ගෑස් පිපිරීම් වලට හේතුව ග්‍රහ බලපෑමක් යැයි කියන්නට හොර කේන්දර නඩය උසි ගන්වමුද?

ගෑස් උපාංග පුපුරා යාම දැන් සාමාන්‍යකරණය වෙමින් තිබේ. මාධ්‍ය තවමත් මේ ගැන කතා කළ ද ඉදිරියේ දී ඒවායේ ප්‍රවෘත්තිමය අගයක් නොමැති බැවින් බැහැර කෙරෙනු නොඅනුමාන ය. ඒ තරමට ගෑස් පුපුරා යාම් සිදුවෙයි. මෙලෙස ගෑස් උපාංග දිනකට 20 ක් 30 ක් පුපුරන අවස්ථා ද වාර්තා වේ.

පසුගිය දිනක ගෑස් කාන්දුවක් නිසා ඇතිවූ ගින්නකින් කුකුළු ගොවි පොලක් ගිනි ගෙන එහි සිටි කුකුළු පැටවුන් තුන් දහසක් මිය ගිය බවට වාර්තා විය. එලෙසම නිවසක් ද ගෑස් කාන්දුවකින් සම්පූර්ණයෙන්ම දැවී අළු වී ගොස් තිබුණි. සබරගමු ශ්‍රී පාද මාර්ගයේ ඉහළම හරියේ ඇති ඇහැල කනුවේ කඩයක ද ගෑස් පිපුරුමකින් එහි සේවකයෙක් තුවාල ලබා රෝහල් ගත විය.

මෙලෙස රට පුරා ගෑස් උපාංග පුපුරන්නේ ඇයි ද යන පැනයට තමත් ආණ්ඩුවෙන් නිසි විසඳුමක් තබා පිළිතුරක් වත් නැත.අඩුම තරමින් රටේ සිදු වන හැම දෙයකටම හොස්ස පෙවූ හොර කේන්දර,සාත්තර නඩය වත් මේ ගැන යමක් කියන්නට ඉදිරියට පැමිණ නැත.

මෙම පිපිරීම් වලට ආසන්නතම හේතුව ලෙස වාර්තා වන්නේ ගෑස් ටැංකි වල රසායනික සංයුතිය වෙනස් කිරීම ය. ගෑස් දියරයකි. එනමුත් මෙය වායුවක් බවට පත් කරන්නේ ප්‍රොපේන් හා බියුටේන් යන රසායනික සංයුතීන් එකතු කිරීමෙනි. ප්‍රොපේන් රසායනිකය ගෑස් ටැංකියෙන් පිටතට ගෑස් ගෙන ඒමට අවශ්‍ය පීඩනය ලබා දෙයි..

එම නිසා ප්‍රොපේන් අඩුවෙන් ද බියුටේන් වැඩියෙන් ද ගෑස් සංයුතිය සකස් කර තිබේ. නමුත් ලිට්‍රෝ ගෑස් සමාගම ලිටර් 18 ක නව ගෑස් සිලින්ඩරය හඳුන්වා දුන් මොහොතේ ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය 50% – 50% ප්‍රතිශතයකට වෙනස් කර තිබේ. ඒ වෙනුවෙන් ආනයනය කළ ගෑස් සාමාන්‍ය කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩර තුළට ඇතුළත් කිරීම හේතුවෙන් මෙම අර්බුදය ඇතිව තිබෙන බවට වාර්තා වේ.

ජනාධිපතිවරයාට මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් මොරටුව විශ්ව විද්‍යාලයේ රසායන සහ සන්තති ඉංජිනේරු විද්‍යා මහාචාර්ය ශාන්ත වල්පොලගේ ගේ ප්‍රධානත්වයෙන් පත් කළ අතර ඔහුගේ කමිටු වාර්තාවෙන් ද දක්වා ඇත්තේ ගෑස් හි රසායනික සංයුතිය වෙනස් කිරීම හේතුවෙන් පුපුරා යාම් වාර්තා වන බව ය.

කෙසේ නමුත් රට තුළ ගෑස් සංයුතිය සම්බන්ධයෙන් ප්‍රමිතියක් නැත. ජනාධිපති කමිටුවෙන් ගෑස් ප්‍රමිතියක් සකස් කිරීමට ද යෝජනා කර තිබේ. ලංකාවට ගෑස් හදුන්වා දුන් දා සිටම ගෑස් වෙනුවෙන් ප්‍රමිතියක් ප්‍රමිති ආයතනය හෝ වෙනත් වගකිව යුතු ආයතනයක් විසින් හදුන්වා දී නැත. ලිට්‍රෝ සමාගම ගෑස් ආනයනය කරන්නේ කැබිනට් අනුකාරක සභාවක් විසින් පත් කරන තාක්ෂණික කමිටුවක් ලබා දෙන පිරිවිතරයන්ට අනුව ය

කොළඹ වරායට හෝ වත්මනේ හම්බන්තොට වරායට පැමිණෙන ගෑස් ගොඩ බාද්දී කිසිදු අවස්ථාවක ප්‍රමිතිය පරික්ෂා කරන්නේ නැත. ප්‍රමිති ආයතනය හෝ පාරිභෝගි සේවා අධිකාරිය හෝ මේ ගැන පරික්ෂා කරන්නේ නැත. සියළු පරික්ෂා කිරීම් ආරම්භ වූයේ ගෑස් පිපිරීම් වාර්තා වන්නට පටන් ගත්තාට පසුව “අස්සයා පැන ගියාට පසු ඉස්තාලය වැසීමේ” ක්‍රමවේදයට අනුව ය.

මේ වන විට ගෑස් පිපිරීමේ සිද්ධීන් අට සියයකට අධික සංඛ්‍යාවක් මාස දෙකක් වැනි කෙටි කලක් තුළ වාර්තා වී තිබේ. ගෑස් ටැංකිය පුපුරා නොගිය ද රෙගියුලේටරය, ගෑස් බටය හා උදුන පුපුරා යන්නේ ය. මෙම උපකරණ සම්බන්ධයෙන් ද ප්‍රමිතියක් නොමැත. ඕනෑම උපකරණයක් රටට ගෙන්විය හැකි අතර ඒවායේ ප්‍රමිතිය පරික්ෂා කිරීමට නම් එහි යම් වාර්තාගත ගැටළුවක් පැන නැගිය යුතු ය.

ගෑස් පිපුරුමෙන් කුණ්ඩසාලේ පදිංචි සිව්දරු මවක් මිය ගියා ය. ඇගේ මරණය ද ගෑස් බටයේ කාන්දුවක් නිසා සිදුවූවක් බවට පොලිස් වාර්තා සඳහන් කරයි. ලිට්‍රෝ සමාගම පසුගිය වර්ෂයක කාලය පුරාම ගෑස් මිලදී ගන්නේ ඕමාන් ට්‍රෙඩින් සමාගම හරහා ය. එම ටෙන්ඩරය ලබන පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිත ය. එහෙත් තවමත් ගෑස් ටෙන්ඩර් කැඳවා නැත.

දැනට කරුණු සිදුවන අන්දමට මේ යන්නේ “අත යට” ගණුදෙනුවකට ද යන්න සැක සහිත ය. එසේම ගෑස් පිපුරුම් පෙන්වා පෞද්ගලික සමාගමකට මෙය විකුණා දැමීමේ උත්සායක් ක්‍රියාත්මක වනවා ද යන්න ද සැක සහිත ය. මන්ද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යටතේ පැවැති ගෑස් සමාගම බහු ජාතික ෂෙල් සමාගමට විකුණා දැමූවේ චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේදී ය.

ලිට්‍රෝ ගෑස් වන්නට පෙර එය ෂෙල් ගෑස් ය. එය කෙසේ වෙතත් එක් පෙසෙකින් ගෑස් වෙළෙද පොලේ ගෑස් හිඟයක් ද තිබේ. ඒ ලාෆ් ගෑස් සමාගම තවමත් වෙළෙඳ පොලට ගෑස් නිකුත් නොකරන නිසා ය.

ලිට්‍රෝ ගෑස්වලට අධික ඉල්ලුමක් පවතියි. එය ද දැන් වෙනස් වී ඇත. අධිකරණය නියෝග කර ඇත්තේ ලිට්‍රෝ නිකුත් කළ සියළු ගෑස් තොග වෙළෙඳ පොලෙන් ඉවත් කර නැවත අලුත් ගෑස් තොග නිකුත් කරන ලෙසට ය. එහෙත් තවමත් වෙළෙද පොලේ පැරණි ලිට්‍රෝ ගෑස් තොග තිබේ.

ජනතාව මුලින් මුලින් ලිට්‍රෝ ගෑස් පාවිච්චි මග හැරිය ද මේ වන විට යළිත් සාමාන්‍ය පරිදි ලිට්‍රෝ ගෑස් මිලදී ගන්නේ පිපුරුම් ද සාමාන්‍යකරණය වීම නිසා ය. එසේම භුමිතෙල් ලිප් වෙනුවෙන් ඇති ඉල්ලුම ද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ. මීට වසර තුනකට පමණ ඉහත රුපියල් 800 ට පමණ තිබූ භූමිතෙල් ලිපක් මේ වන විට රුපියල් 4000 ක් පමණ වේ.

මේ නිසා සමහරෙක් මියදුනත් සැප යැයි සිතා ගෑස් උදුනේම ආහාර පිස ගනිති. ලිට්‍රෝ සමාගම ගෑස් වෙළෙඳ පොලෙන් 70% ක හිමිකමක් දරණ අතර ලාෆ් සමාගම 30% ක හිමිකම් දරයි. ලාෆ් සමාගමේ ගෑස් නොමැති නිසා මෙම 30% ක පිරිස අසරණ වී සිටිති.

පිපුරුම් නිසා ලිට්‍රෝ පිරිස ද අසරණ ව සිටිති. ආණ්ඩුව කිසිවක් නොවූ ලෙස කටයුතු කරමින් සිටිති.

නමුදු මෙම ප්‍රශ්නය නිරාකරණය කර ගැනීමේ පහසු මඟක් රජයට සහ රජයට කඩේ යන රාජ්‍ය සහ පෞද්ගලික මාධ්‍යයන්ට තිබේ.

එනම් මේ ගෑස් පිපිරීම් වලට හේතුව රවි,කුජ ආදී ග්‍රහයන්ගේ බලපෑම් නිසා බවට මේ වන විට කුජීත වී සිටින හොර කේන්දර,සාත්තර නඩය ලවා කියවා ගැනීම ය.එවිට රටේ සැලකිය යුතු පිරිසක් ඒ බව විශ්වාස කර තම තමන්ගේ කේන්දර පරීක්ෂා කර ගැනීමට උත්සුක වනු ඇත.එපමණක් නොවේ.

නව ග්‍රගයන්ගේ ක්‍රියාකාරකම් වලට ආණ්ඩුව මොනවා කරන්නදැයි තවත් පිරිසක් ආණ්ඩුව කෙරෙහි ඇති අපැහැදීම දුරු කර ගනු ඇත.අප එසේ කියන්නේ දැනට කරුණු සිදු වෙමින් පවතින අන්දමට ආණ්ඩුවට මිථ්‍යාවෙන් හෝ ජනතාව මුලාකිරීමකින් තොර ඉදිරි ගමනක් නොමැති බව පැහැදිලිවම පෙනෙන බැවිනි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර