ගෙදරට නයෙක් ආවොත් අපිට කියන්න

snake

අහිංසා ශ්‍රී ලංකා සත්ව හිමිකම් සංවිධානය හා අනුබද්ධ අනුරාධපුර පූජා නගර සත්ව ආරක්ෂක බලකායේ උද්යෝගීමත් ක්‍රියාකාරී සාමාජිකයකු වන කිරිමැටියාවේ දන්ගහවෙල පදිංචි එස්.එල් අමිත් උදයංග ජයතිලක බොහෝ දෙනකුගේ කරුණාව හිමි නොවන නාගයන්,පොළඟුන්,තෙල් කරවලුන්,මාපිලුන් ඇතුළු විස සහිත සර්පයන් කෙරෙහි ද දයානුකම්පාව දක්වමින් ජීවත් වීම සම්බන්ධ ඔවුන්ගේ ස්වාභාවික උරුමය වෙනුවෙන් පෙනී සිටින තරුණයෙකි.”මේක මගේ විතරක් තනි උත්සාහයක් නෙවෙයි.මේ සත්තුන්ට මිනිසුන්ගෙන් වෙන විපත් වලක්වන්න සර්පයන් හැසිරවීම ගැන විශේෂ පුහුණුවක් ලබපු තරුණ කණ්ඩායමක් දැන් රටේ බොහෝ ප්‍රදේශවල ඒකරාශී වෙලා ඉන්නවා.

ජාදු(රුවන් ජයලත් දන්දෙණිය )කියන්නෙ අපේ කණ්ඩායමේ පුරෝගාමියෙක්”අමිත් පවසයි.බොහෝ දෙනකු සර්පයන් යනු සමාජයට විපත්තිකර සත්ව කොට්ඨාශයක් සේ සැළකුව ද මේ මිහිතලයේ පරිසර සමතුලිතතාව රැකීම සම්බන්ධයෙන් ඔහුන් ගෙන් ද විශිෂ්ඨ මෙහෙවරක් ඉටු වන බව අවධාරණය කරන අමිත් ඒ සතුන්ගේ ජීවිත ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් ඇතුළු පිරිස මේ වන විටත් ව්‍යාපෘති ගණනාවක් දියත් කොට ඇති බවක් කියයි.”තමන්ගේ ගෙදරට හරි වත්ත පිටියට හරි නාගයෙක් ඇතුල් වුණොත් ඒ සතා මරලා දාන්න තවමත් බොහෝ දෙනෙක් පෙළඹෙනවා.

සර්පයන්ට ඇති බය වගේම සර්පයන් හැසිරවීමට නොදන්නා කමත් ඒකට හේතුවක්.නමුත් අපි කියන්නේ ඒ පාරිසරික අපරාධය නොකර හැකි තාක් ඉක්මනින් අපිට දන්වන්න කියලයි.එතකොට අපි ඒ දුරකතන ඇමතුම ආපු ප්‍රදේශයට කිට්ටුවම ඉන්න අපේ සර්පයන් හැසිරවීම ගැන විශේෂ පුහුණුවක් ලබපු අපේ මුතුරු වළල්ලේ කෙනෙකු ලවා හැකි තාක් ඉක්මනින් නිරුපද්‍රිතව ඒ සතා එතනින් ඉවත් කරලා ජන ශූන්‍ය ප්‍රදේශයකට යවන්නම්.

ඒ වගේම නොයෙකුත් හිංසා පීඩා නිසා තුවාල ලැබූ සර්පයන්ට ප්‍රතිකාර කිරීමටත් අපි ඉදිරිපත් වෙනවා”අමිත් වැඩි දුරටත් කියයි.එමෙන්ම ඔහු පවසනුයේ සර්පයන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සම්පූර්ණයෙන් නොමිලයේ කරන මේ සේවාව සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර එම සේවාව ලබා ගන්නා අයට තමන්ගේ කැමැත්ත මත ඉන්ධන වියදමට ප්‍රමාණවත් මුදලක් ලබා දිය හැකි මුත් එය ද කිසිසේත් අනිවාර්ය අවශ්‍යතාවක් නොවන බව ය.

ඒ අනුව ඔබගේ එදිනෙදා ජීවිතයට කිසියම් සර්පයකුගෙන් බාධාවක් වන්නේ හෝ තුවාල ලැබූ සර්පයකු පිළිබඳව ඔබ දන්නේ නම් 0772737423 හෝ 071 7623196 අංකය මඟින් එස්.එල් අමිත් උදයංග ජයතිලක ඇමතීමට ඔබටත් පුළුවන.

 

සතුන්ටත් හිමි අපේ ලෝකය