ගෝලීය හෙරොයින් ජාවාරමේ ‘බිලි බෝයිස්’ලා

මුහුදු මාර්ගය ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සහ කළා යැයි කියන හෙරොයින් කිලෝ ග්‍රෑම් 290ක් ඉකුත් අගොස්තු 31 වැනිදා නාවික හමුදා නිලධාරින් විසින් මහ මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහි දළ වටිනාකම රුපියල් කෝටි 232ක් යැයි කියති. මෙම සිද්ධයට අදාළ පුවත්පත් වාර්ථා කියවා ගෙන යන විට සිද්ධියේ ප්‍රධාන සැකකරුවකු වන්නේ ‘හරක් කටා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි. මොහු දැනට වාසය කරන්නේ කොහේදැයි නිශ්චිතව පළ වී නැතත් මැදපෙරදිග රටක යැයි සැක කෙරේ.
ගෝලීය නීති විරෝධි ජාවාරම්වලින් එකක් වන්නේ මත්ද්‍රව්‍ය ජාවාරමයි. මිනිස් ජාවාරම, ත්‍රස්තවාදය, වහල් වෙළෙඳාම, අවයව වෙළෙඳාම සහ මුදල් විශුද්ධිකරණය අනෙකුත් ගෝලීය ජාවාරම් ය. ශ්‍රී ලංකාව තුළ දැනට නැත්තේ අවයව වෙළෙඳාම පමණකි. සෙසු ජාවාරම් අඩු වැඩි වශයෙන් සිදුවෙයි.
එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිලිබඳ කාර්්‍යංශයේ දැඩි අවධානයට මෙම ජාවාරම් ලක් වී තිබේ. මෙම ජාවාරම් අතරින් මුළු ලෝකයටම විවිධ අංශ හරහා අනතුරු එල්ල කරන මත්ද්‍රව්‍ය ජාවාරම මඬින්නට ලොව පුරා බලවත් ආණ්ඩු හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින සමයක ‘හරක් කටා’ වැනි අර්ධ නාගරික හා නූගත් දාමරිකයකුට ජාත්‍යන්තර හෙරොයින් ජාලය හා ඝෘජු සම්බන්ධකම් පවත්වා ශ්‍රී ලංකාවට හෙරොයින් ප්‍රවාහනය කළ හැකිදැයි යන ප්‍රශ්ණයක් පැන නගී.
මීට වසර හතළිහකට පමණ පෙර ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමට එරෙහිව ලොව පුරා බලවත් රටවල් යුද්ධ ප්‍රකාශ කළේය. වසර හතළිහක් ඉක්ම ගියත් මත්ද්‍රව්‍ය පරිභෝජනය ප්‍රමාණවත් ලෙස පාලනය කරන්නට කිසිදු රටකට හැකි වී නැත. ඒ තරමට ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම හා ඊට සම්බන්ධ කූප්‍රකට පුද්ගලයන් පස් දෙනෙක් බලවත් වී සිටිති.
මොවුන් විසින් ලෝකයේ මත්ද්‍රව්‍ය පරිභෝජනය කරන්නන් සඳහා බෙදා හරින හෙරොයින් ප්‍රමාණය වසරකට ටොන් 340ක් පමණ වේ. මීට අමතරව ගෝලීය හෙරොයින් වෙළෙඳ පොළට ගලා එන හෙරෙයින් ටොන් 450ක් පමණ ලොව රටවල පොලිසි ඇතුළු වෙනත් ආරක්ෂක අංශ විසින්  සෑම වසරකදීම අත්අඩංගුවට ගනු ලැබේ. අගොස්තු 31 වැනිදා බේරුවලට නුදුරු ඈත දියඹේදී අත්අඩංගුවට ගන්නා ලද්දේ එවැනි හෙරොයින් කොටසකි.
ලංකාවට රැගෙන එන ලදැයි කියන මෙම හෙරොයින් තොගය ශ්‍රී ලංකාවේ හෙරොයින් ලෝලීන්ගේ පරිභෝජනය සඳහා පමණක්ම යැයි විශ්වාස කළ නොහැක. මන්ද ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර හෙරොයින් ජාවාරමුන්ගේ ප්‍රධාන තිත්පොළක් බවට පත් වී තිබෙන බැවින් ය. මෙම අනාවරණය මා විසින් සිදුකරන ලද්දේ 2000 වසරේ දී පමණ ය. එදාටත් වඩා අද තත්ත්වය බොහෝ සංකීර්ණය. 1990 කාලයේ ශ්‍රී ලංකාවට හොරොයින් කිලෝ දෙක තුනක් රැගෙන මුහුදු මාර්ගය ඔස්සේ පැමිණියේ තෙප්පම් ය. නැතිනම් ඔරු ය.
නමුත් අද වනවිට හෙරොයින් තොග රැගෙන ශ්‍රී ලංකාව බලා ධාවනය වන්නේ ට්‍රෝලර් ය. මෙහිදි පොලිස් අත්අඩංගුවට පත් වන්නේ සුළු ප්‍රමාණයකි. ලොව පුරා රටවල පොලිස් අත්අඩංගුවට හෙරොයින් තොග පත් කිරීම ද ගෝලීය මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ එක් උපාය මාර්ගයකි. ඔවුන් වාර්ෂිකව උපයන ඩොලර් බිලියන ප්‍රමාණය මෙම වැටලීම්වලින් කිසිසේත්ම පහල නොවැටේ. දකුණතින් ඩොලර් මිලියනයක් මහ මුහුදට සේදී යද්දී වමතින් ඩොලර් බිලියන් සිය ගණනක් මහ මුහුද හරහා උපයා ගන්නට මොවුන් සමත් වෙති.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගෝලීය හෙරොයින් ජාවාරමුන්ගේ බෙදාහැරීමේ මධ්‍යස්ථාන බවට පත් වීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇෆ්ගනිස්ථානයි.  වාර්ෂිකව හෙරොයින් සහ මෝෆීන් ටොන් 380ක් පමණ නිපදවනු ලබන්නේ ඇෆ්ගනිස්ථානයයි. මෙම මත් ද්‍රව්‍ය තොගයෙන් වාර්ෂික වැටලීම්වල දී අසුවන්නේ ටොන් 05ක් වැනි සුළු ප්‍රමාණයකි.
ඉතිරි සියල්ල අසල්වැසි රටවලට ප්‍රවාහනය කරනු ලැබේ. එම රටවල් සෙසු රටවලට හෙරොයින් බෙදා හැරීමේ ශාඛා වශයෙන් පවත්වා ගෙන යනු ලබන්නේ ඒ, ඒ රටවල ප්‍රධාන පෙළේ දේශපාලන හා ව්‍යාපාරික සම්බන්ධතා ජාලයක් මගින් ය. මෙම තත්ත්වය ශ්‍රී ලංකාවට ද අදාළ ය.
ඇෆ්ගනිස්ථානය විසින් නිපදවන හෙරොයින් බොහෝ විට පකිස්තානය හරහා තුර්කිය, ග්‍රිසිය, බල්ගේරියාව හරහා ගිනිකොන දිග හා බටහිර යුරෝපීය වෙළඳපොළ දක්වා ගමන් කරන අතර එහි වාර්ෂික වෙළෙඳ වටිනාකම ඩොලර් බිලියන 20ක් පමණ වේ. උතුරු මාර්ගය ඔස්සේ රුසියානු වෙළෙඳපොළ දක්වා පැතිරී යන හෙරොයින් වෙළෙඳපොලේ වාර්ෂික ආදායම ඩොලර් බිලියන 13ක් පමණ වෙතැයි ගණන් බලා තිබේ.
ශ්‍රී ලංකාව මෙන්ම හෙරොයින් බෙදා හරින අනෙක් ආසන්නම ශාඛාව වන්නේ ඉන්දියාවයි. ඉන්දියාවේ මුහුදුබඩ මායිම්වල වාසය කරන දුප්පත් හා නිසි අධ්‍යාපනයක් නැති ඉන්දියානුවන් හෙරොයින් ජාවාරමුන්ගේ අත්උදව්කරුවන් බවට පත් වී සිටින බව තහවුරු වී තිබේ. ශ්‍රී ලංකාවට මුහුදුබඩ මාර්ගය ඔස්සේ හෙරොයින් රැගෙන එන්නට ට්‍රෝලර්වල නැගී ඈත දියඹට යන්නේ ද එවැනිම දුප්පත් හා නිසි අධ්‍යාපනයක් නොමැති මුහුදුබඩ මාර්ගයන් හී දිවි ගෙවන පුද්ගලයන් බව පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් අනුව පෙනී යයි. ඉකුත 31 වැනිදා අත්අඩංගුවට පත් වූවන්ද පොලිසියට පවසා ඇත්තේ රුපියල් ලක්ෂ 10ක් බැගින් ලබා දෙන පොරොන්දුවක් මත තමන් මෙම කටයුත්තට සම්බන්ධ වූ බවකි.
මේ අනුව පෙනී යන වැදගත් කරුණක් තිබේ. එනම් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් තොග සැබෑ ඒවා වශයෙන් සැලකිය හැකි වුවත් ඒවා ද සමග අත්අඩංගුවට පත්වන පුද්ගලයන් මෙම ජාවාරමේ සැබෑ කොටස්කරුවන් නොවන බවයි. එබැවින් කිසිම රටකට ජාත්‍යන්තර හෙරොයින් ජාවාරම මර්දනය කළ නොහැක.
ඒ, එම රටවල දේශපාලනික හා ව්‍යාපාරික ශක්තිය සමග ගෝලීය හෙරොයින් ජාවාරම දැඩි ලෙස වෙළී තිබෙන බැවින් ය. වෙලේ සුදා, කොස්ගොඩ තාරක, හරක් කටා යනු එම දේශපාලනික හා ව්‍යාපාරික ප්‍රජාව විසින් බිහි කරන ලද  ‘බිලි බෝයිස්’ලා මිස සැබෑ ජාවාරමුන් නොවේ.
අනුර හොරේෂස් බ්‍රිස්බෙන් සිට
එතෙර - මෙතෙර