ගාලු මුවදොර තරුණ විරෝධතාවේ අවසන් ප්‍රතිඵලය තරුණියන්ට දරු ඵල ලැබීමද?

පසුගිය අප්‍රියෙල් 09 දා ගාලු මුවදොර පිටියෙන් ඇරඹුණු වත්මන් රජයට එරෙහි තරුණ නියාමකත්වයෙන් යුතු පොදු ජන විරෝධතාවයට එරෙහි විවිධ සමාජ ක්‍රියාකාරීත්වයන් මේ දිනවල දක්නට ලැබේ. ඒ අතුරින් වඩාත් කැපී පෙනෙන තත්වයක් වනුයේ ලිංගිකත්වය පදනම් කර ගනිමින් විවිධ පාර්ශවයන් වෙතින් එල්ල වන අවලාදයන් හා ඒ හා සම්බන්ධ ක්‍රියාකාරකම් ය.

එම තරුණ විරෝධතාව තෙවන දිනයටත් ළඟා වූ ඊයේ(11) ඊට එක් වූ තරුණ තරුණියන් කණ්ඩායම් වශයෙන් ගාලු මුවදොර පිටියේ කඳවුරු ලා ගෙන රාත්‍රිය ගත කරමින් තම විරෝධය පළ කරනු දක්නා ලදී. එම සිදුවීම මුල් කොට කිසියම් පිරිසක් විසින් ඒ ප්‍රදේශය අවට සැමට ප්‍රදර්ශනය වන ලෙස උපත් පාලන කොපු සහ හිස් මත් පැන් බෝතල් විසුරුවා තිබූ බව අනාවරණය වී තිබේ.

එමගින් ඔවුන් අපේක්ෂා කොට ඇත්තේ එම තරුණ තරුණියන් එකී විරෝධය පෑමේ මුවාවෙන් තමන් විසින් තනා ගත් කූඩාරම් තුළට වී මත් පැන් පානය කොට ලිංගික හැසිරීම් වල යෙදුණු බව ජනතාව හමුවේ කියා පෑම බව පෙනෙයි.

ඒ අතර ඒ විරෝධතාවයේ ප්‍රතිඵල වශයෙන් ඊට එක් වූ තරුණියන්ට තව මාස නවයකින් පියවරුන් නොමැති දරුවන් ලැබෙන බවට අදහස් පළ වන බාල බොළඳ ප්‍රකාශ ද මේ දිනවල ෆේස් බුක් සමාජ ජාල වෙබ් අඩවියේ සංසරණය වනු දක්නට ලැබේ.

ශිෂ්ටාචාර ගත සමාජයක යම් පුද්ගලයකු හෝ යම් පාර්ශවයක් පසු ගැන්වීම පිණිස  ශිෂ්ටාචාරයට එරෙහි අශිෂ්ට ව්‍යවහාරයක් හුවා දැක්වීම නිරන්තරයෙන් සිදුවන දෙයකි.පුරුෂ පක්ෂයට සාපේක්‍ෂව ලජ්ජා බය සම්බන්ධ ජෛවමය උරුමයක් හිමි කාන්තා පක්ෂය පසු ගැන්වීම සඳහා පුරුෂ පාර්ශවයේ ඇතැමුන් විසින් යොදනු ලබන මෙම අධම ක්‍රමෝපායට එක් මන්ත්‍රීවරියක පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක මානසිකව පසුගන්වා ඇගේ අදහස් දැක්වීම වළකාලීම පිණිස යම් එළවළුවක් මුල් කොට එක්තරා මන්ත්‍රීවරයකු කළ ජුගුප්සා ජනක අදහස් ප්‍රකාශනය මෑත කාලීන නිදසුනකි.

“ලජ්ජා නැති කම මහ මුදලි කමටත් වඩා ලොකු ය” යන පිරුළ සම්බන්ධ කතා ප්‍රවෘත්තිය මගින් පැවසෙනුයේ ද මහ මුදලි කෙනකුගේ වත්තේ වැටෙන පොල් ඇහිලීමට එන ගැමි කාන්තාවන් නතර කිරීමට ඒ මහ මුදලිට නොහැකි වුව ද ඒ කාන්තාව පැමිණෙන විට නිරුවත්ව ඔවුන් ඉදිරියට ගිය ලජ්ජා නැති පුද්ගලයකුට හැකිවීම පිළිබඳ කතාවකි. අද එවන් “නිරුවත්” පුද්ගලයන් අප රටේ උත්තරීතර ආයතනය තුළින් පවා මතුවීම වෙනම සාකච්ඡාවට බඳුන් කළ  යුතු ජාතික ඛේදවාචකයකි..

වත්මන් රජයට එරෙහි පොදු ජන විරෝධය පළ කළ පොදු ජන ඒකරාශීත්වයේ කේන්ද්‍රීය සාධකය නූතන තරුණ පරපුර ය. එහෙත් ඔවුනට එරෙහි ඉහත සඳහන් අන්දමේ අවලාද නැඟීම නූතන සමාජයේ තාරුණ්‍යය පිළිබඳ හයක් හතරක් නොදත් පැරණි සමාජමය ආකල්ප හිස තුළ දරා ගත් ආචීර්ණ කල්පික පිරිස් විසින් කරනු ලබන බවට සැක නැත.වත්මන් රජයේ ක්‍රියාකාරීත්වයන් සම්බන්ධයෙන් සාධනීය අදහස් පළ කරන්නෝ දබොහෝ විට මොව්හුම ය.

මීට දශක කිහිපයකට ඉහත අප ජීවත් වූ ශ්‍රී ලාංකේය සමාජයට සාපේක්‍ෂව නූතන සමාජය තුළ ලිංගිකත්වය සම්බන්ධයෙන් පවත්නා ආකල්ප අහසට පොළොව මෙන් වෙනස් වී තිබේ.

එය තව දුරටත් විස්තර කොට කිව හොත් අද වන විට ලිංගිකත්වය ඔවුන් ගේ ජංගම දුරකතන ආදී සංනිවේදන උපකරණ ඔස්සේ ඔවුන්ගේ “සාක්කුවටම වැටී” තිබේ.ඒ අනුව අතීතයේ ලිංගිකත්වය සම්බන්ධයෙන් සමාජය තුළ පැවැති දැඩි ආකල්ප අද වන වට බොහෝ සෙයින් ලිහිල් වෙමින් පවතී. අතීත සමාජයීය කුණු  මුල්ලෙනුත් ඔබ්බට වීසි කොට තිබූ කාන්තා සහ පුරුෂ සම ලිංගික,විෂම ලිංගික හා සංක්‍රාන්ති ලිංගික(LGBT   ) ප්‍රජාවට ද ඔවුන්ගේ නෛසර්ගික මනෝ ජෛව විද්‍යාත්මක පදනම යටතේ නිදහසේ ජීවත් වීමේ හිමිකම් දොරටු පවා විවර කෙරෙමින් පවතී.

ඒ තත්වය යටතේ අද සමාජයේ තරුණ තරුණියන් තුළ ලිංගිකත්වය සම්බන්ධයෙන් අතීතයේ පැවැති මනෝමය හා සමාජමය තහංචි වේගයෙන් ඉවත් වෙමින් තිබේ. මීට දශක කිහිපයකට ඉහත පෙම්වතුන් හට එකි`නෙකාගේ අති`නත් පටලවා ගැනීමට පැවැති සමාජමය අසීරුව අද නැත.එවක පෙම්වතුනට තම නිදහස උපරිම ලෙස භුක්ති විඳිය හැකි ස්ථානයක් වූයේ සිනමා ශාලාවක බැල්කනියයි.

එහෙත්, කිසියම් තරුණික තමන් ගේ පෙම්වතා සමඟ චිත්‍රපටියක් නැරඹීමට  ගොස් තිබුණ හොත් ඇය වෙනත් අයකු හා විවාහ වීමට නුසුදුසු තත්වයකට පත්ව ඇති බවට සමාජ සම්මතයක් හට ගැනීම දක්වා එකල යොවුන් ප්‍රේමය හා ලිංගිකත්වය පිළිබඳ නිෂේධාත්මක සමාජමය ආකල්ප දැඩිව තිබිණ.නමුත්, එවක සිනමා ශාලා බැල්කනි “මැට්නි ෂෝ” ලෙස හැඳින්වුණු දිවා සිනමා දර්ශන වලදී පෙම්වතුන් ගෙන් පිරී  පැවතුණු අයුරු ද ජීවිතයේ මැදි විය ඉක්ම වූ ඒ සම්බන්ධ අත්දැකීම ඇති බොහෝ දෙනකුට තවමත් මතක ඇතැයි සිතමි.

නමුදු නූතන සමාජ චින්තන පරිනාමය අනුව පෙම්වතුන් නොවන සාමාන්‍ය දැන හැඳුනුමක් ඇති තරුණයකුට හෝ තරුණියකට යම් නිශ්චිත හේතුවක් මත කිසියම් චිත්‍රපටයක් නැරඹීමට අවශ්‍ය නම් ඔවුන් දෙදෙනා ගොස් අනුරාගී සබඳතා වලින් තොරව ඒ චිත්‍රපටය නරඹන අවස්ථා නාගරික සමාජයේ කොතෙකුත් තිබේ. ඊට සාපේක්‍ෂව ඔවුන් ගේ ලිංගික ක්‍රියාකාරකම් වල ක්ෂේත්‍රය බෙහෙවින් පුළුල් වී ඇති අතර එය අවිවාහක තරුණ යුවලක් එක්ව විසීම (Living together) තෙක්ම දිගු වන අවස්ථා සාමාන්‍යකරණය වෙමින් පවතී.

මෙය හුදෙක් නාගරික තරුණ සමාජයේ පැලැන්තිමය විලාසිතාවක් සේම ගමින් නගරයට පැමිණ තරුණ තරුණියන් තම ආර්ථික ගැටළු පෙම්වතා හෝ පෙම්වතිය බෙදා ගැනීමේ ක්‍රමෝපායක් ලෙස ද යොදා ගනිති.රැකියා සඳහා මෙන්ම උසස් අධ්‍යාපනය සඳහා ගමින් නගරයට පැමිණි තරුණ තරුණියන් අතරේ ද මෙම සංසිද්ධිය ව්‍යාප්ත වෙමින් තිබේ.නමුදු මේ සියළු තත්වයන් හමුවේ ඔවුන් තම ලිංගිකත්වය සම්බන්ධ විෂය පථය තමන්ට ඇවැසි අයුරින් කළමනාකරණය කර ගන්නා බව ද පෙනෙයි.

අප්‍රියෙල් 09 වන දා ගාලු මුවදොර විරෝධතාවය වර්තමානයේ දක්නට ලැබෙන එම මධ්‍යම පාන්තික සමාජ විස්තාරණ රටාව තුළ ජීවත් වන තරුණ තරුණියන් බහුතරයක ගේ සාමූහිකත්වයෙන් දියත් වූවකි. ඔවුන් අද වන විට අත් විඳින නිදහස් සමාජමය අවකාශය ඒ සඳහා බෙහෙවින් ඉවහල් වී ඇති බව පෙනේ.

එහෙත්, ඔවුන් එලෙස දින කිහිපයක් ගාලු මුවදොර පිටියේ දිවා රෑ කඳවුරු ගතව සිටියේ වර්තමාන රජයේ නොවිධිමත් හා අදූරදර්ශී ක්‍රියාමාර්ග මඟින් නිර්මාණය වූ සමාජ ආර්ථික ඛේදවාචකය එය පිටු දැකීම පිණිස රජය විසින් ගත යුතු මූලිකම ක්‍රියා මාර්ගය සම්බන්ධයෙන් රජයට සන්නිවේදනය කිරීමේ  උපාය මාර්ගයක් වශයෙනි.

එසේ නොමැතිව ඉතා සරල බසින් කිවහොත් එම කූඩාරම් තුළට වී “නිදි වදින්නට” නොවේ. එහෙත්, නූතන යෞවනය හා සම්බන්ධ මෙම සමාජමය ප්‍රපංචය වත්මන් රජය නියෝජනය කරන විවිධ පාර්ශව තබා රජය වත් හරිහැටි වටහා ගෙන නොමැති බවක් පෙනේ.ඒ අනුව අපට හැඟී යනුයේ වත්මන් රජයට නූතන තරුණ සමාජය හා සුසංවාදයක් ගොඩ නඟා ගැනීමට ඇති බරපතල නොහැකියාව ය.

මානව විද්‍යා මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර

එතෙර - මෙතෙර