ගිරිරාජ් ගේ දුව අමන්ද්‍යා උත්පලී “රැජිනට අඳියි”

ගිරිරාජ් කෞශල්‍ය කියන්නේ අපේ රටේ සිටින දක්ෂතා වලින් හෙබි ප්‍රවීණ රංගන ශිල්පියෙක්. අද වෙද්දි ඔහුගේ දියණියත් කලාවේ නව ඉසව් සොයාගෙන යන ශිල්පිණියක්. ගායනය, රංගනය වැනි අංශ වලින් දස්කම් පෙන්වන ඇය ගැන මේ දිනවල නිතර කතා බහට ලක්වෙනවා. 2003 නව වසරේ මුල් මාසය ඇයට නම් සුවිශේෂයි. ඒ ගැන ඇයගෙන්ම අහන්න අපි ඇයව සම්බන්ධ කර ගත්තා.

ඔබ ගැන තොරතුරු ටිකක් කියමු.

මම අමන්ද්‍යා උත්පලී. මම දැං පදිංචි වෙලා ඉන්නේ කැස්බෑව ප්‍රදේශයේ. මගේ පවුලේ අම්මා , තාත්තා , අක්කා, මම. දැන් ඉතින් සැමියාත් ඉන්නවා.

නව වසරේ අලුත් තොරතුරු කොහොමද?

නව වසරේ අලුත් තොරතුරු කියන්නේ දැනට නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා ඉන්නවා. ‘නොනිමි’ නාට්‍යය වගේම ‘කී’ ටෙලිනාට්‍යය.
ඒ වගේම අලුත්ම ආරංචිය තමයි මගේ තුන්වන ගීතය එළිදක්වන්න නියමිතව තියෙන්නේ 2023 ජනවාරි 22 වෙනිදා. ඉතිං ඒක සුවිශේෂයි. ඒ ගැන ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා.

මේ ගීතයේ යම් සුවිශේෂත්වයක් තියනවා නේද?

සුවිශේෂත්වය කියලා කියන්නේ ගීතයේ තේමාව රැජිනට ඇන්දා කියලා. පරණ වේදිකා යුගයේ නූර්ති, නාඩගම් කරපු නිළියක් දැන් වයසට ගිහිල්ලා. එයාගේ අතීතය සිහිපත් කරන කතාවක් තමයි. අපි මේ ගීතයේ ට්‍රැක් එක ලෑස්ති කරනකොට ඔරිජිනල්ම සංගීත භාණ්ඩ යොදා ගත්තා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රොනික් ශබ්ද භාවිත නොකර ඔරිජිනල්ම සංගීතය යොදා ගෙන තමයි කළේ. මං ඒකට ගොඩක් ආස වුණා. විශේෂයෙන්ම කියන්න ඕන කාලෙකට පස්සේ ගීතයකින් සර්පිනාවේ හඬ වැඩිපුර ඇහෙනවා කියලා මට හිතෙනවා. සර්පිනාවේ හඬ ඉස්සර “පොඩි කුමාරිහාමී…. වගේ සින්දුවල ඒ හඬ මතකයි නේ. මේ සින්දුවෙත් ඒ විදියට වෙයි කියලා මට හිතෙනවා. එච්චරට ලස්සන සර්පිනා හඬ යනවා. සභා මද්දලය, බෙර මේවායේ නාට්‍යානුසාර විදියට හැදිච්ච ගීතයක්. මේ ඔක්කොම නිසා අලුත් වැඩක් වෙයි කියලා හිතනවා.
මේ ගීතයේ රූප රචනාව ගැනත් කියන්න ඕනි. ජය ප්‍රකාශ් ශිවගුරුනාදන් මහතා තමයි රූප රචනය නිම කරලා දුන්නේ. තනු නිර්මාණය සහන් රංවලයන්ගේ. සංගීත සංයෝජනය සංගීත් වික්‍රමසිංහ අංකල්ගේ.

විශේෂත්වය තමයි මගේ නිර්මාණයට සහභාගී වූ ශිල්පීන් බොහොමයක් කිසිදු මුදලක් අය කිරීමකින් තොරව උදව්වක්, ශක්තියක් වීම සඳහා මේ වැඩේට සම්බන්ධ වුණු අය. තාත්තාට, මට තියන ආදරය ගෞරවය නිසා තමයි ඔවුන් උදව් කළේ. මම හරි වාසනාවන්තයි ඒ අතින්. මම ඒ සියලු දෙනාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.

රැජිණ එළිදක්වන්නේ ඔබේ උපන් දිනය දා. එය ඔබ වටා සිටින රසිකයන්ට ලබා දෙන තිළිණයක් නේද?

උපන් දිනය දවසේ තෝරා ගැනීම අහම්බයක්. මොකද 2022 දෙසැම්බර් මාසේ තමයි මෙහි රූප රචනාව අවසන් වුණේ. එතනදි හිතුවා 2023 නව වසරේ මගේ උපන් දිනය යෙදෙන නිසා ඒ දිනය අල්ලලා රසික, රසිකාවියන්ට මගෙන් තිළිණයක් දෙන්න. ඒ දිනය තෝරා ගත්තේ ඒකයි.

ඔබ තාම රංවල බලකායේ සාමාජිකාවක්ද?

මම 2007 වසරේ සිට රංවල පදනමට සම්බන්ධයි. 2011 වසරේ සිට මේ දක්වා රංවල බලකායේ සාමාජිකාවක් ලෙස ඉන්නවා. ලංකාවේ වගේම ලෝකය වටේ ජන සංගීතය , අපේ සංස්කෘතිය , දැනුම අරගෙන සෙසු ළමයි එක්ක සංදර්ශණ වැඩමුලු විශාල වශයෙන් කරලා තියනවා. ඉදිරියටත් රංවල බලකාය එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරගෙන යන්න තමයි බලාපොරොත්තුව.

ඔබ ගායන පැත්තට යොමු වුණේ කොහොමද?

පොඩි කාලේ ඉඳන් විවිධ ආයතන වලට යුග ගායනා වැනි ගොඩක් ගායනා කරල තියනවා. මගේම කියලා නිර්මාණ කර ගත්තු තුන්වන ගීතය තමයි මෙය. පළමු ගීතය නිර්මාණය කළේ පද රචනය ප්‍රවීණ ගීත රචිකා යමුනා මාලනී මහත්මිය. සංගීතය කසුන් කල්හාර අයියා.
දෙවැනි ගීතය පද තනු නිර්මාණය දෙකම සහන් රංවලයන්ගේ. සංගීත සංයෝජනය පසන් ලියනගේ.
මගේ තුන්වන ගීතය එළිදැක්වූ ගීත දෙකටම වඩා හාත්පසින්ම වෙනස්. පද රචනය අපේ තාත්තාගේ. තනු නිර්මාණය සහන් රංවල. සංගීත සංයෝජනය සංගීත් වික්‍රමසිංහ අංකල්ගේ.

අපි මේ දවස්වල අහන්නේ එකම විදියට යන ගී නිර්මාණ. ඒ අතර මේ ගීතය නව පරපුරේ ඔබේ වයසේ තරුණ පරපුර ‌මේ වටා එක්රොක් වෙයි කියලා හිතනවද?

මෙහෙමයි එක දෙයක් තියනවා. අද කාලයේ සිංදුවක් ජනප්‍රිය වෙලා රසික හිත් බැඳගන්න කියන දේ අපට හිතා ගන්න හරි අපහසුයි. මොකද හොඳ නිර්මාණ සමහර වේලාවට බිහි නොවන අවස්ථා තියනවා. ඒ වගේම හොඳ නැති නිර්මාණ හිට් වන අවස්ථා තියනවා. ඒක මම හිතන්නේ අපි රසිකයාට ලබා දෙන විදිය හා රසිකයා ඒක මොන විදියට භාර ගනියිද කියන එක මත ගීතය ජනප්‍රිය පදනම් වෙනවා. මේ ගීතය මිනිසුන්ට සංගීතමය, නාට්‍යමය වශයෙන් රසවිඳින්න තියන නිර්මාණයක්.

තාත්තා එච්චර කැමති වුණේ නැහැ නේද ඔබ මුලින් කලා කටයුතු වලට යොමු වෙනවට?

මෙහෙමයි. තාත්තායි අම්මයි පොඩි කාලේ මාව යොමු කළේ අධ්‍යාපන කටයුතු වලට. හැබැයි පොඩි කාලේ සිටම මගේ ගීත ගායනය අඳුරගෙන හිටියේ. ඒ නිසා පෙර පාසල් යන කාලේ සිටම සංගීතයට යොමු කළා. මගේ මුල්ම ගුරුවරිය මාලනී බුලත්සිංහල මහත්මිය.
පාසල් නාට්‍ය වලට යොමුවෙද්දී තාත්තා දැනගෙන හිටියා මගේ රංගන හැකියාවන්. පසුව මට පොඩි පොඩි ආරාධනා ලැබුණා. නමුත් ඒ කාලයේ තාත්තා කැමති වුණේ නැහැ මේකට මම පූර්ණ කාලීනව යොමු වෙනවට. තාත්තාගේ අකමැත්තයි ඒ් දේවලුත් එක්ක මටත් එහෙම ලොකු වුවමනාවක් තිබුණේ නැහැ. ඉගෙනීම ඉවර කරලා කොළඹ විශ්වවිද්‍යාලයෙහි උපාධිධාරිණියක්, පුද්ගලික ආයතනයක රැකියාවක් කරන අතරතුර තමයි රඟපෑමට ආසාව මතුවෙන්නේ. ඒකත් එකක මට මුලින්ම අවස්ථාව ලැබෙනවා ජය ප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්තයාගේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ පොඩි චරිතයක් රඟපාන්න. එතනින් එහාට තමයි ප්‍රේක්ෂකයෝ මං ගැන හොයලා බලන්න පෙළඹෙන්නේ. ඒ හරහා ඉස්සරහට ඉස්සරහට අවස්ථා ලැබෙන්නේ.

දුවගේ මේ හැකියාවන් ගැන තාත්තා දක්වන ප්‍රතිචාර කොහොමද?

තාත්තාට හරි සතුටුයි. ඉස්සර ඉඳන්ම මගේ ගායනයට හරි ආදරෙයි. ඇලුම් කරනවා. හරියට රස විඳිනවා.
රඟපෑම ගැන හරි ඉහළින් කතා කරනවා. මම දෙවැනි නාට්‍ය රඟපානවාට වඩා ඔයාගේ දෙවැනි නාට්‍යය රඟපානවා ඉතාම ඉහළයි කියනවා. තාත්තා වගේ කෙනෙක්ගෙන් එහෙම අහන්න ලැබෙන එකත් මට ලොකු දෙයක්. මගේ එදිනෙදා අඩුපාඩු තියනවා. මම රඟපෑම ගැන නිරන්තර සාකච්ඡා කරනවා. සතියේ දින පහේම රෑ 7.30 ට ස්වර්ණවාහිනියෙන් විකාශනය වන ‘කී’ නාට්‍යය නොවරදවාම තාත්තා බලනවා. ඒවා දකිද්දි හරි ආසයි.

කලා කටයුතු වලට වගේම ගෙදර කටයුතු වලදී සැමියාගෙන් පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

මගේ සැමියා සාරංග කලුගලගේ. ඔහු තොරතුරු තාක්ෂණ අංශයේ ව්‍යාපාර කළමණාකරුවෙකු ලෙස සේවය කරනවා. ඔහුගෙන් ඉහළම සහයෝගයක් ලැබෙනවා. සැමියාගෙන් සහ පවුලේ සාමාජිකයන්ගෙන් ලැබෙනවා. විශේෂයෙන් මම රඟපෑමට පිවිසෙන්නේ මගේ විවාහයෙන් පස්සේ ඒකට මට ශක්තියක් අත්වැලක් වෙන්නේ මගේ සැමියා. මගේ හැකියාවන් අඳුරගෙන ඒ හැකියාව තවත් වැඩිදියුණු කරගන්න අදහස් යෝජනා දෙනවා. ඒ වගේම මගේ වැඩ කටයුතු පහසුවෙන් කරගන්න ගොඩක් උදව් කරනවා. එයාට ස්තුතිවන්ත වෙනවා මට අවස්ථාව සළහාදීම සහ මාව අවබෝධ කරගෙන සිටීම ගැන.

අනික් දේ තමා මගේ අම්මයි, තාත්තයි. ගොඩක් අය දන්නේ තාත්තාව. නමුත් අපේ අම්මා පොඩි කාලේ ඉඳන්ම මාව සංගීත පන්ති වලට යොමු කරලා ඒ අවශ්‍ය ඉගෙනුම් කටයුතු ලබා දෙන්න හරියට මහන්සි වුණේ අම්මා. මගේ පස්සෙන් ගිහින් ඒවාට තල්ලු කරලා යොදවලා උනන්දු කළේ ඇය. ගොඩක් අය අහන්නේ තාත්තා ගැන මගෙන්. මේ අවස්ථාවේදී මම හිතුවා අම්මා ගැනත් කතා කරලා ඒ වටිනාකම අම්මට දෙන්න ඕනි කියලා. අම්මා තමයි තාත්තාගේ පසුපස ඉඳන් හැමදේම රන් කරගෙන ඉන්නේ.
ගෙදර වැඩ ගැන කතා කළොත් ඉවුම් පිහුම් කටයුතු මම ගෙදර ඉන්න දවස් වලට ඒ විදියටම කරනවා. රූපගත කිරීම් වලට යද්දී පාන්දර යන්න වෙනවා. ඒ වේලාවට සැමියා මගේ වැඩ වලට ගොඩාක් උදව් කරනවා. ඒකත් එක්ක අපහසු වෙන්නෙ නැහැ. හැමදේම බෙදාගෙන අපි දෙන්නා සතුටින් ඉන්නවා.
මගේ හොඳම විචාරකයා ඔහුයි තාත්තයි. මගේ නිර්මාණ බලලා ඒ ගැන කතා කරනවා. අලුත්ම ගීතයේ රූප රචනාම මුලින්ම හස්බන්ඩ්ට පෙන්නුවාම එයා කිව්ව දේ තමයි මට මාර සතුටුයි ඔයා ගැන, ඔයා හරි දක්ෂයි. හොඳට කරලා තියනවා. එවැනි ප්‍රතිචාර අහන්න ලැබීම වාසනාවක්.

ජනප්‍රිය කලා පවුලකින් පැවත ඒමම ඔබේ කලා ගමනට වාසියක් නේද?. අරයගේ දුවනේ මේ කියලා. ඒහෙම කියනවා. තාත්තා නිසාද? ඔබට කලා ක්ෂේත්‍රයේ මං විවර වුණේ?

මෙහෙමයි. ඒකේ දෙපැත්තක් තියනවා. තාත්තාගේ දුව වීම මතම සමහර දේවල් නොලැබුණු අවස්ථා තියනවා. අපේ ලංකාවේ සමහර අය තුළ අරයගේ දුව නේ. එයාට ඕනතරම් අවස්ථාවන් තියනවානේ කියන මානසිකත්වය තියනවා.
ඒ වාගේම තාත්තා නිසා අවස්ථා ලැබිලා තියනවා. උදා: විදියට මම රංවල බලකායට සම්බන්ධ කරගන්නේ පියා කවුද?කියලා දැනගන්නේ නැතුව. වැඩමුලුවකට සහභාගි වෙලා පස්සේ තමයි දැනගත්තේ මම ගිරිරාජ්ගේ දුව කියලා.
මම හිතන දෙයක් තමයි තමාගේ හැකියාව නැතුව අඳුරන කමට ලැබුණත් කිසිම තැනක පැවැත්මක්වත් රැඳෙන්නවත් බැහැ කියලා.

කලාවම වෘත්තිය කරගෙන අපේ රටේ ජීවත්වීම පහසුද?

අද වෙනකොට නෙමේ අතීතයේ ඉඳන්ම කලාව වෘත්තිය කරගෙන යන්න අපහසුයි. මම පොඩි කාලේ ඉඳන්ම සංගීතයට ආස වුණත් සංගීතය හැදෑරුවේ විනෝදාංශයක් ලෙස වගේම උසස් අධ්‍යාපනය කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා සහ සමාජ විද්‍යාව වැනි විෂයයන්. මගේ ශාස්ත්‍රපති උපාධිය සමාජ විද්‍යාව. හැමවේලේම තාත්තා කියලා තිබ්බේ ගායනය සංගීතය සයිඩ් ඒකේ කරගෙන යන්න කියලා.
ටෙලි නාට්‍ය වේදිකා නාට්‍ය වල රඟපාන ශීල්පීන්ට ලැබෙන ආදායම ඉතාම අල්පයි. ඒ තත්වය ඉහළ මට්ටමකට එනකම් කලාකරුවෙකුට ඒකෙන්ම ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලා මම හිතන් නැහැ.ගායන ක්ෂේත්‍රයේදී ඕක ටිකක් හරි වෙනස් වෙලා තියනවා. එතනදි මියුසිකල් ෂෝ වලදී එහෙම තමන්ම මිල කරන්න පුළුවන්. රංගන ශිල්පිණියකට අපහසුයි.

කලාකරුවෝ බොහෝ දෙනෙකු රට අතහැරලා විදේශ ගත වෙනවා. ඔබත් එවැනි අදහසකද ඉන්නේ?

ලංකාවේ යන තත්ත්වයත් එක්ක ඉස්සරහා කොහොම වෙයිද කියන්න බැහැ. මම මේ වෙද්දි රටවල් 10 ක විතර සංචාරය කරලා තියනවා. ඒ රටවල් වලට ගියාම ලංකාවට එද්දි දුකක් ඇතිවෙනවා. බංග්ලාදේශය වැනි රටවල් වුණත් අපට වඩා සෑහෙන්න දියුණු මට්ටමක ඉන්නවා; අපට වඩා අඩු සම්පත් තිබිලත්. ලංකාවට ආවම හිතෙනවා ඇයි අපිට මේ තත්වයට එන්න බැරි කියලා. මේ යන ආර්ථිකයත් එක්ක හැප්පෙන්න පුළුවන් නම් මෙහෙම රැඳෙයි. නැත්නම් අපිත් වෙන තීරණයක් ගනී.

ප්‍රේක්ෂක ආදරය කොහොමද ඔබට දැනෙන්නේ?

ඉස්සරට වඩා මිනිස්සු මාව අඳුරනවා. මම කියන්නේ නැහැ මම හරි ජනප්‍රියයි කියලා. තාම පුංචි අඩියක් තමයි තිබ්බේ. තැනකට ගියාම කතා කරනවා. මෙසේජ් කරනවා. රඟපෑම ගායනය හොඳයි කියලා. තාත්තා නිසා මට තවත් විදියකට ආදරේ ලැබෙනවා. සතුටටුයි. මේ හැමදේටම.

ඔබට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ මොකක්ද?

මගේ අලුත්ම ගීතය අහලා අඩුපාඩු හොඳ තියනවා නම් ප්‍රතිචාර කියන්න කියලා. මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක මගේ කලා ගමනට ලොකු දිරියක් වේවි.

මහේෂානි මීගහපොල

රසගඟුල