ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං

ඉදිරි දිනවල ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිවේදනය කරයි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එම නිවේදනයේ දැක්වෙයි.එහි වැඩි දුරටත් සඳහන් වන අන්දමට බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.එබැවින් ඉදිරි දින වල ඇති විය හැකි ගිගුරුම් සහිත වැසි සමග හට ගන්නා තාවකාලික තද සුළංවලින් ආරක්ෂා වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

කාලීන පුවත්