ජාතික විගණන කාර්යාලයේ විගණන පරීක්ෂක වරියක් කීවාම බොහෝ දෙනෙකුගේ හිත් වලට නැඟෙන්නේ කවි කම කියන්නේ ගෙඩි ද පළු ද කියාලත් නොදන්න ගණන් හිලව් අතරේ ඔළුව හිරකර ගෙන ඉන්න යාන්ත්‍රික චරිතයක් විදිහටයි.
ඒත් ඒක මොන තරම් වැරදි සිතිවිල්ලක් ද කියන එක ඒ වෘත්තියේ නියුතු මේනකා උදාරි ලියනගේ ලියූ පළමු පද්‍ය සංග්‍රහය “දම් පාට මේකුළ” කෘතිය කියවන ඔබට වැටහෙන්න පුළුවන්.
පානදුර සුමංගල බාලිකා විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය සම්පූර්ණ කරපු මේඛලා ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන (විශේෂ ) උපාධියක් හිමි කර ගත්තා.නමුත් ඇය කවදාවත් කවිය හදාරා නෑ.
සිංහල විෂය ඉගෙනගත්තේත් සාමාන්‍ය පෙළ දක්වා පමණයි.ඒත් පස්සේ කාලෙක අහම්බෙන් මුහුණුපොතේ පළ කළ කවියකට ලැබුණු ප්‍රතිචාර අනුව දිගින් දිගටම කවි ලියන්නට පෙළඹුණු ඇය ගොඩගේ ආයතනය සංවිධානය කළ 2020 ගොඩගේ අත්පිටපත් තරඟයේ අවසන් වටය නියෝජනය කරන්නත් සමත් වුණා.
පහත පළ වෙන්නේ මේනකාගේ “දම් පාට මේකුළ” පද්‍ය සංග්‍රහයේ එන “ජීවක”නම් කවි පෙළයි.
මෙහි රසාස්වාදනය ගැන නොයෙක් පැතිකඩ ඔස්සේ කතා කරන්න පුළුවන්.නමුත් මේ කවි පෙළ “ගිනුම් පරීක්ෂක නෝනා කවි ඇසින් දුටු සසර දුක”කියලා නම් කළත් වරදක් නැති බවයි අපේ වැටහීම
ජීවක
හිමියනි මම ජීවක නම් වෙමි
කාසල් හි වෙසෙමි
මෙහි නිතරෝම අඟුල් මල් පිරිත මිමිණෙති
පෙකෙණි වැල් කැපෙති
රාහුලයෝ සසර දුක් රැගෙන පැමිණෙති…..
හිමියනි… වල්ගා ඔසවාගෙන සිඳු සිඳින ලෙහෙනියන් දැක නැත
වසර ගණනක් පමා වූ දරු සම්පත් සොයා
ක්ලිනික් අයි යූ අයි පෝලිම් වල
වරු ගණන් තැවෙන ගැහැනුන් දැක ඇත..
හිමියනි… චිංචි මානවිකාවෝ දැක ඇත..
මී වෙසින් සක් දෙවිඳු ආවේ නැත
අන්නාසි ගැට වලට දර මිටි ලිහුනේද නැත…
ඉදින් උන් ඔතාගෙන අපවාද පොදියක්
ආපසු යන අයුරු නම් දැක ඇත…
කිසාගෝතමීලා දැක ඇත….
නොමල ගෙයකින් අබ සෙව්වේද නැත
මසක් දෙමසක් තුන් මසක්
යාන්තම් මෝදු වූ කුස කන්ද
සෝදා පැතලි වූ පසු
හඬ හඬා ආපසු යන අයුරු
ඕනෑ තරම් දැක ඇත…
ඉන්කියුබේටර් වයර් තොටිල්ලක
නිදා හුන් පුතු ගියෙන් සුර ලොවට වැද
ඈ සළු පිලි උනාගෙන දිව්වේ නැත
රැයක් පුරා දෙවූ කිරි අනෙක් බිලිඳුන්ට බෙදා
පින් ඉල්ලූ පටාචාරා නම් දැක ඇත
දාන පාරමිතා පුරන්නට ඇත
හිමියනි මම ජීවක නම් වෙමි
කාසල් හි වෙසෙමි…
දුකින් මුදවන මඟ නොදත් හෙයින්
දුකම උන් දෝතට දී පිට කරමි….