චිත්‍රපට රූගත කිරීමක් අතර අමිතාභ් බච්චන් අනතුරකට මුහුණ දෙයි

ඉන්දියාවේ සුපිරි නළු අමිතාභ් බච්චන් චිත්‍රපට රූගත කිරීමක් අතර අනතුරකට ලක් වීම නිසා රෝහල් ගත කිරීමට සිදුව තිබූ බව වාර්තා වේ. අමිතාභ්ගේ වයස මේ වනවිට අවුරුදු 80 ක් වුවත් තවමත් ඔහු ඉතා කාර්යබහුල නළුවෙකි. ඉහත කී අනතුරට ඔහු මුහුණ දී ඇත්තේ Project K නැමැති චිත්‍රපටයේ රූගත කිරීම් අතර ය.

මෙම චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවන්නේ දකුණු ඉන්දියාවේ තෙලඟානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් ප්‍රදේශයේ බව සඳහන් වේ. අමිතාබ් අනතුරට මුහුණ දී තිබුණේ ද එහිදී ය. උද්වේගකර ජවනිකාවක් රූගත කරමින් සිටිය දී සිදු වූ මෙම අනතුර නිසා ඔහුගේ ඉල ඇටවලට හානියක් සිදුව ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ. දැඩි වේදනාවෙන් පෙළෙන්නට පටන් ගත් ඔහු වහාම හයිද්‍රාබාද් හි රෝහලක් වෙත ගෙන යාමට චිත්‍රපට කණ්ඩායම පියවර ගෙන තිබිණි. ඔහු ඇතුළත් කර තිබුණේ හයිද්‍රාබාද් හි ඒ.අයි.ජී (AIG) රෝහලට ය. එහි දී වෛද්‍යවරුන් ඔහු පරීක්‍ෂා කර තිබූ අතර ස්කෑන් පරීක්‍ෂණ කිහිපයක් ද සිදු කර තිබිණි. ඔහුගේ ඉල ඇට ආශ්‍රිතව යම් හානියක් සිදුව ඇති බව අනාවරණය වී තිබුණේ එහිදී ය.

කෙසේ හෝ වේවා, අදාළ ප්‍රතිකාර ලබා දීමෙන් පසු අමිතාභ් නැවත මුම්බායි වෙත එවා තිබූ බවත්, මේ වනවිට ඔහුගේ සුප්‍රකට ජල්සා නැමැති නිවසේ ඔහු විවේක සුවයෙන් පසුවන බවත් සඳහන් වේ. රූගත කිරීම් අවලංගු කිරීමට ද චිත්‍රපට කණ්ඩායම පියවර ගෙන තිබිණි. තමා මුහුණ දුන් අනතුර ගැන අමිතාභ් ඔහුගේ බ්ලොග් පිටුවේ ද සටහනක් යොදා තිබේ.

‘හයිද්‍රාබාද් හි Project K චිත්‍රපටයේ රූප ගතකිරීම් සිදුකරමින් සිටිය දී මා අනතුරකට මුහුණ දුන්නා. ඉල ඇට කූඩුවේ දකුණු පැත්තේ කාටිලේජවලට සහ මාංශ පේශිවලට හානි සිදු වී තිබෙනවා. මේ නිසා රූගත කිරීම් අවලංගු කිරීමටත් සිදු වුණා. හයිද්‍රාබාද් හි AIG රෝහලේ දී වෛද්‍ය ප්‍රතිකාර ගැනීමෙන් පසු දැන් මා නිවසේ විවේක ගනිමින් සිටිනවා’ යයි ඔහු එහි සඳහන් කර ඇත. ‘ඉතාම වේදනාකාරී යි. එහා මෙහා සෙලවෙන විට සහ හුස්ම ගැනීමේ දී දැඩි වේදනාවක් දැනෙනවා’ යයි ද ඔහු තවදුරටත් පවසා තිබේ. ‘සාමාන්‍ය තත්ත්වයට පත් වෙන්න සති කිහිපයක් යනු ඇති බවයි වෛද්‍යවරුන් කියන්නේ. වේදනා නාශක ඖෂධ ද ලබා දී තිබෙනවා. අවශ්‍යම දේකට විනා වෙන කිසිවක් සඳහා එහා මෙහා යන්නේ නැහැ. ඇඳටම වෙලයි ඉන්නේ. සියලුම වැඩ අවලංගු කරන්නට සිදුව තිබෙනවා’ අමිතාභ් පවසයි.

සෑම ඉරිදා දිනකම උදෑසන තම නිවස ඉදිරිපිටට පැමිණ, එහි රැස්වන රසික රසිකාවියන්ට ආචාර කිරීම අමිතාභ්ගේ සිරිතකි. මෙය දශක ගණනක් තිස්සේ ඔහු අඛණ්ඩව කරගෙන එන කටයුත්තකි. නමුත් මේ ඉරිදා තමාට ඒ සඳහා සහභාගි වීමට හැකියාවක් නැති බව ඔහු කණගාටුවෙන් සඳහන් කර තිබිණි. ඒ නිසා ජල්සා නිවස අසළ රැස් නොවන ලෙස ඔහු රසික රසිකාවියන්ගෙන් ඉල්ලා තිබේ.

අමිතාභ් බච්චන් චිත්‍රපට රූගත කිරීමක් අතර අනතුරකට මුහුණ දුන් පළමු වතාව මෙය නොවේ. 1982 වසරේ සිදු වූ අනතුරක් හේතුවෙන් ඔහු මහත් අසාධ්‍ය තත්ත්වයට පත් වූ අතර මාස ගණනක් රෝහල්ගතව සිට සුවය ලැබුවේ ජීවිතයත් මරණයත් අතර සටනකින් පසුව ය. ඇතැම් අවස්ථාවල ඔහු මරණාසන්න තත්ත්වයට පත් ව තිබිණි. අමිතාභ් මෙම අනතුරට මුහුණ දුන්නේ ‘කූලි’ නැමැති චිත්‍රපටයේ රඟපාමින් සිටිය දී යි. එහි එක් සටන් ජවනිකාවක දී ඔහුට මේසයක් මතට ඇද වැටෙන්නටත්, පසුව එහි සිට බිමට වැටෙන්නටත් තිබූ බව සඳහන් වේ. අමිතාභ් මේසය වෙත පනිද්දී එහි කෙළවරක් ඔහුගේ උදරයේ ඇනී ප්ලීහාවට හානි සිදුව තිබූ අතර අභ්‍යන්තර ලේ ගැලීමක් ද සිදුව තිබිණි.

මාස ගණනක් ප්‍රතිකාර ලබා සුවය ලැබීමෙන් පසු ඔහු නැවත රූගත කිරීම්වලට සහභාගි වූයේය. මෙම සිද්ධිය නිසා චිත්‍රපටයේ අධ්‍යක්‍ෂවරයා වූ මන්මෝහන් දේසායි ‘කූලි’ සිනමාපටයේ අවසානය වෙනස් කිරීමට පවා පියවර ගත්තේය. මුලින් තිබූ තිරනාටකය අනුව අමිතාභ්ගේ චරිතය චිත්‍රපටය අවසානයේ මිය යාමට නියමිතව තිබුණත් පසුව එම අවසානය වෙනස් කර ඔහුට දිගටම ජීවත් වන්නට සලස්වා තිබිණි. සැබෑ ජීවිතයේ දී ඊට ටික දිනකට පෙර මරණය ජයගත් මිනිසෙකු තිරය මත මරා දැමීම සුදුසු නොවන බවක් දේසායි කල්පනා කර තිබූ බව පැවසේ.

මෙවර අමිතාභ් රඟපාමින් සිටි Project K චිත්‍රපටය ඉන්දියානු සිනමාව තුළ නිපදවෙන දැවැන්තම සිනමාපටයක් බව සඳහන් වේ. ඒ සඳහා ඉන්දියානු රුපියල් කෝටි 500 කට (ලංකා රුපියල් කෝටි 2000 කට) වැඩි වියදමක් දරන බව ද සඳහන් ය. Project K යනු රූගත කිරීමේ කාලය සඳහා පමණක් ඊට තාවකාලිකව දී ඇති නමක් පමණි. පසුව එම නම වෙනස් කිරීමට නියමිත ය. ‘බාහුබලී’ වැනි චිත්‍රපටවලින් අතිශයින් ජනප්‍රිය වූ ප්‍රභාස් ද, මේ දිනවල ‘පතාන්’ චිත්‍රපටය නිසා විශාල ප්‍රේක්‍ෂක ආකර්ශණයක් දිනා සිටින දීපිකා පාදුකෝන් ද මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපනය කරති.

මෙම සිනමාපටයේ කතා පුවත ගැන තවමත් වැඩි විස්තරයක් අනාවරණය වී නැත. නමුත් දැනට ලැබෙන ආරංචිවලින් පැවසෙන්නේ එය තුන්වැනි ලෝක යුද්ධයක් පිලිබඳ අනාගතවාදී කතාවක් රැගත් සිනමාපටයක් බවයි. එහි දැවැන්ත යුද්ධ ජවනිකා රැසක් ද ඇතුළත් වන බවත්, මෙවැනි ජවනිකා නිර්මාණය කිරීම පිලිබඳ විශේෂඥතාවක් දක්වන කණ්ඩායම් කිහිපයක්ම සිනමාපටයට සම්බන්ධව සිටින බවත් මාධ්‍ය වාර්තා කර තිබිණි. ප්‍රකට අධ්‍යක්‍ෂවරයකු වන නාග් අශ්වින් විසින් අධ්‍යක්‍ෂණය කරනු ලබන Project K තිරගත වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මාසයේ යි.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර