ගමින් නගරයට ආ හූනියම් බඩු සොයා ගියෙමි

අතීතයේ නාගරිකයන්ට අහඹු ලෙස හෝ තොවිලයක් සඳහා වන යමක් එනම් තොවිල් බඩුවක් සොයා ගැනීමට සිදුවුව හොත් ගම්බදට යාමට සිදුවිය.එහෙත් අද සිදුව ඇත්තේ හූනියම් බඩු වුවමනා ගැමියන්ට ඒ සඳහා ගමින් නගරයට ඒමට ය.ඒ ඔස්සේ මීට දශකයකට හමාරකට පෙර සිට මම හූනියම් බඩු වශයෙන් ප්‍රකට සත්ව, ශාක සහ පාෂාණ කොටස් සහිත ම`විසින්ම සකසා ගත් තුන්ඩුවක් රැගෙන ගොස් මහරගම,කඩවත හා ගම්පහ තොවිල් බඩු අලෙවි කරන බව පැවසෙන වෙළෙඳ සල් කිහිපයකට දී ඇත්තෙමි. “මේවා ඔක්කොම නම් නෑ …. කීපයක් ගන්න පුළුවන්” මා දුන් තුන්ඩුව කියැවූ ඇතැම් ව්‍යාපාරිකයෙක් කීය. ඒ අතර තවත් ව්‍යාපාරිකයකු කියා සිටියේ “මේවා දෙන්න පුළුවන්; නමුත් අද නම් බෑ” යනුවෙනි. ඒ අතර සැපයුම් කරුවන් ලවා ලබා ගෙන ඒවා දිය හැකි බැවින් ඒ සඳහා අත්තිකාරම් මුදලක් තබා යන ලෙස පැවසූ ව්‍යාපාරිකයෝ ද වූහ. ඒ අතර තවත් ව්‍යාපාරිකයකු මගෙන් පෞද්ගලික වත ගොත විමසා මේවා ගැන ඔබගේ ගම් ප්‍රදේශවලින් නොවිමසා මෙපමණ දුරක් පැමිණියේ මන්දැයි විමසා සිටියේ ම පිළිබඳ කිනම් හෝ සැකයකින් මෙනි.

අතීතයේ ගම්බද ප්‍රදේශවල වැඩිපුර දක්නට ලැබුණු සිංහල බෙහෙත් බඩු කඩ මේ වන විට නාගරික ප්‍රදේශ වල වැඩි වැඩියෙන් දක්නට ලැබේ. වැඩිපුර දක්නට නොලැබුණු ද ඒ සිංහල බෙහෙත් බඩු කඩවල “තොවිල් බඩු”යනුවෙන් සඳහන් වෙනම කොටස් ද මේ වන විට සැකසී තිබේ. ඒ තොවිල් බඩු අතරේ ද “හූනියම් බඩු” වශයෙන් සම්මත සත්ව, ශාක සහ පාෂාණ කොටස් අතීතයට සාපේක්‍ෂව වැඩි ප්‍රමාණයක් වැඩි මිල ගණන් වලට විකිණෙන බව බොහෝ දෙනකු නොදත් සත්‍යයකි.ඒ වර්තමානයේ හූනියම නාගරික සමාජයේ ජනකාන්ත බවට පත් ව ඇති පසුබිමක ය.
හූනියම් යනු අන්ධ ගැමි විශ්වාසයක් බවට මීට දශක කිහිපයකට ඉහත පැවැති නාගරික සමාජ මතය මේ වන විට උඩු යටිකුරු වී තිබේ. ඒ මේ වන විට ගම්මුන්ට සාපේක්‍ෂව නාගරිකයන් අන වින හදි හූනියම් වශයෙන් සැළකෙන කෘෂ්ණභිචාර (Black Magic ) කෙරෙහි වැඩි විශ්වාසයක් තබා ඇති බැවිනි. එමෙන්ම ඉතා අප්‍රකට ලෙස ඔවුන් එම කටයුතු වල යෙදෙන බව ද පෙනේ. මේ වන විට අසීමාන්තිකව ඉහළ නැංවී ඇති සමාජමය තරඟය ඊට හේතු වී ඇති බව නොරහසකි.ඒ අනුව ඉහළ මධ්‍යම පාන්තික සමාජයේ දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් සේම ඇතැම් වෘත්තිකයන් ද තම ආර්ථික සහ සමාජමය තරඟ කරුවන් පැරදවීම වෙනුවට වනසා දැමීමට මෙම ගුප්ත උපාය මාර්ග යොදනු පෙනෙයි.අතීතයේ යකැදුරන් ගේ මඟ පෙන්වීම මත ඒවා සිදු කරන්නවුන් වානිජ නොවන ක්‍රම මඟින් උපයා සපයා ගත් හූනියම් බඩු මේ වන විට විශාල ඉල්ලුමක් සහිත වානිජ භාණ්ඩ හා ද්‍රව්‍ය බවට පත් ව තිබේ.

ව්‍යවහාරික වශයෙන් හූනියම් ලෙස සමාජගතව ඇති සූනියම් යන්නෙහි අදහස යමකුගේ හෝ යම් දෙයක විනාශය උදෙසා කරනු ලබන කටයුතු හෙවත් ශුන්‍ය කර්මයන් ය. මෙය සූනි+කම්, සූනියම් හූනියම් යනුවෙන් සිංහල ව්‍යවහාරයට පැමිණ තිබේ.
වර්තමාන මාධ්‍යම පාන්තික සමාජය තුළ මෙම අණවින, හදි හූනියම් පිළිබඳ විශේෂ උනන්දුවක් පවතින බැවින් රුපියල් මිලියන ගණන්වලට මේවා සිදු කිරීමට ‘කොන්තරාත්තු’ ගන්නෝ ද වෙති. එහෙත්, මෙම අවර ගණයේ කර්ම සිදු කිරී‍මෙන් අත්විය හැකි අහිතකර ප්‍රතිඵල පිළිබඳව ද එම ඇතැම් පැරණි ලේඛනවල ද විස්තර දක්වා තිබේ. ඒ අතුරින් මුල්ම අහිතකර ප්‍රතිඵලය වනුයේ කුමක් හෝ හේතුවක් මත ඒ මාරණ කර්මය ඉලක්ක ගත පුද්ගලයා කෙරෙහි යොමු නොවුණහොත් ඒකාන්ත වශයෙන් එය කළ හෝ කරවූ තැනැත්තා වෙත ‘ආපිට කරකැවී’ එන බව සඳහන් වීම ය. එම උවදුරින් ගැලවීම පිණිස එය කරන සහ කරවන දෙදෙනා සම්බන්ධ වෙනම ආරක්ෂක ක්‍රියාවලියක් පිළිබඳව ද සඳහන් වෙයි. නමුත් ඉතා සුළු අත්වැරදීමකින් අතපසුවීමකින් පවා ඒ ආරක්ෂක ක්‍රියාවලියේ ද බල බිඳිය හැකි බව ද විශේෂයෙන් අවධාරණය කෙරේ.
ඉන් එක් පුස්කොළ පොතක සඳහන්ව තිබුණේ “නිවන් දක්නා ජාති දක්වාම පටිසන් දෙන පාපකර්මයක්” වශයෙනි. ඒ අනුව මේවායේ සත්‍යතාව කෙසේ වුව මේවා රචනා කළ අතීත සමාජය තුළ පින් පව් කෙරෙහි පැවැති අචල විශ්වාසය ද මනාව වටහා ගත හැක.
මිනිස් සමාජය තුළ නිරතුරුවන හටගන්නා පුද්ගල,ප්‍රජා බද්ධ ගැටුම් මත ජනතාව පුද්ගල හා ප්‍රජාමය වශයෙන් එකිනෙනාට එරෙහි වෙති.එමෙන්ම ඔවුනොවුන් අතරේ හට ගන්නා වෛරී සහ දේවේෂ සහගත හැඟීම් ආවේග මත ඔවු`නොවුන් නසා වනසා දැමීම් කෙරෙහි ද ඇතැමුන් ගේ සිත් යොමු විය හැක.එහි දී බොහෝ විට සාපරාධී ක්‍රියා කෙරෙහි යමකු හෝ යම් පිරිසක් පෙළඹීමට පුළුවන.ඒ සඳහා පාතාල කණ්ඩායම් යොදා ගැනීම ද අද සුලබව කෙරෙන්නකි.,නමුදු එසේ නොකොට මෙබඳු ගුප්ත ක්‍රම මඟින් සතුරන් වනසා දැමිය හැකිය යන විශ්වාසය යමකු තුළ ඇති වුව හොත් ඒ තැනැත්තා සාපරාධී ක්‍රියා වෙනුවට ඒ සඳහා මෙම හූනියම් මාධ්‍ය යොදා ගනු ඇත.නමුදු ඉන් කිසිදු ප්‍රායෝගික ප්‍රතිඵලයක් නොලැබුණ ද එම ක්‍රියාවෙන් පසු ඒ තැනැත්තා ගේ මනැස භාව විශෝධන (Catharsis) ක්‍රියාවලියකට නතු වීම සිදු වෙයි.ඒ අනුව හූනියම යනු සාපරාධී චේතනාවකින් සිදු කෙරෙන අපරාධ නිවාරණ ක්‍රියාවලියක් වශයෙන් ද හඳුනා ගන්නට පුළුවන. නමුදු නූතන සමාජමය පෙරැලියත් සමඟ මෙම හූනියම් කලාවේ ද විපරිනාමයක් සිදු වී තිබේ.

ඒ අන වින, හදි හූනියම් ආදී ගුප්ත ක්‍රියාවන් සිදු කළ පාරම්පරික ඇදුරු පරපුර නූතන සමාජ නවීකරණයන් සමඟ මේ වන විට මුළුමනින්ම පහේ වඳ වී යාමත් සමඟිනි. එහෙත්, එවන් තත්වයන් තුළ පවා මෙම අන වින හදි හූනියම් කෙරෙහි නාගරික සමාජය තුළ මෙවන් ව්‍යාප්තියක් ඇති වීමට හේතුව ඒවා අසාම්ප්‍රදායික ප්‍රෝඩාකාරී ව්‍යාජ ඇදුරු පරපුරක් අතට පත් වීමය. ගුප්ත ශාස්ත්‍ර අතරට එන අෂ්ට කර්මයේ හෝඩියවත් නොදැන යූ ටියුබ් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ එම ගුප්ත ක්‍රියාකාරකම් පිළිබඳ බොරු පුරාජේරු දොඩන මේ හොර ඇදුරන් එමගින් ගනුදෙනු කරුවන් බරපතල ලෙස ගසා කෑමේ සංවිධිත යාන්ත්‍රණයක් අනුගමනය කරන බව අදටත් බොහෝ දෙනෙක් නොදනිති.එමෙන්ම සමාජයේ ඉහළ මට්ටම් වල රැඳී සිටින්නෝ ද අඩුවකින් තොරවම මේ හූනියම් බොරු වලවල් වල වැටෙති. “මේවා හොඳට විස්වාසවන්ත විදිහටම ඕනේ හින්දා අහවල් ටවුමේ අහවල් කඩෙන්ම ගන්න” එම අසාම්ප්‍රදායික ප්‍රෝඩාකාරී ව්‍යාජ ඇදුරෝ හූනියම් බඩු ලැයිස්තුව දී තම ගනුදෙනු කරුවන්ට කියති. ඒවා අතර මිනිස් හිස් කබල්, අඳුන් දිවි සම් ආදී සන්තකයේ තබා ගැනීම සපුරාම නීති විරෝධී දේ ද තිබේ. එහෙත්, ඒවා සොයා ඇදුරා පවසන වෙළෙඳසලට යන ගනුදෙනුකරුට ඉන් දැන ගන්නට ලැබෙනුයේ ඒවායින් කොටසක් පමණක් එහි අලෙවි කෙරෙන බවකි.නමුදු අනෙක් කොටස් පිළිබඳ තොරතුරු දැන ගත හැකි ජංගම දුරකථන අංකයක් ද ඒ වෙළෙඳසලෙන් ගනුදෙනුකරු වෙත ලැබේ. ඒ අනුව ගනුදෙනු කරුගේ එම උත්සාහයේ අවංක බව වටහා ගන්නා සැපයුම්කරු ගනුදෙනුකරු කිසියම් රහසිගත ස්ථානයකට ගෙන්වා රුපියල් ලක්ෂ දෙක තුනක ඇතැම් විට හතර පහක මුදලකට ඒවා ප්‍රදර්ශනය කරනුයේ ඒවා ළඟ තබා ගැනීම සපුරා නීති විරෝධී බැවින් ඒ හූනියම් බඩු රහසිගතව ඇදුරා අතට පත් කිරීමට පොරොන්දු වෙමිනි. ඒ අනුව එම භාණ්ඩ සියල්ල අඩු නොමැතිව තමන් වෙත ලැබුණු බව ඇඳුරා වෙතින් දැන ගන්නා ගනුදෙනුකරු ඉන් පූර්ණ සෑහීමකට පත් වීමේ අරුමයක් නැත.මා ද පසුගිය කාලයේ තොවිල් බඩු අලෙවි කරන තැන් වලට ගොස් උත්සාහ කළේ ඒම සිදුරින් රිංගා හැකිතාක් ඇතුලට යාමට ය.එහෙත් මා ඔවුනට දුන් තුන්ඩුව සැක සහිත නිසා දෝ ඒ සමහරක් ව්‍යාපාරිකයන් මා එම යාන්ත්‍රණය තුළට පිවිසුවා නොගන්නට ඇත. එහෙත්, මෙහි ඇත්තම කතාව අනෙ`කකි. මෙම නූතන සමාජ ජාල ඇදුරෝ තම ඇදුරුකම සඳහා අයකරන මුදලට අමතරව මෙම තොවිල් බඩු සැපයුම්කරුගෙන් වෙනම කොමිස් මුදලක් ද ලබා ගනිති. එමෙන්ම ගනුදෙනුකරුට සැපයුම් කරු හඳුන්වා දෙන තොවිල් බඩු වෙළෙන්දාට ද යම් සන්තෝසමක් ලැබේ. එහෙත් නිරතුරුවම මෙසේ රුපියල් ලක්ෂ ගණනකට අලෙවි වනුයේ එකම මිනිස් හිස් කබලක් සහ අඳුන් දිවි සමක් බව ගනුදෙනුකරු නොදනී.

නමුත් සෑම සිංහල බෙහෙත් බඩු සහ තොවිල් බඩු අලෙවිකරුවකුම මෙම වංචනික ක්‍රියාදාමයට එක්වන බව තහවුරු කළ හැකි කිසිදු මූලාශ්‍රයක් අප සතුව නැත. එමෙන්ම මෙම හවුල් ජාවාරමට එක්වන හා එක්නොවන ව්‍යාපාරිකයන් වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමේ ප්‍රබල අසීරුවක් ද පවතී. හූනියම් මඟින් මෙලෙස අසරණයන් ගසා කෑම සම්බන්ධයෙන් එවක ජාතික රූපවාහිනියේ “යථා රූප” වැඩ සටහනක් මඟින් යම් විවරණයක් කළ මම හැකිනම් මා විනාශයට පත් කළ හැකි නිශ්චිත දින කාල වකවානු දක්වා මට හූනියමක් කරන මෙන් අප රටේ සියළු හූනියම්කරුවන්ට විවෘත අභියෝගයක් කළෙමි.ඊට දින කිහිපයකට පසු මා ඇමතූ එක් ඇදුරෙක් සැමට එකසේ හූනියම් නොවදින බවත් නෛසර්ගික වශයෙන්ම මිනිස් මල අනුභව කරන බැවින් සුනඛයන්ට ද හූනුයම් නොවදින බවත් කීය. ඒ න්‍යායට අනුව මට ද හූනියම් වැදීමට ඉඩ කඩක් නොමැති බව ඔහු කියා සිටියේ මා ඔවුන් ගේ කූට වංචනික ක්‍රියා දාමයේ සමාජය හමුවේ හෙළිකිරීම ඔවුන්ගේ මල අනුභව කිරීමක් බව ව්‍යංගයෙන් කියා පාමිනි.නමුදු අද වන විට මෙම හූනියම් ක්‍රියාදාමය නිරන්තරයෙන් රුපියල් ලක්ෂ කෝටි ගණනක මුදල් සංසරණ ක්‍රියාවලියක් බැවින් ඒවාට එරෙහි වන්නවුන් හූනියම් මඟින් නොව මිනිස් යක්ෂයන් ලවා විනාශ කරවීමේ පැහැදිලි අවදානමක් පවතින බව නම් කිව යුතුම ය.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර