සියලු ඉතිහාස ගත කතා ප්‍රවෘත්තීන්ට අනුව අප රටේ රජකම් කළ අසම සම මහ නරපතියා දුටුගැමුණු රජතුමා ය. එහෙත්, එතුමන් ගේ මවු පාර්ශ්වයෙන් මුත්තණුවන් වන ආසන්න වශයෙන් ඊට අඩු සියවසකට පමණ පෙර කැලණියේ රජකම් කළ කැලණිතිස්ස රජු තම රාජ්‍යත්වයට සේම ජීවිතයට ද බරපතළ විනාශයක් අත්පත් කරගත් නරපතියෙකි. තමන් විසින් ඇති කර ගනු ලැබූ වැරදි වැටහීමක් මත රහත් හිමි නමක් උණු තෙල් කටාරමක බහා ඝාතනය කිරීම ඔහු ගේ ඒ විනාශයේ ආරම්භයයි. රජතුමන් කළ මෙම අතිශය බිහිසුණු ක්‍රියාවෙන් දෙවිවරුන් කෝප වී රාජධානිය විනාශ කර දැමීම පිණිස මහ මුහුද ගොඩ ගලන්නට සැලැස් වූ බවත් ඉන් පසු රජතුමා තමන් කළ වරදට වන්දි වශයෙන් තම දියණිය; පසු කලෙක දුටුගැමුණු රජතුමා ගේ මව බවට පත් විහාර මහාදේවිය මුහුදට බිලි කළ බවත් වංශ කතාවන් හි සඳහන් ය. මහා වංශයේ 22 වන පරිච්ඡේදයේ 12-23 ගාථා පාඨ පරීක්ෂා කිරීමේ දී එම වෘත්තාන්තය සැකෙවින් දැක ගත හැක.
කැලණිතිස්ස රජු කළ ඒ පාපතර බිලි පූජාව දෙවියන් පිළිනොගත් අතර විහාර මහාදේවිය රැගෙන මුහුදේ පාවී ආ ඒ යාත්‍රාව ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළට ගොඩ ගැසූ බවත් පසුව ඇය ගෞරවාදරයෙන් පිළිගත් එවක මාගම් නුවර රජ කළ කාවන්තිස්ස රජතුමා විහාර මහාදේවිය සරණ පවා ගත් බවත් එම මහා වංශ පරිච්ඡේදයේ 21- 23 වන ගාථා පාඨවලින් පැවසෙයි.
නමුදු එවැනි බිහිසුණු අනර්ථකාරී ක්‍රියා දෙකක්ම කළ කැලණිතිස්ස රජුට ඉන්පසුව කුමක් වූයේද? යන්න පිළිබඳව මහා වංශයේ සඳහන්ව නැත. එහෙත්, “පින් පව්” පිළිබඳ හැඟීමක් තැකීමක් ඇති ඕනෑම කෙනකු තුළ ස්වභාවික කුතුහලයක් ජනිත කළ හැකි එම කරුණ පිළිබඳව මහා වංශයේ සඳහන් නොවීම මුල් කොට පසුකාලීන ගත් කතුවරුන් විසින් එය කැලණිතිස්ස රජතුමා මඟුල් ඇතු පිටින්ම මහ පොළොව පලාගෙන අපාගත වීමක් බව දක්වා තිබේ.
කෝට්ටේ යුගයේ ඉරුගල්තිලක පිරුවන්පති හිමියන් විසින් ලියන ලදැයි සැලකෙන කෝකිල සංදේශය අප රටේ වැඩිම දුර ප්‍රමාණයක් පිළිබඳ විස්තර කෙරෙන සංදේශ කාව්‍යයයි. දෙවිනුවරින් ඇරඹෙන එම සංදේශයේ එන කෝකිල චාරිකාව නිමාවනුයේ යාපා පටුනෙණි. එමෙන්ම එහි විශේෂත්වය වනුයේ අප රටේ බටහිර වෙරළ බඩ ආශ්‍රිතව වැටී ගත් කෝකිලයා ගේ ගමන් මඟ කොළඹ සිට මන්නාරම දක්වා වර්තමාන කොළඹ, මීගමුව,හලාවත හරහා පුත්තලම දක්වාත් එතැන් සිට වනාතවිල්ලුව හරහා මන්නාරම දක්වාත් වැටී ගත් මාර්ගයට සමාන්තරව වැටී තිබීම ය. එහි දී කොළඹ සහ උතුරුකරය හා සම්බන්ධ අතීතයේ පැවැති ප්‍රධාන මාර්ගය ද මෙය වීම මත කෝකිල සංදේශය කතුවරයා කෝකිලයා ගේ ගමන් මඟ ලෙස මෙය දක්වා ඇති බව පෙනෙයි.
එහිදී මස්කෙළිය (මට්ටක්කුලිය) කැලණිය, වත්තල, මාබෝව(මාබෝල), රිළවුල්ල, වැලිගම්පිටිය ආදී කොළඹට ආසන්න ග්‍රාමයන් පිළිබඳව විස්තර කරන කෝකිල සංදේශ කතුවරයා එහි දක්වා ඇති 171 වන කවිය මෙලෙසිනි.
මතුවන නොදැන ගුරු එරහත් හිමි නිමල
සිතු විකලින් බඳනෙහි ලමිනි උණු තෙල
ඇතු සහ නිරිඳු ගෙන ගිය මහ පොළෝ තල
ඇතුබුන් වළැයි යෙති ඒ දකු මඟ අසල
“ඵල විපාකය නොදැන සිහිය විකල්ව සිය ගුරු වූ රහත් හිමි නමක උණු තෙල් බඳුනෙහි දා රජතුමා ඇතු ද සමග පොළෝ පලා ගෙන ගිය ඇතුබුන් වළ නම් ස්ථානය දැක ගනුව” යනු ඒ කවියේ සරල අදහස ය. ඒ අනුව කෝකිල සංදේශයේ සඳහන් ඇතුබුන්වළ ලෙස මාබෝල සහ රිළවුල්ල අතර පිහිටි එම ඉසව්ව කෙරෙහි තරුණ වියේ සිට ඉමහත් කුතුහලයකින් පෙළුණු මම මේ වනවිට එහි තත්ත්වය විමසා බැලීමේ නොමඳ ආශාවකින් පෙළුණෙමි. එහෙත්, මුලදී ඒ සම්බන්ධ නිශ්චිත තොරතුරක් දැන ගත නොහැකි විය.
සරත් වත්තල යනු වත්තල ප්‍රදේශය ජන්ම ලාභය කර ගත් අප රටේ පසු කීර්තිමත් පුරා විද්‍යාඥයෙකි. එබැවින්, එක් දහස් නවසිය අනූවේ දශකයේ දිනෙක ඔහු හමු වූ මම මේ ඇතුබුන්වළට යන පාර අසා සිටියෙමි. එවිට ඒ විද්වතා පවසා සිටියේ මේ වනවිට ඒ සම්බන්ධ නිශ්චිත ස්ථානයක් හඳුනාගෙන නැතත් වත්තල හා වැලිසර ප්‍රදේශය ආශ්‍රිතව මීගමු පාර අද්දර “ඇතා එරුණු වළ” නම් පහත් බිමක් දක්නට ලැබෙන බව තමන් ද අසා ඇති බවකි. නමුදු එය හුදෙක් මානව විද්‍යාත්මකව මිස පුරා විද්‍යාත්මක අගයක් නොමැති වීම නිසා දෝ සරත් වත්තල සූරීන් ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් නොදක්වන්නට ඇත.
මේ අතර නිදහස් මාධ්‍යවේදිනියක වන හැඳල, තිඹිරිගස්යාය නිජබිම කරගත් නිර්මලා කුමාරි සේනාරත්න මහත්මිය ගෙන් ඊට පසු කලෙක මා කළ විමසුමක දී ඇය වැලිසර ප්‍රදේශයේ අද ද “මඟුල් පොකුණ” ලෙස නම් කරන ගම්වරයේ ඉතිහාසය හා කැලණිතිස්ස රජුගේ ඒ ඛේදවාචකය අතර යම් සබැඳියාවක් තිබිය හැකි බව කියා සිටියා ය. එබැවින් මම ඊට පසු දිනක මඟුල් පොකුණ ගම්මානයට ද ගොස් ඒ ස්ථානය පිළිබඳව විපරම් කර බැලීමි. එවිට එහි ගැමියන් වෙතින් දැන ගතහැකි වූයේ මා මඟුල් පොකුණට පැමිණ ඇත්තේ පොකුණ මාරු කරගෙන බවත් එය බොහෝ විට වත්තල කෙරඟපොකුණ නම් ගම්මානය විය හැකි බවත් ය. ඒ අනුව ඉන්පසුව කෙරඟපොකුණ ගම්මානයට ගිය මට එහි දී කොළඹ මීගමු පාරේ වැලිසර ඇළෙහිවත්ත ප්‍රදේශය මුල්කොට එවැනි පැරණි රජ කතාවක් ඇති බව දැන ගත හැකි විය. “හැබැයි ඉතින් අද ඒ පළාත්වල ඔය රජ කතා දන්න පරණ මිනිස්සු නම් කවුරුවත්ම නැතුව ඇති” යනුවෙන් ද මට කෙරඟපොකුණ වාසීන් ගෙන් අසන්නට ලැබිණ. එසේ දැන ගන්නට ලැබුණු පරිදිම වර්තමානයේ කොළඹ මීගමු පාරේ ඇළෙහිවත්ත මුළුමනින්ම පාහේ වෙනත් ප්‍රදේශවලින් පැමිණි මධ්‍යම ඉහළ පාන්තිකයන්ගේ උස් තාප්පවලින් වට වූ වාසස්ථානවලින් පිරී ගිය නාගරික ජනාවාසයකි. එබැවින් ඒ ස්ථානය නිවැරදිව දැක්විය නොහැකි පාරම්පරික වියපත් ගැමියකු සොයාගැනීමේ දුෂ්කරතාවයෙන් මම එවක මහත් අසීරුවකට පත් වීමි.
එහෙත්, ඒ කෙසේ හෝ කැලණිතිස්ස තම මඟුල් ඇතු ද සමග මහ පොළොවේ ගිලී යෑම සම්බන්ධ මෑත කාලීන සාහිත්‍ය කෘතීන් හි (The Story of the Sinhalese-John m. Senavirathna) පවා සඳහන් එම පුරාවෘත්තය ගැන දන්නා මිනිස් පුළුටක් හෝ එහි ඇති යන අබමල් රේණුවක තරම් විශ්වාසය මා කෙරෙන් මුළුමනින් ගිලිහී ගියේ නැත. එය පදනම් කර ගෙන මම පසුගිය සතියේ යළි වැලිසර ඇළෙහිවත්ත පීරන්නට වීමි.“එහෙම දන්න පරණ මිනිස්සු නම් දැන් මෙහෙ නෑ” ඒ වෘත්තාන්තයේ සුලමුල පවසා ඇළෙහිවත්ත ප්‍රදේශයේ ගොසරියකින් ඒ පිළිබඳව විමසුම් කළ මට එහි බඩු අලෙවිකරමින් සිටි කාන්තාව කීවා ය. “අන්කල් ඔය කියන්නේ අර රජ කෙනකුගේ ඇතා ගේ සීන් එක නේද?” එවිට ජංගම දුරකථන කාඩ් පතක් මිලට ගැනීම පිණිස එහි පැමිණ සිටි හීන්දැරී කොලුගැටයෙකු මගෙන් අසා සිටියේ මා විස්මයෙන් අන්දමන්ද කරමිනි. ඔහු වැලිසර ඇළෙහිවත්තේ පදිංචි දාහත් වියැති නඳුන් විහන්ස ය.
“ඔහොම කතාවක් තියනවා කියලා මිසක් ඒ ගැන වැඩිපුර දෙයක් නම් මම දන්නේ නෑ …. අන්කල් ඔහොම කෙලින්ම ගිහින් ඇළෙහිවත්තේ ඇන්තනි කඩෙන් අහලා බලන්න. එයාලා නම් මේ ගමේ පරණ මිනිස්සු, සමහරවිට ඔය කතාව දන්නවා ඇති.”අප පරණ මිනිස්සු ලෙසින් හඳුන්වන වියපත් පුද්ගලයන් සිය ගණනක් පැරද වූ ඒ කොලු ගැටයාගේ කතාවෙන් මහත් උද්දාමයට පත් මම කෙලින්ම ඔහු කී ඇන්තනි කඩය සොයා ගියෙමි.
වැලිසර ඇළෙහිවත්ත ප්‍රදේශයේ දැනට ඉතිරිව හිඳින පාරම්පරික ගැමියන් ගෙන් වැඩි පිරිස කිතුනු දහම අදහන්නෝ වෙති. එබැවින් ලක් ඉතිහාසය සහ සංස්කෘතිය සම්බන්ධ කරුණු බෞද්ධයන්ට සාපේක්ෂව ඔවුන් වෙත සම්ප්‍රේෂණය වනුයේ අඩුවෙනි.
“ඔහොම රජ කෙනකු ගේ කතාවක් තියනවා; මේ ගමේ පහළම හරියේ. ඒ හරියට දැන් කියන්නේ තොටුව කියලා. ඒත් ඒ ගැන ලොකු විස්තරයක් නම් කියන්න දන්නේ නෑ. කෝකටත් ඔය තොටුව කියන තැනට ගිහින් විස්තර ටිකක් අහලා බලන්නකෝ” එහි හිමිකරු වන ඇන්තනි බොතේජු මහතා කීය.
“දැන් මේ හරියේ වැඩිපුරම පිට මිනිස්සු හිටියට මොකද ඔය තොටුව හරියේ තාමත් මේ ගමේ මුල් පදිංචිකාරයෝ පවුල් කීපයක් ඉන්නවා. ඒ අය අතරේ ඔය ගැන වැඩිදුර යමක් දන්න අයත් ඇති” ඒ වෙළෙඳ සැලේ දී අපට හමු වූ අනෝමා ප්‍රියංගනී මහත්මිය කීයේ බාගෙට පණ ගොස් තිබූ මගේ අපේක්ෂාව නම් රෝගියා මිනී කාමරයට ඇද නොදමා තව දුරටත් වාට්ටුවේ රඳවාගත යුතු බවට මගේ සිතට ඉගියක් දෙමිනි.
“ඔය ඇතා එරුණු වළ කිව්වේ බොහොම ඉස්සර. දැන් කවුරුවත් ඒ නම කිව්වට දන්නේ නෑ. හැබැයි ඔය තොටුව කියන්නේ නම් බොහොම අපූරු තැනක්. දැන් මේ පැත්ත දිගට හරහට ගොඩ වුණාට ඔය තොටුවේ කොටසක් තාම ඒ විදිහටම තියනවා. මොකද? තාමත් තොටුවෙන් අවුරුද්දේ දවස් තුන්සිය හැට පහේම උල්පත් මතු වෙනවා. ඒ හින්ද ගොඩ කරන එකත් ලේසි නෑ ….. ඔය රජ කෙනකුගේ අලියා එරුණු කතාව ගැන නම් මම වැඩිපුර දන්නේ නෑ. හැබැයි දැන් උනත් ඔය තොටුව හරියට අලියෙක් බැස්සුවොත් එරෙන එක එරෙනවාම තමයි” තොටුව පිළිබඳ තොරතුරු විමසීමට යන ගමනේ දී අපට හමු වූ ජූඩ් නෙල්සන් මහතා කීය.
අපගේ මාතෘකාවට පාදක වන ස්ථානය වශයෙන් සාධාරණ ලෙස අනුමාන කළ හැකි කෝකිල සංදේශයේ කෝකිලයා දන්නා එහෙත් අප නොදන්නා ඇතුබුන්වළ ලෙස සැලකිය හැකි පරිශ්‍රය අදටත් මුළුමනින්ම ජල ජීවී පරිසර පද්ධතියකි. එහි කොටසක් ඇළ මාර්ගයක් සේ පෙනෙන අතර අප යනවිට එය ජලජ පුෂ්පයන් ගෙන් අලංකාරවත් වී තිබිණ. එහි අනෙක් කොටසේ සැලකිය යුතු බිම් ප්‍රමාණයක කීර කොටු දැකිය හැකි විය. “අපි පුංචි කාලේ මෙතැන හරි අපූරු ජලාශයක් තිබුණා. ඒක පිරිලා තිබුණේ මේ වටේට තියන උල්පත්වලින් එකතු වෙන වතුරවලින්. ඒ නිසා වතුර හරිම පැහැදිලියි. වතුර මට්ටම අඩි හතරක් විතර වුණාට දවල් අව්ව වැටුණම පතුලේ වැලි දිලිසෙනවා පේනවා. ඒකේ පීනන මාළු පතුලේ ඉන්න වැලිගොව්වෝ පවා බොහොම පැහැදිලිව පෙනුණා. ඉස්සර අපි හැමෝම නෑවේ ඒ ජලාශයෙන්. ඉස්සර මේ පැත්තේ රා මැදීමත් බොහොම සරුවට තිබුණා. ඒ කාලේ රා මැද්දේ මලයාලම් බාසාව කතා කරන කොච්චි මිනිස්සු. ඒ අය බිව්වෙත් ඔය ජලාශයේ වතුර. දැන් ඒ ජලාශය ගොඩ වෙලා. දැන් මේ පැත්තට සිද්ධ වෙලා තියන වින්නැහියේ හැටියට මෙහේ වතුර බොන්න තියා පයින් පාගන්නවත් බෑ. එච්චරටම වස විස මුසුවෙලා” මෙහිදී අප හා එසේ පවසා සිටියේ ඒ තොටුව නම් වන ස්ථානය අද්දර කුඩා වෙළෙඳ සැලක් පවත්වා ගෙන යන එම්. ඩී. ජොසපින් මහත්මියයි.
කෝකිල සංදේශයේ ඇතුබුන්වළ ලෙසත් පැරණි ජන වහරේ ඇතා එරුණුවළ ලෙසත් හැඳින්වෙන මෙම ස්ථානය සම්බන්ධයෙන් මෙම චාරිකාවේ දී වැදගත්ම සාක්ෂිය ගොනු කර ගැනීමට අපට හැකි වූයේ ඇළෙහිවත්තේ පාරම්පරික වැසියකු වන ගෝනදූවගේ සරත් අන්තෝනි මහතා ගෙනි.
“අපේ පරම්පරාවම මේ ඇළෙහිවත්තේ පාරම්පරික ඉඩම් හිමියෝ. මේ ගමට ඇළෙහිවත්ත කියන්නේ ඇළ ඉහ වත්ත කියන වචනය කෙටි කරලයි”, ඔහු කීය. “මගේ සීයා ගේ නම ගෝනදූව ගේ අබිලීනු අප්පුහාමි. සීයා පාරම්පරික කිරි ගොවියෙක්. ඒ කාලේ මේ හරියේ හරක් පට්ටි තිබුණා. සීයාටත් හරක් හිටියා; ගොන් කරත්තත් තිබුණා. අද වගේ වාහන නොතිබුණු ඒ කාලේ කරත්තවලින් ලොකු වැඩ කොටසක් වුණා. මාත් පුංචි කාලේ කරත්ත දක්කලා තියනවා. සීයාට අපේ තාත්තත් එක්ක පුත්තු පස්දෙනෙයි, දුවලා තුන්දෙනයි. සීයා අපේ තාත්තලට මේ පාරම්පරික ගම්බිම් ගැන හුඟක් දේ කියලා දීලා තියනවා; මේ ඇළෙහිවත්ත මීට කිට්ටුව තියන මඟුල් පොකුණු දෙකම රජවරුන්ට සම්බන්ධ කතා තියන ගම්. ඔය ඇතා එරුණු කතාවත් ඉන් එකක්.” සරත් අන්තෝනි මහතා කීය. එහෙත්, ඔහු වැඩිදුරටත් කියා සිටියේ තම පරම්පරාවේ ආදිතමයන් තුළ සිංහල රාජවංශය ඉතිහාසය පදනම් කරගත් දැනීමක් නොතිබීම මත එසේ ඇතා එරීම සම්බන්ධ රජතුමන් කවුරුන් ද යන්න පිළිබඳව නිවැරදි නිශ්චයක් ඔවුන් තුළ නොතිබෙන්නට ඇති බව ය.
කෙසේ නමුදු වැලිසර ඇළෙහිවත්ත ග්‍රාමයේ තොටුව නමින් හඳුන්වන පහළම කොටස හැරුණුවිට සෙසු ප්‍රදේශ බොහොමයක පස් පුරවා බහලුම් අංගණ සහ කර්මාන්ත ශාලා ඉදිකොට තිබේ. ඒ අනුව කෝකිල සංදේශයේ කෝකිලයා දත් සහ අප නොදත් කැලණිතිස්ස රජුගේ වළ ඇතුබුන්වළ හෙවත් ඇතා එරුණු වළ නම් ප්‍රදේශයේ පැවැත්ම තව කොපමණ කලකට සීමාවේ ද? යන්න අපට නිගමනය කළ නොහැකි බව මගේ වැටහීම ය. ඒ එය කෝකිලයා පමණක් දන්නා අප නොදන්නා රහසක් ලෙස “කාලයේ වැලි තලාවට” පෙරාතුවම ටිපර් රථවලින් ගෙනවුත් හෙළන පස් කඳු වලින් සදාකාලිකවම යටපත්ව යෑමේ පැහැදිලි අවදානමක් පවතින බැවිනි.
තිලක් සේනාසිංහ
ඡායාරූප – සහන් සංකල්ප සිල්වා
(2023 ජූලි 09 දිවයින ඉරිදා සංග්‍රහය)