ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය ජූනි මාසයේ දී යම් සුවිශේෂී තීන්දුවක් ප්‍රකාශයට පත් කළ බව ඇතැම් විට ඔබේ මතකයේ තිබෙන්නට පුළුවන. ඒ මරණ දඬුවම නියම කරනු ලැබූ වරදකරුවකුට ව්‍යවස්ථාවෙන් ලැබී ඇති බලතල අතික්‍රමණය කරමින්, එය අවභාවිත කොට එකී තැනැත්තාට ජනාධිපති සමාව දුන්නේ යැයි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව ලබා දුන් තීන්දුවය. සිරකරුවකුට සමාව ලබාදීමේදී අනුගමනය කළ යුතු කිසිදු ක්‍රියාමාර්ගයක් එහි දී අනුගමනය නොකරන ලදැයි අධිකරණය විසින් තීරණය කරනු ලැබූ නිසා සිය පෞද්ගලික ධනයෙන් වගඋත්තරකරුවන්ට වන්දි ගෙවන්නට ද හිටපු ජනපතිවරයාට නියම විය. මෙහි ඇති එක්තරා අතකින් හාස්‍යජනක කාරණය වන්නේ 1976 වසරේ දී අප රට තුළ ක්‍රියාත්මක කිරීම නවතා දැමුණු මරණ දඬුවම නැවත ක්‍රියාත්මක කළ යුතු යැයි හඬ නැගුවේ ද මෙකී ජනපතිවරයා බලයේ සිටියදී වීමය. මත්ද්‍රව්‍ය ජාවාරම නවතාලීමට නම්, එහි නියැලෙන්නන් එල්ලා මරා දැමිය යුතු බවත්, තම කාලය තුළ එක් අයකු වෙනුවෙන් හෝ මේ දඬුවම ක්‍රියාත්මක කරන බවත් ඔහු පුනපුනා පවසා සිටියද, ක්ෂමා සංවිධානය ඇතුළුව ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි විරෝධතා නිසා එය අකුලාගන්නට ඔහුට සිදු විය. මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දැක්වූ ඔහු විසින්ම මරණ දඬුවමට ලක් වූ අයකුට නිසි පටිපාටියකින් තොරව සමාව දීම දෛවයේ සරදමක් වැනිය. ලෝකය තුළ ද මරණ දඬුවම කෙමෙන් අහෝසි යන වටපිටාවක මේ කාරණය පිළිබඳ කතා කරන්නට නිමිත්තක් ඇති වූයේ පසුගිය දා ලැබුණු වාර්තාවකට අනුව ඉරානය තුළ මරණ දඬුවම අතිශය ප්‍රවේගකාරී ලෙස වර්ධනය වී ඇති බව දැනගන්නට ලැබුණු බැවිනි. එය මේ ආකාරයෙන් එක්වර වේගයෙන් වර්ධනය වීම කෙරෙහි ජාත්‍යන්තර සිය විරෝධය එල්ල කරමින් සිටියි.
ඉරානය තුළ පැන නැගී ඇති මේ ප්රවණතාවට එරෙහිව මානව හිමිකම් සංවිධාන සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළුව සමස්ත ලෝකයෙන්ම දැඩි බලපෑමක් එල්ල වෙමින් පවතී. පසුගිය මාස කිහිපය තුළ ඉරානයේ මරණ දඬුවම මිනිස් සංහතියම කම්පනය කරනා තරම් වේගයකින් වර්ධනය වී තිබේ.
ඉරානයෙන් ලැබෙන වාර්තාවලට අනුව ජූනි 15 වැනිදා වන විට මරණ දඬුවම ලබා දුන් මුළු පිරිස 243 ක් වන අතර එයින් 10 දෙනෙකු කාන්තාවෝ වූහ. 2023 වසරේ දී එරට මරණ දඬුවම් ලබා දීම් ප්‍රමාණය 584 සිට 834 දක්වා වර්ධනය වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් නිසා අඩුම තරමේ 471 දෙනෙකුට මරණ දඬුවම ලබා දී තිබේ. 2022 වසරේ දී මරණ දඬුවම ලබා දෙනු ලැබූ 256 සමග සැසඳීමේ දී මෙය 84% ක වර්ධනයකි. මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ කොමිසමේ වාර්තාවලට අනුව අගෝස්තු මාසයේ මුල් භාගයේ දින දෙකක් පමණක් ඇතුළත 29 දෙනෙකුට මරණ දඬුවම ලබා දී තිබේ. මේ තත්ත්වය ජාත්‍යන්තර මානව හිමිකම් ආචාර ධර්ම සහ සම්මතයන් අභිබවා යන බවට චෝදනා එල්ල වෙයි.
මෑතක දී ලබා දුන් මරණ දඬුවම්වල ඇති ගැටලුකාරී තත්ත්වය නම් එවැනි දඬුවමක් ක්‍රියාත්මක කිරීමේ දී අනුගමනය කළ යුතු පියවර නිසි පරිදි සිදුනොකර සිටීමය. බොහෝ අවස්ථාවන්වලදී සිදු කරන ලද නඩු විභාග සාධාරණ අන්දමින් පවත්වා නැති අතර පාපෝච්චාරණයන් සියල්ලම වාගේ ලබාගෙන ඇත්තේ වදහිංසා පැමිණවීම තුළිනි. උදාහරණයක ලෙස මජිද් පර්මාසි සහ මිකායෙල් ෂාහ්බාසිගේ සිදුවීම සඳහන් කළ හැකිය. ඔවුන්ට මරණ දඬුවම ලබා දී ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 6.2ක් සන්තකයේ ලබා ගැනීමේ වරදටය. මෙහිදී සැබවින්ම ඔවුන් සන්තකයේ ඒවා තිබුණේදැයි විධිමත් පරීක්ෂණයක් සිදු කොට නොමැති අතර වදහිංසා පමුණුවා එසේ පවසන්නැයි බලකොට ලබා ගත් පාපෝච්චාරණය මත පමණක් පදනම්ව මේ දඬුවම ලබා දී තිබේ. ඇතැම් පුද්ගලයන්ට මරණ දඬුවම ලබා දී ඇත්තේ ඔවුන්ගේ පවුල්වලට හෝ නීති සභාවට පවා නොදන්වාය.
මරණ දඬුවම වේගවත් කිරීම තුළ වැඩි බලපෑමකට ලක්ව සිටින්නේ කුර්දි, ආහ්වාසි අරාබිවරු සහ බාලුච් යන සුළුතර ජන කොට්ඨාශ බව වාර්තා වී තිබේ. මෙයට එරෙහි ක්‍රියාකාරී කණ්ඩායම් පවසන්නේ මරණ දඬුවම ලබා දීමේ දී ඔවුන්ව අසාධාරණ ලෙස ඉලක්ක වන බවත්, ඔවුන්ගේ නීතිමය හිමිකම කිසිදු අයුරකින් සලකා බැලීමක් සිදු නොවන ලබන බවත්ය. අනුගමනය කළ යුතු නියමිත විධිවිධානවලට එරෙහිව යාම නිසා මරණ දඬුවම ලබා දීම වහා නතර කළ යුතු යැයි ඉරානයේ මානව හිමිකම් මධ්‍යස්ථානය සහ අනෙකුත් නීති පාර්ශ්වයන් ඉල්ලා සිටිති.
මානව හිමිකම් සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් වෝකර් ටර්ක් දැනුම් දී ඇත්තේ ඉරානයේ මරණ දඬුවම් නවත්වා එය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට වහා පත් කළ යුතු බවය. 2024 අගෝස්තු 9 වැනිදා ඔහු විසින් කරන ලද නිවේදනයකින් කියැවුණේ මරණ දඬුවම අහෝසි කිරීමේ ගෝලීය ව්‍යාපාරයට ඉරානය වහා එක් විය යුතු බවය. අසාධාරණ නඩු විභාග සහ මරණ දඬුවම ලබා නොදිය යුතු තරමේ සුළු වරද සඳහා ද එය නියම කිරීම පිළිබඳව ඔහු සිය දැඩි කනස්සල්ල දක්වා තිබේ. ඉරාන රජය වහා ජාත්‍යන්තර මානව හිමිකම් වගවීම් සමග සමපාත විය යුතු බව ද ඔහු වැඩිදුරටත් සිය නිවේදනයෙහි දක්වා තිබේ.
වඩාත් යුක්ති සහගත අධිකරණ ක්‍රමයක් ප්‍රතිෂ්ඨාපනය කොට මරණ දඬුවම ලබා දීම අහෝසි කරන්නැයි ලෝක ප්‍රජාවගෙන් ද ඉරානයට දැඩි බලපෑම් එල්ලවෙමින් පවතී. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය සහ Human Rights Watch සංවිධානය මේ තත්ත්වය දැඩි සේ හෙලා දැක තිබේ.
අනෙක් වැදගත්ම කාරණය වන්නේ ඉරානය තුළ මරණ දඬුවම වර්ධනය වී ඇත්තේ එරට දේශපාලන මර්දනය ද වැඩි වෙමින් පවතින පසුබිමක් තුළ වීමය. එරට නව ජනාධිපතිවරයා පත් වෙද්දී වඩාත් සාධාරණ පාලනයක් ගෙන යන බවට පොරොන්දු වූව ද බොහෝ දෙනෙක් පැවසූ පරිදි ඔහු ද එරට අන්තවාදී ආගමික නායකත්වයට හිස නවමින් පාලනය ගෙන යන බව දැන් පැහැදිලිය. රට පුරා ඉහළ යන විරෝධතා සහ මහජන අතෘප්තිය හමුවේ රජය විරුද්ධ මත මර්දනය කරමින් සහ නිදහස කප්පාදු කරමින් සිටින බව පැහැදිලිය. අනෙක විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණය වන්නේ මෙසේ මරණ දඬුවම්වලට ලක් කෙරුණු අයගෙන් සෑහෙන කොටසක් අපරාධවලට සම්බන්ධ වූවන් පමණක්ම නොව විරෝධතා හෝ රාජ්‍ය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් දඬුවම් ලැබූ අය බවය. වධහිංසා පැමිණ වීම නිසා බොහෝ දෙනෙක් තමා මරණ දඬුවමක් ලබන්නට සුදුසු කුමක් හෝ වරදක් කළ බවට පාපෝච්චාරණය කරන බව පෙනෙන්නට තිබේ. මේ නිසා වර්ධනය වෙමින් පවතින ජනතා අසහනය යටපත් කිරීමේ ක්‍රමයක් ලෙස මරණ දඬුවම යොදාගෙන ඇති බව පැහැදිලිය. කුමන රටක වුව සිය මතය පමණක් නිවැරදි යැයි සිතන ඒකාධිපති මනසක් ඇති නායකයෙක් පත්වීම තුළින් අපේක්ෂා කළ හැක්කේ මෙවැනි පාලනයක් පමණක් බව දේශපාලන විචාරකයෝ පවසා සිටිති.
ඉරානය තුළ මරණ දඬුවමේ අනාගතය පිළිබඳ ඇත්තේ අනියත තත්ත්වයකි. ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටින ප්රතිශෝධන ක්‍රියාත්මක කරන්නට ඉරාන රජය කැමැත්තක් නොපෙන්වන බැවින් ජාත්‍යන්තරයෙන් ඉරානය මත එල්ල කෙරෙන බලපෑම් ද ඉදිරියේ දී තවත් වර්ධනය විය හැකිය.
නිරංජන් චාමින්ද කරුණාතිලක