ග්‍රීක බැඳුම්කර සිද්ධියට අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු පහක් අධිකරණයට

ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටින බව දැන දැනත් ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් ශ්‍රී ලංකා රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති නඩුව ඔක්තෝම්බර් 10 වැනිදා කැඳවීමට නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඔවුනට එදින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් ඊයේ (26)සිතාසි නිකුත් කොට තිබේ.මෙලෙස සිතාසි නිකුත් කොට ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කරන ලද පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව පවරන ලද නඩුවකට අදාලව ය.2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි එකසිය අසූ හතරක් ( 1843 267 595/- ) අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව කේ.ජී.ඩී. ධර්මසේන ධීරසිංහ. වසන්ත ආනන්ද සිල්වා. චන්ද්‍රසිරි ජයසිංහ, පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ කරුණාරත්න නමැත්තන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මඟින් මෙම නඩුව පවරා තිබේ.

කාලීන පුවත්