චන්දන වික්‍රමරත්නගෙන් පසුව හිස් වන පොලිස්පති පුටුව මීළඟට කාටද ? – ප්‍රියන්ත ජයකොඩි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජන රජයේ 35 වන පොලිස්පති ධුරය හොබවන වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා එළඹෙන 2023 මාර්තු 26 වන දින ඔහු 60 වන වියට එළඹීමත් සමගම සේවයෙන් විශ්‍රාම ලැබීමට නියමිත ය.1984 වර්ෂයේ දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස රාජ්‍ය බුද්ධි සේවාවට එක් වූ වික්‍රමරත්න මහතා 2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් එවකටපොලිස්පති ධුරය දැරූ පූජිත ජයසුන්දර මහතා මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වරයා විසින් අනිවාර්යය නිවාඩු යැවීම කරුණු කොට හිස් වූ පොලිස් පති ධුරයට පත්වූයේ වැඩබලන පොලිස්පතිවරයා ලෙස ය. ඒ 2019 අප්‍රේල් මස 29 වන දින ය එදින සිට 2020 නොවැම්බර් 26 වන දින දක්වා පුරා මාස 19 ක් වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කළ චන්දන වික්‍රමරත්න මහතා 2020 නොවැම්බර් මස 27 වන දින පොලිස් පති දූරයට ධුරයට පත් කිරීම සිදු කරන ලද්දේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි. වැඩ බලන පොලිස්පති ධුරයේ කටයුතු කළ කාලයත් සමඟම වික්‍රමරත්න මහතා පොලිස්පති ධුරය හෙබවූ සම්පූර්ණ වකවානුව වසර තුනකුත් මාස 10 දින 21ක් ලෙස සැලකේ.

2021 අයවැය ලේඛන ඉදිරිපත් කළ අවස්ථාවේ එවකට මුදල් අමාත්‍ය ධූරය හෙබවූ බැසිල් රාජපක්ෂ මහතා රාජ්‍ය සේවයේ විශ්‍රාම ලැබීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කරන ලද නමුත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව බිඳ වැටීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රාජ්‍ය සේවය විශ්‍රාම වයස නැවත අවුරුදු 60 දක්වා රිවස් කිරීම කරුණු කොට 2028 මාර්තු 26 වන දින දක්වා තවත් පුරා වසර පහක් පොලිස්පති ධුරය හෙබවීමට වික්‍රමරත්න මහතා වෙත තිබූ අවකාශය ගිලිහී යාම සිදුවිය.ඒ අතර මෙම රිවස් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නොහොත් IMF යෝජනාවක් අනුව රාජ්‍ය සේවය කප්පාදු කිරීමේ සැලසුම් අදියරයක් ලෙස සිදු වූ බව තතු දන්නෝ පවසති.
දහනව වන ව්‍යවස්ථා සංශෝධනය මගින් පොලිස්පති ධුරය සහ නීතිපති ධූරයේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු හැටක් බවට පත්කළ අතර 20 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් එම තත්වය අවලංගු කර ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව අවශ්‍ය නම් වයස අවුරුදු 60 න් පසුව වුවත් මෙම තනතුරු වල නිලධාරීන් රඳවා තැබීමේ අවකාශය නැවත පිහිටුවනු ලැබීය. එහෙත්, පසුගිය ඔක්තෝම්බර් 20 වන දින කතානායකවරයා විසින් 21 වන ව්‍යවස්ථා සංශෝධනයට තම අත්සන යෙදීමත් සමගම එය නැවත බලාත්මක කිරීම හේතුවෙන් පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා අනිවාර්ය විශ්‍රාම වැටුප් වයස නැවත අවුරුදු හැටේ සීමාව දක්වා රැගෙන ඒම සිදුවීමත් පොලිස්පති ධූරයට පත් කිරීමේ වගකීම ද ජනාධිපතිවරයාගෙන් ඉවත් කර ව්‍යවස්ථා සභාව වෙත නැවත ලබා දීමත් සිදු වී ඇත.මේ වන විට ව්‍යවස්ථා සභාව පත් කර එහි කටයුතු ආරම්භ කර ඇති තත්වයක් යටතේ 36 වන පොලිස්පතිවරයා පත් කිරීමේ පූර්ණ වගකීම නව ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරෙන ප්‍රබලම කාර්යයක් වනු ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදුකරන ලද 17 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව පිහිටුවන ලද පලමු ව්‍යවස්ථාදායක සභාව විසින් මුලින්ම තෝරා ගනු ලැබූ පොලිස්පති වරයා බවට පත්වූයේ 28 වන පොලිස්පති වරයා ලෙස 2003,12,19 දින පත් වූ ඉන්ද්‍රා ද සිල්වා මහතා ය. මේ වකවානුව වන විට ව්‍යවස්ථාදායක සභාවේ වැඩි බලය අග්‍රාමාත්‍යවරයා වූ රනිල් වික්‍රමසිංහ මහතා නියෝජනය කළ එක්සත් ජාතික පක්ෂය සතුව පැවතියද විධායක බලතල පැවැතියේ එවකට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සතුව ය. ව්‍යවස්ථාදායක සභාවේ සභාපති ධුරය හිමිව තිබුණේ එවකට එක්සත් ජාතික පක්ෂ රජයේ කතානායකවරයා වූ ජෝශප් මයිකල් පෙරේරා මහතා වෙතය.28 වන පොලිස්පති ධුරය සඳහා අපේක්ෂකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව සිටි අතර මේ දෙදෙනා වූයේ එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස කටයුතු කළ ඉන්ද්‍ර ද ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරීක්ෂණ සහ පුනරීක්ෂණ ලෙස කටයුතු කළ චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ය. දෙදෙනාම සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙස එකම දින පොලිසියට බැඳී සේවය ආරම්භ කර සිටියද ජ්‍යෙෂ්ඨත්වය අනුව චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඉන්ද්‍ර ද සිල්වා මහතාට වඩා එක් ස්ථානයක ඉදිරියෙන් සිටියේය.

ව්‍යවස්ථාදායක සභාව විසින් මුල් අවස්ථාවේ පොලිස්පතිවරයා ලෙස චන්ද්‍රා ප්‍රනාන්දු මහතා තෝරාගෙන ඔහුගේ නම අනුමැතිය සඳහා ජනාධිපතිනිය වෙත යැවූ බව පැවසෙන අතර 1994 වර්ෂයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණ කාල සීමාව තුළ නැගෙනහිර පළාත තුළ සිදුකරන ලද මැතිවරණ අක්‍රමිකතා හේතුවෙන් එවකට නැගෙනහිර පළාත භාරව කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධව සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසම මගින් වරදකරුවකු කර තිබීමේ (පසුව මෙම තීන්දුවට එරෙහිව චන්ද්‍ර ප්‍රනාන්දු මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරන ලද මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ පෙත්සමක් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති කොමිසම විසින් ලබා දෙන ලද තීන්දුව ඇතුලත් නිර්දේශයන් බල රහිත කිරීමට කටයුතු කර තිබෙන ලදී) පදනම මත ජනාධිපති වරිය විසින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශය අනුමත නොකොට නැවත ව්‍යවස්ථාදායක සභාව වෙත හරවා යැවූ බව කියැවේ.

මේ සම්බන්ධව ව්‍යවස්ථාදායක සභාව විසින් දීර්ඝ සංවාදයකට එළැඹීමෙන් පසුව ව්‍යවස්ථාදායකය සහ විධායකය අතර මෙම ප්‍රශ්නය අරභයා අනවශ්‍යය ආරෝවක් ඇතිකර නො ගැනීමේ පදනම මත එකම ජ්‍යෙෂ්ඨත්වය හිමිව සිටි ඉන්ද්‍ර ද සිල්වා සහ චන්දා ප්‍රනාන්දු මහත්වරුන් අතරින් ඉන්ද්‍ර ද සිල්වා මහතා 28වන පොලිස්පති වරයා ලෙස පත් කිරීම සිදුකරන ලද බව සඳහන් වේ.2003 වර්ෂයේ දෙසැම්බර් 19 වන දින පොලිස්පතිවරයා ලෙස පත්වූ ඉන්ද්‍ර ද සිල්වා මහතා මාස 9 වැනි කෙටි කාලයක් පොලිස්පති පුටුව හොබවා 2004 සැප්තැම්බර් මස 30 දින වයස අවුරුදු 60 එළැඹීම හේතුවෙන් විශ්‍රාම ලැබූ අතර එදා මාස නවයකට පෙර පොලිස්පති පදවියට නුසුදුසු වූ චන්ද්‍රා ප්‍රනාන්දු මහතා 2004 ඔක්තෝම්බර් මස නම වන දින චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති වරිය විසින්ම ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ අනුව 29 වන පොලිස්පතිවරයා ලෙස පත් කිරීම සිදු කළ බව ද අප විසින් අමතක නොකළ යුතු කරුණකි. ඒ “කන්න හිතුන විට කබරගොයාත් තලගොයා කර ගැනීමේ” කුප්‍රකට න්‍යායට අනුවය.

2005 වර්ෂයේ බලයට පත්වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඉටුකළ ප්‍රමුඛතම කාර්යයක් වූයේ ජනාධිපති නීතිඥ රංජිත් අබේසූරිය මහතා ගේ සභාපතිත්වයෙන් පැවති ප්‍රථම පොලිස් කොමිසමේ නිල කාලය අවසන් වීම හේතුවෙන් ස්වාභාවික මරණයකට පත් වීමට ඉඩ හැර නව පොලිස් කොමිසමක් පත් නොකර සිටීම ය. මේ හේතුවෙන් පොලිස් කොමිසම සතුව පැවති සියළු බලතල ස්වයංක්‍රීයව පොලිස් දෙපාර්තමේන්තුව යටත්ව පැවති ආරක්ෂක අමාත්‍යාංශයේ එවකට ලේකම්වරයා ලෙස පත්ව සිටී සිය සොයුරු ගෝඨාභය රාජපක්ෂ අතට පත්කිරීම සිදුවිය. මේ හේතුවෙන් වසර 4ක් වැනි කාල පරිච්ඡේදයක් තුළ යම් තරමකට ස්වාධීන පැවති පොලිසියේ පරිපාලනය නැවත දේශපාලනඥයන් අතට පත් වීම සිදුවී ඇත.

2010 වර්ෂයේ සම්මත කරගන්නා ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය මගින් 17 වන ව්‍යවස්ථා සංශෝධනය බලරහිත කර නැවත රාජ්‍ය පාලනය පෙර තිබූ දූෂිත ක්‍රමයකට යොමු කිරීම මහින්ද රාජපක්ෂ විසින් සිදු කළ අතර, 2015 වර්ෂයේ සිදු වූ දේශපාලන බල පෙරළියත් සමඟ මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ යහපාලන රජය සිය මැතිවරණ පොරොන්දුවක් වූ ස්වාධීන කොමිෂන් සභා නැවත ස්ථාපිත කිරීමේ පදනම මත 19 ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීම හේතුවෙන් දෙවන ව්‍යවස්ථා සභාව එවකට කතානායකවරයා වූ කරු ජයසූරිය මහතාගේ සභාපතිත්වයෙන් නැවත පිහිටවනු ලැබීය.ඒ අනුව දෙවන ව්‍යවස්ථාදායක සභාව විසින් පත් කරන ලද දෙවන පොලිස්පති වරයා බවට පත්වූයේ 34 වන පොලිස්පති වරයා ලෙස 2016 අප්‍රියල් මස විසි වන දින පොලිස් පති ධුරයට පත් කරන ලද පූජිත ජයසුන්දර මහතාය. මෙම පොලිස්පති සටන සඳහා එවකට ප්‍රභූ ආරක්ෂක දිසාව භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම් වික්‍රමසිංහ මහතා සහ එවකට කොළඹ දිසාව භාරව කටයුතු කල පූජිත් ජයසුන්දර මහතා අතර ද්වන්ද සටනක් පැවතියද එකම දින සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිසියට එක්වුණු මෙම නිලධාරීන් දෙදෙනා අතරින් ජ්‍යෙෂ්ඨත්වය අනුව එස් එම් වික්‍රමසිංහ මහතා පූජිත ජයසුන්දර මහතාට වඩා එක් ස්ථානයක් ඉදිරියෙන් සිටිය ද ව්‍යවස්ථාදායක සභාව 34 වන පොලිස්පතිවරයා ලෙස පූජිත ජයසුන්දර මහතා තෝරා පත් කරගන්නා ලද බව සඳහන් කළ යුතු ය.

2019 වර්ෂයේ සිදු වූ දේශපාලන පෙරළියත් සමඟ මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරෙන් ඉවත් වී ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත් වීමත් සමඟම සුපුරුදු ව්‍යවස්ථා සෙල්ලම නැවත ආරම්භ වූ අතර අසීමිත පාර්ලිමේන්තු බලයක් අතැතිව සිටි ගෝඨාභය රජය කිසිදු හිරිකිතයකින් තොරව 20 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තුනෙන් දෙකකින් සම්මත කර ගැනීම හේතුවෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කර තිබූ සියලුම ස්වාධීන කොමිෂන් සභා අහෝසි කළ කර එම කොමිෂන් සභා හුදු කිසිදු බලයක් නොමැති තත්වයට පත් කිරීම සිදු කරන ලදී. මෙම විසි විසි වන සංශෝධනය අනුව ජාතික පොලිස් කොමිෂන් සභාව සතුව පැවති සියළු බලතල රාජ්‍ය සේවා කොමිෂම වෙත පවරනු ලැබූ අතර ජාතික පොලිස් කොමිසම පොලිස් නිලධාරීන්ට එරෙහිව මහජනතාව විසින් යොමු කරනු ලබන පැමිණිලි විභාග කිරීමේ ආයතනයක් බවට පත්කර නාමික කොමිසමක් බවට පත් කරන ලද බවත් එහි සභාපතිවරයා ලෙස හිටපු පොලිස්පතිවරයෙකු වූ චන්ද්‍ර ප්‍රනාන්දු මහතා පත් කරන ලද බවත් අප විසින් අමතක නොකළ යුතු කරුණකි.

17,18 ,19 ,20 සහ 21 වන ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධව සැළකීමේදී පාලකයන් මහජනතාවගේ අයිතිවාසිකම් ඇතුලත් මෙරට උත්තරීතර නීතිය ලෙස සැලකෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමඟ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන ආකාරය සැමට පසක් වනු ඇතැයි සිතමි. මෙම කරුණු සම්බන්ධව සැළකීමේදී වඩාත් ආශ්වාදජනක තත්ත්වය ලෙස සැලකෙන්නේ එකි`නෙකට පරස්පර මෙම ව්‍යවස්ථා සංශෝධන සියල්ලට අත් ඔසවා කැමැත්ත පළ කරන ලද මහජන නියෝජිතයන් පිරිසක් ද තවමත් ශ්‍රී ලංකාවේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ සිටීමය.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ වසර එකහමාරක් වූ කෙටි පාලන කාලය තුළ ගනු ගනු ලැබූ වැරදි ආර්ථික ක්‍රමෝපායන් හේතුවෙන් රට දැනට වැටී ඇති ආර්ථික බංකොලොත් භාවයට පත්වීම සහ කොරෝනා වසංගතය විසින් ඇති කරන ලද බලපෑම් මත රට අරාජිකත්වයට පත් වීම සිදු වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගාලු මුවදොර කේන්ද්‍රකොට පැන නැගුණු තරුණ අරගලය හේතුවෙන් ඇති වූ සමාජ පරිවර්තනයේ ප්‍රතිඵලයක් ලෙස 2022 ඔක්තෝම්බර් 20 වන දින සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 21 වන සංශෝධනය ඉදිරිපත් කර නැවත ව්‍යවස්ථාදායක සභාව සහ ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීමට බල කරන තත්වයක් මහජනතාව විසින් පාලකයන් හමුවේ ඇති කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන වනවිට පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායක සභාව ස්ථාපිත කර ඇති අතර එ ළඹෙන 2023 මාර්තු 26 වන දින විශ්‍රාම ලබන 35 වන පොලිස්පති වරයා වෙනුවට 36 වන පොලිස්පතිවරයා පත් කිරීමේ බලය නව ව්‍යවස්ථා දායක සභාව වෙත පැවරෙන ප්‍රබල වගකීමක් වනු ඇත.

මෙවර පොලිස්පති පුටුව සඳහා තරඟ වැදීමට මේ අනුව දැනට ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් 12 දෙනෙකු පෙළගැසී සිටී.ඔවුන් පොලිසියට බැඳුණු සහ වර්තමාන තනතුරට උසස් කරන ලද දිනයන් අනුව ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුපිළිවෙළින් පහත පරිදි වේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ලලිත් පතිනායක , දේශබන්දු තෙන්නකෝන්,ප්‍රියන්ත වීරසූරිය,සංජීව ධර්මරත්න,සජිව මැදවත්ත,කිත්සිරි ජයලත්,රන්මල් කොඩිතුවක්කු,එම්.ඩී.ආර්.එස් දමින්ද,අජිත් රෝහණ,කමල් සිල්වා සහ මහින්ද ගුණරත්න එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දොළොස් දෙනා ය. එහෙත් මෙතෙක් පොලිස්පතිවරයා තෝරා ගැනීම සඳහා ව්‍යවස්ථාදායක සභාව අනුගමනය කරන ලද ක්‍රමවේදය අනුව ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනා මේ සඳහා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට කැඳවීම මෙතෙක් අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගයයි.මේ අනුව දැනට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ ජ්‍යෙෂ්ඨත්වය අනුව ඉදිරියෙන්ම සිටින නිලධාරීන් තිදෙනා වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පරිපාලන ලෙස කටයුතු කරන නිලන්ත ජයවර්ධන මහතාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වයඹ පළාත ලෙස කටයුතු කරන ලලිත් පතිනායක මහතාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බස්නාහිර පළාත භාරව කටයුතු කරන දේශබන්දු තෙන්නකෝන් මහතාත් මෙම සටනට මුලින්ම ඉදිරිපත් වන නිලධාරීන් වේ.මෙම නිලධාරීන් තිදෙනා සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස එකම දින සේවයට බැඳුණු අය වන අතර එහෙත්, ජ්‍යෙෂ්ඨත්වය සකස් කිරීමේදී මුලින්ම නිලන්ත ජයවර්ධනත් දෙවනුව ලලිත් පතිනායකත් තෙවෙනුව දේශබන්දු තෙන්නකෝනුුත් මේ වන විට පොළිස්පති තරඟය සඳහා ඉදිරිපත් වීමට මුලින්ම සුදුසුකම් ලබා ඇති නිලධාරීන් ලෙස සැලකිය හැක.

2019 අප්‍රේල් මස 21 වන දින සිදු වූ පාස්කු ප්‍රහාරය සිදු වන විට රාජ්‍ය බුද්ධි සේවාව භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන වෙත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එම ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධව චෝදනා එල්ල වූ අතර පසුගියදා පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් විසින් තම මූලික අයිතිවාසිකම් කඩකිරීම් සම්බන්ධයෙන් චෝදනා කොට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව පවරන ලද මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමේ නඩුවක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු නිලධාරීන් පාස්කු වින්දිතයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව තීරණය කර ඔවුන්ට වන්දි ගෙවීමට තීරණය කළ අතර එම පිරිස අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන ද ඉදිරියෙන්ම සිටීම ඔහුට පොලිස්පති පුටුවට තරඟ කිරීමට පවතින ප්‍රධාන බාධාවක් ලෙස සැලකිය හැක.මීට අමතරව පාස්කු ප්‍රහාරය සිදු වන අවස්ථාවේ කොළඹ දිසාව භාර වැඩබලන නියෝජ්‍ය පොලිස්පති වරයා ලෙස කටයුතු කළ ලලිත් පතිනායක ටත් ඒ අවස්ථාවේ කොළඹ දිසාව භාරව කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන්ටත් පාස්කු ප්‍රහාරය අළලා රාජකාරිය පැහැරහැරීමේ චෝදනා එල්ල වූ අතර මෙම සිද්ධි අරභයා ඔවුන් දෙදෙනාටම චෝදනාව පත්‍ර නිකුත් කිරීමට කටයුතු කර ඇතත් පාස්කු ප්‍රහාරය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වූ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සම අවසන් වන තුරු එම චෝදනා පත්‍ර නිකුත් කිරීම අත්හිටුවා ඇත. එහෙත් දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු විභාගය අවසන් ව ඇති බැවින් එම නිලධාරීන් වෙත ඕනෑම අවස්ථාවක එම චෝදනා පත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් පවතින බව රාජ්‍ය සේවයේ විනය නීති සංග්‍රහය සම්බන්ධව මනා දැනුමක් ඇති පරිනත රාජ්‍ය සේවකයෙකු මෙම ලියුම්කරු සමඟ පවසන ලදී.

මේ වන විට පොලිස්පති තරඟය සඳහා ඉදිරිපත් වී සිටින ප්‍රබලම තරඟකරුවකු වන බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ද ප්‍රබල අභියෝග රාශියක් මත රාජකාරිය ඉටු කරන නිලධාරියෙකු ලෙස සැලකිය යුතු ය. 2021 ජූලි 9 වන දින සිදු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තනතුරෙන් පහ කිරීමට මුල්වූ ගෝල්පේස් අරගලකරුවන් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එහි තිබී සොයාගෙන කොටුව පොලිස් ස්ථානය වෙත බාර කරන ලද රුපියල් එක්කෝටි 78 ලක්ෂයක මුදලක් නීත්‍යානුකූලව අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීම සම්බන්ධව මේ වන විට දේශබන්දු තෙන්නකෝන් වෙත චෝදනා එල්ල වී ඇති අතර මේ සිද්ධිය සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති පෞද්ගලික නඩුවක වගඋත්තරකරුවකු ලෙස පෙනී සිටීමට මේ වන විට ඔහුට නොතීසි ද නිකුත් කර ඇත.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධව අධිකරණයේ නියෝග මත පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂකවරයා විසින් පවත්වන ලද විමර්ශන අවස්ථාවේ දී එම අධ්‍යක්ෂකවරයාට දුරකථනයෙන් තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධව ද දේශබන්දු තෙන්නකෝන්ට චෝදනා එල්ල වී ඇති අතර මෙම සිද්ධියට අමතරව 2021 මැයි 9 වන දින ගෝල්පේස් අරගල කරුවන්ට පහර දීමේ සිද්ධිය මුල්කොට ද එම ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධව ඒ අවස්ථාව වන විට එම ප්‍රදේශය භාරව කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා ලෙස තෙන්නකෝන් ට තවත් චෝදනාවක් එල්ල ව තිබෙන ලදී. මෙම සිද්ධිය හේතුවෙන් එදින රාත්‍රී කාලයේ පැනනැගුණු කලබලකාරී තත්වය මත තම දේපල විනාශ කිරීම සිදු වූ බවත් එම දේපොළ විනාශයට මුල් වූ ගෝල්පේස් සිද්ධිය වලක්වා නොගැනීම සම්බන්ධව වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ට එරෙහිව අපරාධ මය චෝදනා ගොනු කරන ලෙසත් ඉල්ලමින් මේ වන විට ප්‍රවාහන මහ මාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඇතුළු දේශපාලනඥයන් 19 දෙනෙකු විසින් අභියාචනාධිකරණය වෙත රිට් පෙත්සමක් ද ඉදිරිපත් කර ඇති බවත් එම පෙත්සමේ ද වගඋත්තරකරුවකු ලෙස දේශබන්දු තෙන්නකෝන් නම් කර ඇති බවත් සඳහන් වේ. මේ කරුණු සියල්ල මේ වන විට පොලිස්පති තනතුරට තරඟ කිරීමට ඔහුට එරෙහිව මතුව ඇති ප්‍රධාන බාධාවන් ලෙස සැලකිය හැක.

යම් හෙයකින් මෙම නිලධාරීන් තිදෙනාම හෝ අයකු ඔවුන්ට එරෙහිව පවතින චෝදනා හේතුකොට පොලිස්පති තනතුරට පත් කිරීමට නුසුදුස්සකු හෝ නුසුදුස්සන් බවට පත්වුවහොත් ජ්‍යෙෂ්ඨත්වය අනුව ඊට පහලින් සිටින නිලධාරීන් තිදෙනා වන දැනට මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියත් සබරගමුව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්නත් පොලිස් ප්‍රවර්ධන දිසාව භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කරන සජිව මැදවත්තත් යන නිලධාරීන් අතරින් එක් අයෙකු හෝ සියලුදෙනා ඒ සඳහා සුදුසුකම් ලබන නිලධාරීන් ලෙස සැලකිය හැක.1999 මාර්තු 05 වන දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරුන් ලෙස පොලිස් සේවයට එක් වූ මෙම නිලධාරීන් තිදෙනාගෙන් කිසිවෙකුට මේ වන විට කිසිදු බරපතළ ගණයේ විනය හෝ අපරාධමය චෝදනාවන් මෙතෙක් එල්ල වී නොතිබීම එම නිලධාරීන්ට පොලිස්පති පුටුව සඳහා තරග කිරීමට ලැබී ඇති අතිරේක සුදුසුකමක් ලෙස සැලකිය හැක.එබැවින් 2023 මාර්තු මස 26 වන දින හිස්වන 36 වන පොලිස්පති ධුරය සඳහා බොහෝ විට මෙම නිලධාරීන් තිදෙනා අතරින් යමකු පත්වීමේ අවස්ථාව ද අපට පහසුවෙන් බැහැර කළ හැකි කරුණක් නොවේ. එහෙත් 1956 වර්ෂයේ බලයට පැමිණි එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතා එවකට පොලිස්පති ධුරය හෙබවූ ඔස්මන් ද සිල්වා එම තනතුරේ සිටීම නොරිස්සීම හේතුවෙන් ඔහුට ඉල්ලා අස්වන ලෙස බලපෑම් කර බණ්ඩාරනායක මහතා සමග Eighty Club එකේ Bridge.ක්‍රීඩාවේ නියුතු ඔහුගේ සමීපතම මිතුරකු වන සිවිල් නිලධාරියෙකු වූ එම්.ඩබ්ලිව්.එෆ්. අබේකෝන් පොලිස්පති වරයා ලෙස පත් කරනු ලැබුවේ පොලිස් ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමිනි.යටත් විජිතවාදී පාලන සමයේ පටන් පැවති ස්වාධීන පොලිස් සේවාව දේශපාලනීකරණයට ලක්වීමේ ආරම්භය මෙම සිදුවීමත් සමඟම සිදු වූ බව බොහෝ විද්වතුන්ගේ මතයයි.එබැවින් පොලිස්පති ධූරයට යම් නිලධාරියෙකු පත් කිරීම අභියෝගයක්ව පවතින අවස්ථාවක ජනාධිපතිවරයාට එම තනතුර සඳහා පොලිස් සේවාවෙන් පිටත සිවිල් නිලධාරියකු පත් කිරීමේ ඉතිහාසයක් ද අප සතුව පවතින නමුත් එවැනි පරිවර්තනයක් සිදුකිරීමේ හැකියාව වර්තමානයේ බලගැන්වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා සතුව පවතීද යන්න ප්‍රශ්න ගත කරුණකි.

වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා 2023 මාර්තු මස 26 දින පොලිස්පති තනතුරෙන් විශ්‍රාම ලැබීම සිදු වන්නේ ඔහු එදිනට 60 වන වියට එළඹීම හේතුවෙනි. පොලිස්පති සහ නීතිපති ධූර දරන්නවුන් වයස අවුරුදු 60ට එළඹීමත් සමගම අනිවාර්ය විශ්‍රාම ලැබීම සිදු කළ යුතු බව 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිලිව සඳහන් ය. එහෙත් පසුගියදා බලගන්වන ලද විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනයේ මෙම කරුණු සම්බන්ධව කිසිවක් සඳහන් නො වේ.21 වන සංශෝධනය ඇති කර ඇත්තේ 19 වන සංශෝධනය තුළ අන්තර්ගතව තිබී 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලරහිත කරන ලද කරුණු නැවත ප්‍රතිස්ඨාපනය කිරීමක් බව සමහර නීති විශාරදයෝ අර්ථ දක්වති. එබැවින් 21 වන සංශෝධනය ඔවුන් සලකන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ දිගුවක් ලෙස ය. මෙම නීති තර්කය ක්‍රියාත්මක වුවහොත් එළඹෙන මාර්තු 25 වන දින වර්තමාන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා අනිවාර්යෙන් විශ්‍රාම ලැබීම සිදු කළ යුතු ය.එහෙත්, මේ සම්බන්ධව පුළුල් දැනුමක් ඇති නීති විශාරදයන් සමහරක් තර්ක කරන්නේ 21 වන ව්‍යවස්ථා සංශෝධනය තුළ පොලිස්පතිවරයා හෝ නීතිපතිවරයා වයස අවුරුදු 60 එළඹීමත් සමගම විශ්‍රාම ලැබිය යුතු බවට කිසිවක් සඳහන් ව නොමැති බැවින්.

ජනාධිපතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයට අවශ්‍ය නම් වර්තමාන පොලිස්පතිවරයාට සේවා දිගුවක් ලබා දීමේ හැකියාව ද ඇති බව ය මෙම තර්කය ද අපට පහසුවෙන් බැහැර කළ නොහැක්කකි.19 වන පොලිස්පති වරයා ලෙස 1988 අගෝස්තු මස පළමුවන දින පොලිස්පති වරයා ලෙස පත් කරනු ලැබූ අර්නස්ට් පෙරේරා මහතාට එවකට ජනාධිපති වරයා ලෙස කටයුතු කළ ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් වසරකට වැඩි කාලයක සේවා දිගුවක් ලබා දීමේ ඉතිහාසයක් ද අප සතුව පවතී.නව පොලිස්පති වරයා පත් කිරීමේ අවකාශය ව්‍යවස්ථාදායක සභාව වෙත ලැබෙන්නේ වර්තමාන පොලිස්පති වරයා සේවයෙන් විශ්‍රාම ලැබුවහොත් පමණි. එහෙත් යම් හෙයකින් ඉහතින් සඳහන් කරන ලද නෛතික තර්කය අනුව වර්තමාන පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් සේවා දිගුවක් ලබා දීම සිදු වුවහොත් පොලිස්පති තනතුර හිස් වීම සිදු නොවන බැවින් නව පොලිස්පතිවරයෙකු පත් කිරීමේ අවකාශය වර්තමාන ව්‍යවස්ථාදායක සභා වෙත නොලැබීමේ හැකියාවක් ද පවතී.මේ වකවානුවේ රට තුළ සිදු වන පාලන තන්ත්‍රයේ උඩු යටයටිකුරු වීම් ගැන සැලකීමේදී මෙවැනි තත්වයක් ඇති නොවනු ඇතැයි කිසිවකුට තර්ක කිරීමේ හැකියාවක් ද නොපවතී. මේ අනුව එළඹෙන සති කීපය තුළ මේ ප්‍රශ්නය රටට සුබවාදී ලෙස විසදීමේ පරම වගකීම කතානායක වරයා ප්‍රමුඛ ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරෙනු ඇත.ඒ අතර ඔවුන් එම ප්‍රශ්නයට අවතීර්ණ වීම රටේ නීතිය නීතියේ ආධිපත්‍යය සුරැකීමට මහඟු බලපෑමක් එල්ල කරන තත්වයක් බැවින් එම ක්‍රියාවලිය සම්බන්ධව මහජනතාව වන අප අප ඉතා උනන්දුවෙන් බලා සිටින බව අවසාන වශයෙන් සඳහන් කර සිටිමු.

ප්‍රියන්ත ජයකොඩි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

එතෙර - මෙතෙර