“ගොවියාට ගොවිතැන එපා වුණොත් රටම බඩගින්නේ” යන මල්වතු නා හිමි ප්‍රකාශයට පසුවදනක්

amaraweera farming sri lanka agriculture farming farming in hindi

අප රටේ ගොවීන්ට ගොවිතැන එපා වුවහොත් රටටම කුසගින්නේ සිටීමට සිදුවන නිසා ගොවීන් ගොවිතැන කෙරෙහි උනන්දු කරවන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසත් විශේෂයෙන් මේ වන විට කෘෂිකාර්මික කටයුතු වලින් බැහැරව සිටින තරුණ පරපුර කෘෂිකර්මය වෙත යොමු කරවන වැඩ සටහන් ක්‍රියාත්මක කරන ලෙසත් තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නා හිමියන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගෙන් ඉල්ලා සිටි පුවතක් පසුගිය දිනවල මාධ්‍ය මඟින් වාර්තා විය. වර්තමානයේ ගොවියාට ගොවිතැන එපා කරවන හේතූන් අටෝ රාශියක් තිබේ.ඒ අතර දේශපාලනික,සමාජ,ආර්ථික සේම අප රටේ සාම්ප්‍රදායික කන්න ක්‍රමයේ ගොවිතැන් වලට හුරු ගොවියාට අනපේක්ෂිත දේශගුණික අතවර අත්වීම ද ප්‍රධාන තැනක් ගනී.නමුත් මෙය මේ දක්වා බොහෝ දෙනකුගේ අවධානයට ලක් නොවූ මාතෘකාවකි.

ගෝලීය වශයෙන් වුවද දේශගුණික විපර්යාස මේ වන විට සෙසු බොහෝ අර්බුද අභිබවා පෙරට පැමිණෙමින් තිබේ. වර්තමානයේ ලංකාවේ සිදුවන දේශගුණික විපර්යාස මෙන්ම ඒවා නිසා සිදුවන ආපදා දිනෙන් දිනම ඉහළ යමින් පවතී.මෙමඟින් සාම්ප්‍රදායික කන්න ක්‍රමයේ වගාවන්ට සිදුවන බලපෑම සුළුපටු නැත.නමුත් අප රටේ සාම්ප්‍රදායික ගොවි ජනතාවට නුහුරු මෙම ආපදා තත්වයන් හමුවේ ගොවීනට ගොවිතැන කෙරෙහි මෙන්ම ජීවිතය කෙරෙහි කලකිරීම් ඇති කර ගැනීමට තරම් ප්‍රමාණවත් කරුණු ගොනු වී තිබේ. නිදසුන් ලෙස නියං තත්වයන් ඇති වීම, ක්ෂණික ගංවතුර තත්වයන් ඇතිවීම, ක්ෂණිකව ඇදහැලෙන විශාල වර්ෂා නිසා ගංගා පිටාර ගැලීම, අධික උණුසුමක් ඇති කාල වකවානු වලට මුහුණ දිමට සිදුවිම ආදිය දැක්විය හැක. ‌මෙවැනි දේශගුණයේ සිදුවන වෙනස්වීම් සාම්ප්‍රදායික ගොවි ජනතාවට දරා ගත නොහැකි මට්ටමක් තෙක් ඉහළ නැංවී තිබේ. මෙයට හේතුව දීර්ඝ කාලවකවානුවක සිට වගා කිරිමට හුරු වු ගොවියා තුළ සාම්ප්‍රදායික දේශගුණික රටාව ගැන පමණක් දැනීමක් වැටහීමක් තිබීම ය.ඒ අනුව ඒ ගොවීන් වත්මන් තත්වයන් ගැන දැනුවත් කිරීම කඩිනම් අවශ්‍යතාවකි. සාම්ප්‍රදායික ගොවි ජනතාව මෙතෙක් වගා කටයුතු සිදු කළේ එම අහිතකර කාල වකවානු මඟහරිමින් ඒ සඳහා සුදුසු කාල වකවානු පාරම්පරිකව නිශ්චය කර ගැනීමෙනි. නමුත් මෙම අනපේක්ෂිත දේශගුණික විපර්යාස නිසා සිදුවන මෙම හදිසි තත්වයන් මේ වන විට ඔවුන්ට අදහා ගත නොහැකි මට්ටමකට පත් ව තිබේ. එම විපර්යාස නිසා ඔව්හු මුළුමනින් වික්ෂිත වී හිඳිති.එමෙන්ම ඔවුන් ගෙන් ඇතැමුන් සිතනුයේ මෙය දෙවියන් ගේ කෝප වීමක් හෝ යකුන් ගේ බලය පෑමක් ලෙසිනි.

පසුගිය කාලයේ හටගත් අනපේක්ෂිත ගංවතුර නිසා තම අස්වැන්න විනාශ වි ගිය ගොවියාට පසුව ඇතිවු අධික උණුසුම් තත්වය සමග පැතිරී ගිය කෘමි උවදුර නිසා අස්වැන්න විනාශයට පත් වීම ගොවීන්ට ගොවිතැන තිත්ත කරවීමට සමත් විය.මෙම ක්‍රියාදාමය ඉදිරි කාලයේ දී ද නිරතුරුවම සිදුවනු ඇත. ගොවියා යනු මාසිකව හෝ දිනපතා වැටුප් ලබන ශ්‍රමිකයකු නොවේ.එමෙන්ම වෙනයම් ව්‍යාපාර,කර්මාන්ත හෝ ස්වයං රැකියා ලාභියකු මෙන් නිරතුරු ආදායම් ලබන්නෙක් ද නොවේ.ගොවියා තමන් සතු ධනය,ශ්‍රමය සහ කාලය වැනි ආයෝජනයන් සිදු කොට ඒ වෙනුවෙන් අස්වනු නෙලන කාලය තෙක් උපරිම බලාපොරොත්තු රඳවා ගෙන ජීවත් වෙයි.එබැවින් තමන් දුක් මහන්සි වි වපුරනු ලැබු බීජ වල එලය ලබාගැනීමට නොහැකිවීම තරම් අවසනාවන්ත සිදුවීමක් ගොවියාට නොමැත. තමාගේ අහිමි වු අස්වැන්න මුල් කොට ආර්ථිකමය හා සමාජමය වශයෙන් සේම මානසික වශයෙන් ද මහත් පාඩුවක් අලාභයක් දැරීමට මෙම ගොවි ජනතාවට සිදුවේ. මෙම තත්වය යටතේ දේශීය වශයෙන් දේශගුණික විපර්යාස නිසා කෘෂිකර්මයට සිදුවන අවදානම කළමනාකරණය කිරිමට සහ ඒවාට අනුවර්තනය විම සදහා අවදානම් හුවමාරුව පිළිබඳ කඩිනම් වැඩපිළිවෙළක් සැකසීම කඩිනම් අවශ්‍යතාවකි.

ලොව පුරා ගොවීන් මුහුණ දෙන මෙම අවදානම් තත්වය හමුවේ අන්තර්ජාතික ආයතනය වන අන්තර්ජාතික දේශගුණික සමාජිය පර්යේෂණ ආයතනය යම් කාර්යභාරයක් ඉටු කරන බව පෙනෙයි.ඔවුන් ගේ අර්ථකථන වලට අනුව දේශගුණික විපර්යාසවල අවදානම කළමනාකරණය කිරීම යනු පුර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, බෝග අඨික්ෂණය සහ අස්වැන්න පුරෝකථනය, අදාළ යටිතල පහසුකම් සංවර්ධනය, කෘෂි රක්ෂණය, ගතික සම්පත් වෙනස් කිරීමේ නීති යනාදිය තිරසාර මට්ටමකින් පවත්වා ගත යුතුය.එපමණක් නොවේ. දේශගුණික විපර්යාස නිසා සිදුවන බලපැම සමග සාර්ථකව කටයුතු කිරීම සදහා තොරතුරු තිරසාර පසුබිමක සන්නිවේදනය විය යුතු වේ. මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනුයේ අමාත්‍යංශ මට්ටමින් නිෂ්කාශනය කරන මෙම තොරතුරු සාමාන්‍ය ගොවි ජනතාව අතරට යැම වලකන යම් යම් ක්‍රියාදාමයන් ද මේ වන විට ක්‍රියාත්මක වන බවකි.ඒ නිලධාරී අකාර්යක්ෂමතා හා විකල්ප දේශපාලන ක්‍රියාදාමයන් බව ද ඔහු කියයි.

ඒ තත්වය කෙසේ වුව මෙම දේශගුණික විපර්යාස නිසා සිදුවන ආපදා දිනෙන් දිනම ඉහළ යමින් පවතින තත්වය හමුවේ ඒ සම්බන්ධ විද්‍යාත්මක සහ ප්‍රායෝගික කරුණු අදාල දත්ත සහ මූලාශ්‍ර ද සහිතව හැකිතාක් ඉක්මනට මෙරට පාසල් අධ්‍යාපනයට ඇතුළු කළ යුතු බව අපගේ වැටහීම ය.එවිට එම නව දැනුම් අවබෝධයන් සිසුන් තම මාපියන් වෙත සංනිවේදනය කරනු ඇත.එමෙන්ම එය එම සිසුන් ගෙන් යම් කොටසක් හෝ කෘෂිකර්මය වෙත යොමු කර ගැනීමේ යම් නැඹුරුවක් වනු ඇත.එයම ශ්‍රී ලාංකේය කෘෂිකර්මයේ කාලීන හැරවුම් ලක්ෂයක් වීමට ද බැරි නැත.එසේ නොකළහොත් මල්වතු මහ නා හිමියන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගෙන් ඉල්ලා සිටි අන්දමට අපේ ගොවි ජනතාවට ගොවිතැන එපා වීම වැලැක්වීම ලේසි පහසු කටයුත්තක් නොවනු ඇත.ඒ අනුව දේශීය කෘෂි නිෂ්පාදන බිඳ වැටීම මත අනාගතයේ සමස්ත ජාතියටම කුසගින්නේ පසුවීමට සිදුවන යුගයක් ද උදාවනු නියතය.

රේණුකා දමයන්ති

එතෙර - මෙතෙර