානයෙන් මුහුකුරා ගිය වුන් බව ඉන් පැවසෙනු ඇතැයි යන්න මගේ වැටහීම ය.
අතීත සමාජය විසින් පාරු ගොයියන් යනුවෙන් හඳුන්වනු ලැබූ පාරු වෘත්තියට සම්බන්ධ වන්නවුන්ගේ මුල්ම රැකියාව වනුයේ පාරු ඇදීම ය. පාරු ඇදීම යනු ඇල මාර්ගවලදී ඒ ඇල ඉවුරේ සිට පාරුව ඇද ගෙන යාම ය. පාරු සේවයේ මුල්ම රැකියාව වන මෙම රැකියාව බොහෝ විට කොල්ලන් කුරුට්ටන්ට සීමා වන අතර අඩි හතරකට වඩා නොගැඹුරු ඇල මාර්ගවල දී දියේ බැස පාරුව තල්ලු කිරීමට සිදු වන්නේ ද මේ පාරු සේවාවේ නවකයන්ටම ය. ඔවුන් ගේ මෙම රැකියාව කෙතරම් දුෂ්කර වීද යත් අතීතයේ නාත්තන්ඩිය ප්‍රදේශයේ නොගැඹුරු දියේ පාරු තල්ලු කරගෙන යන්නවුන් දකින හරිහැටි ගුණ දහමක නොපිහිටි කොල්ලන් කුරුට්ටන් “පාරුවේ පුවක්” යනුවෙන් පැවසිය යුත්ත කණපිට ගසා කියමින් ගෑ ගැසූ බව මීට කලකට ඉහත මට නාත්තන්ඩිය වලහාපිටිය ප්‍රදේශයේ දී හමු වූ වියපත් ගැමියෙක් කීය.
පාරුව ඇදගෙන යාම සහ තල්ලු කිරීම යන රාජකාරීන් දෙකට අමතරව පාරුවක් ඉදිරියට ගෙන යාම පිණිස වන ඊළඟ උපක්‍රමය නම් රිටි ගෑම ය. පාරුව මත සිට උස් රිටිවලින් ඇලේ පතුලට කරනු ලබන තෙරපීම ඔස්සේ පාරුව ඉදිරියට තල්ලු කරවීම එමගින් සිදු වේ. ඒ හැරුණු කොට කොළඹ පුත්තලම පාරු ගමනේ දී හමුවන මීගමුව සහ මුන්දලම කලපු දෙකේ දී පාරුවේ රුවල් නංවා සුළං බලයෙන් පාරුව යාත්‍රා කරවීම ද තණ්ඩලේ සතු දක්ෂකම මත පදනම් වන්නකි. එහෙත් එය එහි සාර්ථකත්වයට සුළං හමන දිසාව ද බෙහෙවින් වහල් වෙයි. පාරු රැකියාවේ ඉහළම තනතුර වනුයේ “හබල අතට ගැනීම” වන අතර සුක්කානම නමින් ද හැඳින්වෙන හබල නිල වශයෙන් අතට ගත හැක්කේ තණ්ඩලේ කෙනෙකුට පමණයයි කියනු ලැබේ.නූතනයේ වාහන හසුරුවන සුක්කානමට( Steering wheel) ඒ නම යෙදීමට බොහෝ කලකට පෙර පාරුව හසුරුවන හබල එනමින් හඳුන්වා ඇති බව ඒ සම්බන්ධයෙන් කරනු ලබන විමසුම් වලින් පෙනී යයි.
ඒ කෙසේ වුවද මෙම පාරු ගමන ඉබි ගමනකටත් වඩා හෙමින් සිදුවන්නක් පුත්තලමේ සිට කොළඹ දෙසට ටොන් හත අටක භාණ්ඩ කන්දරාවක් දරා ගෙන ඒමේ දී එහි වේගය පැයට සැතපුමක් තෙක් පහළ බසින අවස්ථා ද තිබේ.ඒ සම්බන්ධ කදිම නිදසුනක් ලෙස ඉංග්‍රීසි පාලන සමයේ මෙරට ජ්‍යෙෂ්ඨ සිවිල් නිලධාරියකු වන ශ්‍රීමත් විලියම් වට්වින්හැම් 1845 වසරේ කොළඹ සිට පුත්තලම තෙක් ජලජ මඟක් ඔස්සේ කළ චාරිකාව දැක්විය හැක. ඒ සම්බන්ධයෙන් ඔහු තැබූ සටහනකට අනුව ඔහුට කොළඹ සිට හලාවත තෙක් පාරුවකින් ගමන් කිරීමට දින පහකුත් හලාවත සිට පුත්තලමට අඟුලකින් ගමන් කිරීමට දින එක හමාරකුත් ගත වී තිබේ.
ඒ අනුව පුත්තලමේ සිට කොළඹට පැමිණෙන භාණ්ඩ පුරවා ගත් පාරුවකට ඒ සඳහා දින දහයක් පමණ ගත වූ අතර ආපසු පුත්තලම තෙක් ගමන් කිරීමට දින අටක් පමණ ගත වූ බව පැවසෙයි.
අවුරුදු දහසයේ දී පාරු රස්සාවට පැමිණිය ද යමකුට තණ්ඩලේ කෙනකු ගේ මට්ටමට උසස් විය හැක්කේ අවුරුදු විස්සක පමණ වෘත්තීය අත්දැකීම් අනුව බව කියනු ලැබේ.
තම ජන සංස්කෘතිය සම්බන්ධ දැනුම අත්දැකීම් සම්භාරයක් හිමි කරගෙන සිටි කොළඹ පුත්තලම හැමිල්ටන් ඇල මාර්ගය අද්දර ජීවත් වූ විශ්‍රාමික ගුරුවරයකු සේම එම ප්‍රදේශයේ ප්‍රභූ වරයකු වූ ස්ටැන්ලි රුද්‍රිගු (ස්ටැන්ලි මාස්ටර්) වරක් ඒ පිළිබඳව කීයේ මෙබඳු කතාවකි.
“ඔය තණ්ඩලේ රස්සාව හැමෝටම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට හොඳ කායික, මානසික ශක්තියක් පෞරුෂයක් එඩිතර බවක් නිර්භීතකමක් වගේ හොඳ මතක ශක්තියක් ගණන් හිලව් ගැන දැක්මක් තියෙන්න ඕනේ. කොටින්ම ඉස්සර කතාවක් තිබ්බා;ලොම් ගාණට පාරු රස්සාවට ආවට තණ්ඩලේලා ඉතුරු වෙන්නේ අං ගාණට කියලා.ඒ වගේම ඔය තණ්ඩලේ ලා ලෙඩ වෙන්නෙ වයසට යන්නේ නෑ කියලත් ඒ කාලේ කතාවක් තිබුණා.ඒත් ඒකේ ඇත්තම කතාව ඔය තන්ඩලේකම ලෙඩෙකුට වයසක කෙනෙකුට කීයට වත් කරන්න පුළුවන් එකක් නෙවෙයි.එතකොට ඒ තණ්ඩලේ කරන්නේ පාරු රස්සාවෙන් අයින් වෙන ඒක”
එක්තරා අන්දමකින් බලන විට තණ්ඩලේ යනු නායකයකු සේම ගෘහමූලිකයෙක් ද වෙයි. ඒ පාරුව කුඩා මුළුතැන්ගෙයකින් ද සමන්විත නිවසක් බැවිනි. එහි පිසෙන බත පාරුබත නමින් හැඳින්වෙයි. ඒ බත පිසීමට තේ පිලියෙල කිරීමට පාරු කාර්ය මණ්ඩලයේ අරක්කැමියෙක් ද සිටියි. ඒ බොහෝ විට තණ්ඩලේ ලාගේ පූර්ව රැකියාවකි. “ඒ කාලේ පාරු බත කිව්වට හරිම ප්‍රසිද්ධයි. විශේෂයෙන් කොප්පරා, මිරිස් පුච්චලා ලූනු උම්බලකඩ මිශ්‍ර කරලා කොටලා හදන පාරු සම්බෝලේ සුවඳට ඇල දෙපැත්තේ ඉන්න බඩ දරු අම්මලාගේ දොල දුක ඇවිස්සෙනවා කියලා අපේ වැඩිහිටියෝ කියලා තියනවා. ඒ එක්කම පරිප්පු කිරට අළුත් මාළු මිරිසට උයලා ගත්තම දිව්‍ය භෝජන පරාදයි කියලා තමයි අපි පුංචි කාලේ අහලා තියෙන්නේ” ස්ටැන්ලි මාස්ටර් කීය.
අප අසා ඇති අන්දමට මේ තණ්ඩලේ වැඩි දෙනෙක් විවාහකයෝ ය. එහෙත් ඔවුනට තම නිවෙස් වල පවුල් ජීවිත ගත කිරීමට ලැබෙන ඉඩකඩ සීමිතය. එහෙත් තම පෞරුෂය එඩිතර බව ක්‍රියාශීලී බව අනුව ඒ අඩුපාඩුව තම පාරු රස්සාව කරන අතරේ සපුරා ගැනීමට ඔවුන් තුළ වූ විශේෂ හැකියාව හුදු ප්රලාපයක් නොවේ. ඒ ඒ පැරණි ඕලන්ද ඇල සහ හැමිල්ටන් ඇල දෙපස එවක ජීවත් වූ සුරුපී බලවතුන් ගෙන් යම් කොටසක් තණ්ඩලේ ලාගේ ග්‍රහණයට ලක් වී හෝ තණ්ඩලේ ලා ග්‍රහණයට ගැනීම ප්‍රබල සිද්ධියක් වූ බැවිනි.
මීට සියවසකට හමාරකට පෙර කාන්තාවන් ස්වභාවිකවම ප්‍රිය කරන සුවඳ සබන්,පවුඩර්, විලවුන් ආදිය සුලබ නොවූ මුත් එංගලන්තය ඇතුළු විදේශයන් ගෙන් මෙරටට ගෙන්වන එබඳු දේ බොහෝමයක් මෙම තණ්ඩලේ ලා සතුව තිබූ බව නොරහසකි. එය ඔවුන් එවක කතුන් ආකර්ශනය කිරිමට වශී බන්ධනයක් සේ යොදා ගත් බව ද රහසක් නොවේ.
“ඔය තණ්ඩලේ ලාගේ මනමාලකම් ගැන ඒ කාලේ ලොකු ප්‍රසිද්ධියක් තිබුණා.ඇලවල් දෙපැත්තේ සමහර ගෑනු උදවිය තමන් ගේ හිතවත් තණ්ඩලේ ලාගේ පාරු එනකම් මඟ බලාගෙන හිටියා කියලත් අපි අහලා තියනවා.නමුත් හැම ගෑනු කෙනෙක්ම ඒ මට්ටමට නොවැටුණු බවත් විශේෂයෙන් කියන්න ඕනේ”. හැමිල්ටන්ඇල මාර්ගය අද්දර ගම් පියසක් වන පමුණුගම නුගපේ ජන්ම ලාභය ලත් ප්‍රවීණ ගත් කතුවරයකු සහ පරිවර්තකයකු වන සිසිල් රුද්‍රිගු කීය.
“පාරු මාලේ ” නමින් හැඳින්වෙන දහනව වන සියවසේ අග භාගයේ පමණ ප්‍රබන්ධය වූ බව සිතිය හැකි ජන කවි පෙළක් තිබේ. එය ලියැවී ඇත්තේ කොළඹ සිට පුත්තලම තෙක් වැටී ගත් පාරු ඇලක් ගමන් ගන්නා පාරු කරුවන් ගේ අත්දැකීම් සමුදායක් ලෙසිනි. කවි විසි තුනකින් යුතු පද රචනයක් වන එහි මතුපිටින් පාරු රැකියාවේ ඇති දුක්ඛිත බව පැවසෙතත් එහි එම පාරු මඟ දෙපස හිඳින කාන්තාවන් සම්බන්ධයෙන් සිදු කොට ඇති වර්ණනයන් මගින් පෙනී යන්නේ එම පාරු මාලය කවි පෙළේ රචකයා වුව ස්ත්‍රී ලෝලියකු ලෙසිනි.
වගේ මම කියමි අසතොත් සිත සවන
නුගේ ළඟ නාන තොටුපළ ළඟ සිටින
ඇගේ ගුණ නුවණ මෙතෙකැයි නැත පමණ
නඟේ නුඹ සිටින් මම එන තුරු ඔතන
යන පාරු මාලේ කවි වල තෙවන කවියෙන් කියැවෙන නුගේ ළඟ නාන තොටුපල සිසිල් රුද්‍රිගු සූරීන් ගේ උපන් පමුණුගම නුගපේ විය යුතු ය.
“ඔය පාරුවේ ඇතුල එක විදිහක ගුහාවක් වගේ. ඒක අතුලේ ඉන්න කෙනෙකුව පිට ඉන්න කාවවත්ම පේන්නේ නැහැ. ඒ වගේම ඒ කාලේ ඔය පාරු ඇලවල් දෙපැත්තේ රා කඩ, ටේස්ට් කඩ, ආප්ප කඩ, කෝපි කඩ වගේ හැම දෙයක්ම තිබිලා තියනවා. ඒ වගේම ඒ වගේ තැන්වල බුලත් විට, සුරුට්ටු වල ඉඳලා අනික් හැම දෙයක්මත් තිබිලා තියනවා.ඒවා තමයි රෑට පාරු නතර කරපු පාරු තොටවල්” මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ අධ්යක්ෂ අරුණ වීරසිංහ ඉතා මෑත දිනෙක මා හා කීය. ඒ ඔහු පමුණුගම බෝපිටිය ඇතුළු හැමිල්ටන් ඇල මාර්ගය අද්දර පැරණි ගැමියන් ගෙන් අසා දැන ගත් කරුණු මුල්කර ගනිමිනි.
“හැබැයි එතන තියන බරපතලම දේ ඒක නෙවෙයි” ඒ සමඟම ඔහු කීය. “ඉස්සර හිටපු සමහර තණ්ඩලේ ලටම ඒ හැම තොටුපලකම ගෑනු අය වගේම ළමයින් හිටියලුනේ”මගේ හිතවතා කීයේ කරත්ත තණ්ඩලේ ලා දෙන්නා දෙපොලේ දක්කන අතරේ පාරු පදින බොහෝ තණ්ඩලේ ලා හත් අට දෙනා හත් අට පොළේ තියාගෙන දැක්වූ බවට බවට මා කලකට පෙර ඇසූ කතාවේ සත්‍යයතාව තව දුරටත් තහවුරු කරමිනි.නමුදු විසි වන සිය වස තුළ අප රටේ ගොඩ බිම් ප්‍රවාහන පද්ධතිය ශීඝ්‍රයෙන් ප්‍රවර්ධන වීම මත අතීතයේ මෙහි විසූ මෙම රස කාමී මිනිසුන් පිළිබඳ යටගියාව ද වේගයෙන් යටපත් වෙමින් තිබේ.
තිලක් සේනාසිංහ