ගම්පහ නගර සභාව වගේ විදුලි බිල බින්දුවටම බස්සවා ගන්න අපිටත් බැරිද ?

දිනෙන් දින ඉහළ යන විදුලි බිිල පිළිබඳ බහුතර ජනතාවක් විස්සෝප වෙද්දී පසුගිය දිනෙක ගම්පහ නගර සභාවෙන් අසන්නට ලැබුණේ එහි විදුලි බිල බිංදුවට බස්සවන්නට හැකි වූ පුවතකි. එහි නාගරික කොමසාරිස් ලෝචනා බාලසූරිය මේ බව ප්‍රකාශ කොට තිබුණාය. නගර සභාවේ හිටපු පුරපති එරංග සේනානායක මන්ත්‍රී මණ්ඩලයේ අනුමැතිය මත 2022 වසරේ දී නගර සභාවෙහි ගොඩනැගිලිවල වහල මත සූර්ය පැනල සවි කිරීමට ගනු ලැබූ තීරණය හේතුවෙන් විදුලි බිලෙන් මේ වනවිට මෙලෙස නිදහස් වීමට හැකියාව ලැබී ඇති බව කොමසාරිස්වරිය පවසා සිටිියාය. විදුලි බිල වැඩි වීමට පෙර මාසික විදුලි බිල ලෙස නගර සභාවට රුපියල් ලක්ෂ හයක් පමණ ගෙවීමට සිදුව ඇති අතර සූර්ය පැනල නො වූයේ නම් එය මේ වන විට තෙගුණයක් වීමට ඉඩ තිබුණු බව ද ඇය වැඩිදුරටත් පැවසුවාය.මෙය ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා ගේ සංකල්පයක් මත ක්‍රියාවට නැංවුණු තිරසාර සංවර්ධන ක්‍රියාවලියකි.

දිනෙන් දින ඉහළ යන විදුලි බිල හමුවේ විදුලිය උපරිම අරපිරිමැස්මකින් භාවිත කෙරෙන අතර මින් ඔබ්බට වෙනත් අරපිරිමැස්මක් පිළිබඳ සිතන්නට හැකියාවක් නොමැත. මෙයටත් වඩා විදුලි පරිභෝජනය අඩු කළ යුතු නම් සිදු වන්නේ විදුලි බලය භාවිත කිරීම සම්පූර්ණයෙන් නවතා දැමීමය. ඉතිහාසයේ නොවූ විරූ ලෙස රතු බිල් ද වැඩි වී ඇති බවට පුවතක් ද අසන්නට ලැබිණි. එමෙන්ම ආසියානු රටවල් අතරින් වැඩිම විදුලි බිලක් ගෙවන රටක් ලෙස ද ශ්‍රී ලංකාව වාර්තාවක් තබා තිබේ. මේ නිසා අපගේ අවශ්‍යතාවයන් ද ඉටුකරගනිමින් විදුලි පරිභෝජනය කරන්නට නම් විකල්ප බලශක්තියකට අප යොමු විය යුතුය. වර්තමානයේ මේ සඳහා ඇති හොඳම විකල්පය වන්නේ ගම්පහ නගර සභාව අනුගමනය කළ පරිදි සූර්ය බලශක්තිය වෙත යොමු වීම පමණි.

සූර්ය ශක්තියේ ඇති විශාලතම වාසිය වන්නේ එහි ඇති පුනර්ජනනීය ස්වභාවයයි. ‘පුනර්ජනනීය’ යනු නැවත නැවතත් ඇතිවීමය. අද පායන හිරු හෙට ද පායයි. අනිද්දාට ද පායයි. මෙහි වෙනසක් සිදු වන්නේ නැත. එයට පුනර්ජනනීය යැයි පැවසෙන්නේ එබැවිනි. මීට අමතරව ඇති පුනර්ජනනීය බලශක්තිය වර්ග නම් ජල විදුලිය සහ සුළං ශක්තියයි. අප දැනටමත් ජල විදුලිය උපරිම වශයෙන් භාවිත කරන්නෙමු. අපට ඩීසල් සහ ගල් අඟුරුවලින් ජනනය වන විදුලි බලාගාරවලට යොමු වන්නට සිදුව ඇත්තේ ජල විදුලියේ උපරිම හැකියාවට ළඟා වී ඇති බැවිනි. පුනර්ජනනීය බලශක්තියක් ලෙස සූර්ය ශක්තිය පෙරට පැමිණ ඇත්තේ දැනට ඇති හොඳම විකල්පය එය බැවිනි.

සූර්ය ශක්තිය විදුලි බලය බවට පරිවර්තනය කරනුයේ සූර්ය පැනල (Solar panel) මගිනි. මේවා ‘ප්‍රකාශ වෝල්ටීයතා කෝෂ’ (photovoltaic) යනුවෙන් ද හඳුන්වනු ලබයි. මෙහිදී සූර්යාලෝකය සූර්ය පැනල මත පතිත වද්දී එයින් සරල ධාරාවක් (DC Current) ජනනය වෙයි. කෙසේ නමුත් අප භාවිත කරන විදුලිය යුක්ත වන්නේ සරල ධාරාවකින් නොවේ. එය හඳුන්වනු ලබන්නේ ‘ප්‍රත්‍යාවර්ත ධාරාවක්’ (Alternating Current) වශයෙනි. මේ නිසා සූර්ය පැනලයක් මගින් ජනනය වන සරල ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාවක් බවට පරිවර්තනය කළ යුතු වේ. මේ සඳහා ‘අපවර්තකයක්’ (Inverter) හෙවත් ඉන්වර්ටර් උපාංගයක් භාවිත කෙරේ. සෑම සූර්ය පැනලයක්ම විවිධ වෝල්ටීයතා (Volt) සහ ක්ෂමතා (Watts) හෙවත් වොට් අගයකින් යුක්ත වේ. උදාහරණය ලෙස යම්කිසි සූර්ය පැනලයක් වෝල්ට් 19 සහ වොට් 150 කින් සමන්විත විය හැකිය. මෙය වෝල්ට් 24, 48 ආදී ප්‍රමාණයන්ගෙන් ද ලබා ගත හැකිය. නිවසකට හෝ යම් ආයතනයකට සූර්ය බලශක්තිය ලබා ගන්නේ නම් එහි දැනට භාවිත කෙරෙන විදුලි පරිභෝජන තත්ත්වය සැලකිල්ලට ගනු ලබයි. ඒ මත පදනම් ව ඉදි කරනු ලබන සූර්ය බල පද්ධතියේ බලය තීරණය වේ.

සූර්ය පද්ධති වර්ග කිහිපයකින් යුක්තය.

1. Grid Tie හෙවත් On Grid

2. Off Grid

3. Hybrid වශයෙනි.

අප මුලින් සඳහන් කළ ගම්පහ නගර සභාවේ සවිකොට ඇත්තේ මෙයින් පළමු වර්ගයයි. එනම් Grid Tie පද්ධතියකි. මෙය විදුලි බල මණ්ඩලය හෝ විදුලි බල පුද්ගලික සමාගම සමග ඒකාබද්ධව ක්‍රියාත්මක වන පද්ධතියකි. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි පුද්ගලික සමාගම්වලින් මේ පද්ධති සවි කරනු ලබන අතර ඉන් පසුව විදුලි බල මණ්ඩලය මගින් එය අප රටේ ජාතික විදුලි බල පද්ධතිය සමග සම්බන්ධ කරනු ලබයි. මෙහි දී අවශ්‍යතාවයේ හැටියට සූර්ය පැනල කිහිපයක් වහලය මත සවි කෙරෙන අතර එයින් ජනනය වන සරල ධාරා විදුලිය ඉන්වර්ටරය මගින් ප්‍රත්‍යාවර්ත ධාරාවක් බවට හරවා නිවසේ පරිභෝජනය සඳහා සපයනු ලබයි. මෙහිදී ජනනය වන අතිරික්ත විදුලිය ජාතික විදුලි පද්ධතියට සපයනු ලබයි. මේ සඳහා අදාළ නිවෙස් හිමියාට හෝ ආයතනය හිමියාට යම්කිසි මුදලක් විදුලි බල මණ්ඩලය මගින් ගෙවනු ලැබීම හෝ අතිරික්ත විදුලි ඒකක ප්‍රමාණය ඉදිරි මාසවල භාවිත කරනු ලබන විදුලි ඒකක සමග හිලව් කිරීම හෝ සිදු කරනු ලබයි. මේ ක්‍රම දෙක Net Metering සහ Net Account යන නම්වලින් හඳුන්වනු ලබයි. සූර්ය බල පද්ධතියක් සවිකරගැනීමේ ඉතාමත් වාසිදායක ම ක්‍රමය මෙය වුව ද මෙහි අවාසි තත්ත්වයන් ද නැතිවාම නොවේ. යම්කිසි අවස්ථාවක විදුලිය ඇණ හිටියහොත්, කෙතරම් හොඳින් සූර්යාලෝකය පැවතියත්, එම පද්ධතිය මගින් කෙතරම් විදුලිය ජනනය කළත් නිවසට ද විදුලිය ඇනහිටීම සිදුවේ. රාත්‍රී කාලයේ දී විදුලිය ඇනහිටියහොත්, එවැනි අවස්ථාවක දී මෙහි විදුලිය ගබඩා කර ගැනීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් එහිදී ද සිදු වන්නේ අඳුරේ සිටීමට ය.

මෙවැනි පද්ධති නිවසට අවශ්‍ය වන ධාරිතාව අනුව තීරණය වේ. එය කිලෝවොට්වලින් සඳහන් කරනු ලබයි. සාමාන්‍ය නිවසකට කිලෝවොට් 2 – 3 අතර පද්ධතියක් හොඳින්ම සෑහේ. ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ ලියාපදිංචි සමාගමක වෙබ් අඩවියකට පිවිසීමෙන් මෙවැනි පද්ධතියක මිල ගණන් ලබා ගත හැකිය. අනෙක මෙවැනි පද්ධති සවි කර ගැනීම සඳහා බැංකුවලින් ණය පහසුකම් ලබා දෙන අතර විදුලි බිල සමග වාරිකය ගෙවීමේ හැකියාව ද තිබේ.

දෙවැනි සූර්ය බල පද්ධති වර්ගය වන Off Gridවල තත්ත්වය මෙයට වඩා වෙනස් ය. මේ සඳහා විදුලි බල මණ්ඩලය හෝ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය හෝ සම්බන්ධ වන්නේ නැත. මන්ද මේ පද්ධතිය ජාතික විදුලි බල පද්ධතිය සමග සම්බන්ධ නොකරන බැවිනි. මෙහිදී කලින් සඳහන් කළ පද්ධතිය හා සමානවම වහලය මත සූර්ය පැනල සවි කෙරෙන අතර එයින් ජනනය වන විදුලිය සරල ධාරාවක් වශයෙන් බැටරි පද්ධතියක ගබඩා කෙරේ. ඉන් පසු ඉන්වර්ටර් උපාංගයක් මගින් මේ සරල ධාරා විදුලිය ප්‍රත්‍යාවර්ත ධාරාවක් බවට හරවා නිවසේ පරිභෝජනය සඳහා ලබාගැනීම සිදුවේ. මේ අවස්ථාවේ දී ප්‍රධාන පද්ධතියේ විදුලිය ඇනහිටියත් නැතත් නිවසේ විදුලිය තිබේ. රාත්‍රී කාලයේ දී මුළු රටේම විදුලිය නැති වුව ද මෙවැනි පද්ධතියකින් නිවසට විදුලිය සැපයීම සිදු කළ හැකිය. කෙසේ නමුත් මේ පද්ධතියේ ඇති විශාලතම අවාසිය වන්නේ බැටරි පද්ධතියක් සඳහා අධික පිරිවැයක් දරන්නට සිදුවීමය. මේ සඳහා අප එදිනෙදා දකින වාහනවල භාවිත වන ලෙඩ් ඇසිඩ් බැටරි යොදා ගන්නේ නැත. සූර්ය විදුලි පද්ධති සඳහා ම නිපදවන ලද ඩීප් සයිකල් බැටරි හෝ ලිතියම් අයන්, ලිතියම් පොස්පරස් වැනි බැටරි පද්ධති යොදා ගැනේ. මේවා අධික මිලෙන් යුක්තය. එමෙන්ම මේ බැටරිවල උපරිම ධාරිතාව කාලයත් සමග ක්ෂය වී යන බැවින් වසර කිහිපයකට පසු නැවත බැටරි මාරු කරන්නට සිදු වේ. එය අවාසි සහගත තත්ත්වයකි.

මෙහි තෙවැනි වර්ගය වන Hybrid පද්ධතිය යනු මේ දෙකේම එකතුවකි. එනම්, මෙයින් ජනනය වන විදුලිය නිවසේ පරිභෝජනය කොට අතිරික්ත විදුලිය ජාතික පද්ධතියට එක් කරන අතරේ නිවසේ ඇති බැටරි පද්ධතියක ගබඩා කර ගැනීම ද සිදු වේ. එවිට විදුලිය ඇනහිටි අවස්ථාවක දී නිවසේ විදුලිය විසන්ධි වීමක් සිදු වන්නේ නැත.

සූර්ය බල පද්ධති පිළිබඳ කෙටියෙන් එසේ සඳහන් කළ හැකිය.

මුළු දිවයින පුරාම හැකි සෑම නිවසක වහලයක් මතම Grid Tie වර්ගයේ සූර්ය විදුලි බල පද්ධති ස්ථාපිත කළ හැකි නම් ඒවායෙන් සැලකිය යුතු විදුලි බලයක් උත්පාදනය වන අතර ජාතික පද්ධතියට ද සැලකිය යුතු විදුලියක් එක් වෙයි. එවිට ජල විදුලිය, තාප හෝ ගල් අඟුරුවලින් විදුලිය උත්පාදනය කිරීමේ අවශ්‍යතාව පහළ යයි. විදුලි උත්පාදනයට ජාතික වශයෙන් වැය වන පිරිවැය ද මේ මගින් අඩු කර ගත හැකිය. මේ බව දීර්ඝ කාලයක සිට බලධාරීන්ට පෙන්වා දුන්න ද මේ යෝජනාව ක්‍රියාත්මක කිරීමට බාධා කරන පිරිස් විදුලි බල මණ්ඩලය තුළ ම සිටින බවට දැඩි චෝදනාවක් එල්ල වෙයි. එයින් වැඩි චෝදනාවක් එල්ල වන්නේ විදුලි ඉංජිනේරුවන්ට ය. ඇතැම් විදුලි ඉංජිනේරුවන් සතුව අධි ධාරිතාවයන්ගෙන් යුක්ත ඩීසල් ජෙනරේටර් පවතින බව පැවසේ. ඔවුන් මේවා තබා ගෙන සිටින්නේ විදුලි අර්බුදයක් ඇති වන අවස්ථාවන්වලදී වැඩි මිලකට විදුලි බල මණ්ඩලයටම මේවායේ ජනනය වන විදුලිය විකිණිය හැකි නිසා බවට චෝදනා එල්ල වී තිබේ. යම් ආකාරයකින් සූර්ය බල පද්ධති වැඩි වශයෙන් ස්ථාපිත කළ හොත් විදුලි අර්බුදයක් ඇති වීමේ අවස්ථාව ද අඩු වී යන අතර එහි ප්‍රතිඵලයක් ලෙස මොවුන්ට විදුලිය විකිණීමේ අවස්ථාව ද අහිමි වී යයි. ඔවුන් මේ ව්‍යාපෘති සඳහා බාධා ඇති කරන්නේ මේ නිසා යැයි පැවසේ.

කෙසේ නමුත් දිනෙන් දින ඉහළ යන විදුලි බිල හමුවේ සූර්ය බල ශක්තිය වෙතට යොමු වනවා හැර වෙනත් විකල්පයක් නොමැත. නමුත් මේ සඳහා දැරිය යුතු අධික වියදම මෙයට බාධාවක් වී තිබේ. බැංකුවලින් ණය ලබා දුන්න ද එවැනි ණයක් ලබාගැනීම ඇතැමුන්ට කළ නොහැකිය. මේ නිසා අනාගතයේ ඇති වන විදුලි අර්බුදයයෙන් ගැලවෙන්නට නම් රජය හා විදුලි බල මණ්ඩලය ඒකාබද්ධ ව බහුතරයකට දරා ගත හැකි ආකාරයේ ක්‍රමවේදයක් ඇති කොට හැකි තාක් නිවාසවලට සූර්ය බල පද්ධති ස්ථාපිත කර ගැනීමට අවස්ථාව සකසා දිය යුතුය. එවිට බහුතරයකට සිය නිවෙස්වල විදුලි බිිල බිංදුවට බස්සවා, රටේ බලශක්තිය ඉතිරි කර ගත හැකිය. සියල්ල පවතින්නේ බලධාරීන් අතේ ය. කකුල්වලින් ඇදීම පසෙක තබා ඔවුන් මේ මොහොතේවත් රට වෙනුවෙන් තීරණයක් ගත යුතුව තිබේ.

නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර