ජනතාවගේ යහපත වෙනුවෙන් පවතින පාලනයට එරෙහිව කටයුතු කරන්නෝ ජනතා වීරයන් බවට පත් වෙති.එහෙත් එවැන්නන්ගෙන් සමහරෙකු පසු කාලීනව දේවත්වයට පත් වන අවස්ථා ද තිබේ.ගම්පොළ රාජධානියේ ආරම්භක රජු ලෙස සැලකෙන සිව් වන බුවනෙකබාහු රජ සමයේ (ක්‍රි.ව. 1341-1351) සමයේ වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් කටුගම්පොළ ජීවත් වූ උඩුවේරිය නම් වංශාධිපතියා ද එවැන්නෙකි. සීතාවක පුරයේ සිට පැමිණ දඹදෙණි පුරයට නුදුරු කටුගම්පොළ පදිංචි වූ ඔහු අසාමාන්‍ය කායික සහ මානසික ශක්තියක් ඇත්තකු ලෙස එකල ප්‍රදේශය පුරා පැතිරුණි. ඒ වන විට අප රටේ රාජ්‍ය බලය අතිශයින් පිරිහී තිබූ අතර එවක රටේ ඉහල පැළැන්තියේ ප්‍රභූන් ලෙස සැලකූ සේනාධිලංකාර පරපුර සහ අලගක්කෝනාර පරපුර ද රටේ නොනිල පාලකයන් වශයෙන් කටයුතු කළහ. ඒ අතරේ ඔවුන් රජ අණට ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පළ කළ අතර මෙය සිව්වන බුවනෙකබාහු රජුට මහත් හිසරදයක් වූ බව පෙනේ. ඒ තත්ත්වය සමනය කිරීම පිණිස රජු විසින් ගනු ලැබූ එක් උපාය මාර්ගයක් වූයේ සේනාධිලංකාර පරපුරේ තරුණයකුට ප්‍රධාන ඇමැති පදවියක් ලබා දී තම නැගණියක් ද විවාහ කර දීම ය. පසුව රජු රට පාලනයට ඒ මස්සිනා ද එක්කර ගත්තේය.
පසුව කටුගම්පොළ රාල නමින් ජනාදරයට පත් උඩුවේරියේ නම් වංශාධිපතියාගේ බලය කෙමෙන් තරවන අතරේ ඔහු දමනය කර ගැනීමේ උපාය මාර්ගයක් වශයෙන් රජු තමන්ගේ තවත් නැගණියක් ඔහුට විවාහ කර දී තිබේ.
තමන් කොතරම් බලවතකු වුව ද සාමාන්‍ය ජනයා සමග එක්ව ජීවත් වෙමින් ඔවුන්ගේ සුවදුක් විමසා බැලූ කටුගම්පොළ රාල තමන් සිටි ප්‍රදේශය මුල් කොට අම්බලම් තැනූ බවත් පින්තාලි ස්ථාපිත කළ බවත් ජනප්රවාදයේ සඳහන් ය. ඔහුගේ නම ‘ප්‍රජා සත්කාර’ තමන්ගේ රාජ්‍යත්වයට එරෙහි අභියෝග බව වටහා ගත් රජතුමා විශාල මුදලක් සහ ශ්‍රමයක් යොදවා ඇම්බැක්කේ අම්බලම කරවූ බව පැවසෙයි. අදටත් ජාතියට හිමිව ඇති මනරම් ශිලා කර්මාන්තවලින් යුතු නටබුන්වලින් යුතු ඇම්බැක්කේ අම්බලම සාමාන්‍ය ජනතාව සඳහා නොව රාජකීයයන් උදෙසා තනන ලද්දක් බව ඇතැම් විචාරකයෝ කියති. මේ අතරේ කටුගම්පොළ රාල රජ වාසලට පඬුරු පාක්කුඩම් ගෙන යන්නවුන් වළකා ‘තොපිට ඒ රජාගෙන් කාරියක් නැතැයි’ පසුගන්වන බවට ද රජතුමා වෙත කරුණු වාර්තා විය.මෙම නොනිල බදු සහනය එවක ජනතාවට මහත් සහනයක් වූ බවට සැක නැත.
පසුව සිව්වන බුවනෙකබාහු රජතුමා සේනාධිලංකාර ඇමතියාගේ මෙහෙයවීමෙන් කටුගම්පොළ රාල ජීවග්රහයෙන් අල්ලා ගැනීමට යුද සෙනගක් පිටත් කළ ද ඔවුනට කටුගම්පොළ රාල සිටි ඉසව්වට ළංවීමටවත් නොහැකි විය. ඒ කටුගම්පොළ රාලට ජනතා සහයෝගය නොමඳවම හිමිවීම නිසාය. පසුව රජතුමා ඉතා රහසිගතව දඩ වැද්දන් මාලිගයට කැඳවා කටුගම්පොළ රාල මැරවීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ ද එය ද සාර්ථක වූයේ නැත.
ඒ වන විට රජතුමා තමන් මැරීමට විවිධ උපාය යොදමින් සිටින බව වටහා ගෙන සිටිය ද තමන් තුළ පැවැති මනා පෞරුෂය සහ ආත්ම විශ්වාසය මත කටුගම්පොළ රාල ඒ කිසිවකින් නොසැලී ජීවත් විය. අවසානයේ රජතුමා මන්ත්‍ර ශාස්ත්‍රය මගින් හෝ මෙම මිනීමැරුම කළ හැකි දැයි සොයා බලන විට මාබෝපිටියේ හිටිහාමි නැමැත්තෙක් ඒ සඳහා ඉදිරිපත් විය. ඒ වන විටත් කටුගම්පොළ රාල සතු බල පරාක්‍රමය පිළිබඳ දැන සිටි ඔහු රජතුමාට දන්වා ඇත්තේ මහා බලගතු මන්ත්‍රයකින් ජීවම් කළ විෂ හත් වර්ගයක් කැවූ හීතලයකින් විදීමෙන් පමණක් ඔහු ඝාතනය කළ හැකි බව ය. අවසානයේ රජු හිටිහාමි ඉල්ලා සිටි සියලු කරුණු සම්පූර්ණ කළ අතර එම මැතිරූ හීය සහ දුන්න කටුගම්පොළ රාල ඇතු පිටින් යන මඟ අද්දර ගස් දෙබලක සඟවා තිබූ හිටිහාමි සුදුසු අවස්ථාවක් බලා ඒ හීයෙන් විද කටුගම්පොළ රාල ඝාතනය කළේය.
මන්ත්‍ර බලය කෙසේ හෝ එම විෂ පෙවූ හී පහර වැදීමෙන් මරණයට පත් කටුගම්පොළ රාල දින හතකින් යක්ෂයකු වී යළි ඉපදුණු බව ජනශ්රැතියෙහි තිබේ. එහෙත් එවක සිටි සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා විසින් පිරිත් බලයෙන් දමනය කළ අතර මෙම යක්ෂයාට මහ මඟුල් කෝරලයට හෙවත් වන්නියට ගොස් එහි වැඩ වෙසෙන සිව් වරම් දෙවිවරුන් මුණ ගැසෙන ලෙස නියම කළ බව පැවසෙයි. එහි දී එම සිව්වරම් දෙවිවරුන් විසින් මෙම යක්ෂයා දේවත්වයට පත් කළ අතර ඔහුගේ අතට රන් අසිපතක් සහ පන්සියයක සෙනෙවිවරුන් පිරිසක් ද දී නැවත කටුගම්පොළට ගොස් එහි වැසියන්ට පිහිටාරක්ෂාව සැලසීමට වරම් දී තිබේ.
මේ අතරේ කටුගම්පොළ ජීවත් වූ මල් මුත්තා නම් සිල්වත් උපාසකයකු හිටිහැටියේ ආරූඪ වී කටුගම්පොළ රාල දැන් කඩුගත් බණ්ඩාර නමින් දේවත්වයට පත්ව ඇති බව ප්‍රදේශය පුරාම ප්‍රචාරය කොට ඇති තඅර ගම්මුන් එකතුව මෙම අලුත් දෙවියන් සඳහා දේවාලයක් ද තන දුන් බව ජනශ්රැතියේ එයි. ඉන් පසුව මෙම කඩුගත් බණ්ඩාර දෙවියන් සතර වරම් දෙවිවරුන් ලබා දුන් රන් කඩුවේ ආනුභාවයෙන් කටුගම්පොළ මුල් කොටගත් කැලෑගෙදර, කවුඩුමුන්න, වටපොතඇල, කන්තිමහර, වෑත්තෑව, ඇටඹේ, මතව, මහන්ගල්ල, උඩහෙළ, මොහොත්තව, යටත්තාවල ආදී ගම්මානවල වැසියන්ගේ හේන් කුඹුරුවලටත් ගව මහේෂාදීන්ටත්, අඹු දරුවන්ටත් පිහිටාරක්ෂාව සැලසූ බව ජනප්රවාදයේ එයි. එමෙන්ම කඩුගත් බණ්ඩාර දෙවියන්ගේ දේවත්වය රටට ප්‍රකාශ කළ මල් මුත්තා ගේ පරපුර පසුව එම දේවාලවල කපු ධුරයට පත් වූ බව ද කියනු ලැබේ. මෙම කඩුගත් බණ්ඩාර දේව ඇදහීම අද වන විට ශීඝ්‍ර පසුබෑමකට ලක් වුව ද මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සහ එච්.එම්.එන්. තුන්දෙනිය යන විද්වතුන් සම්පාදනය කළ සිංහල දේව පුරාණයේ එම පුරාවෘත්තය සැකෙවින් දක්වා තිබේ.
අපගේ නිරීක්ෂණවලට අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පොළ ආශ්‍රිතව පැරණි අම්බලම් සැලකිය යුතු ප්‍රමාණයක් තිබී ඇත. ඒවායින් බොහොමයක් අද මහ පොළොවට පස්ව ගොසිනි. එහෙත් එම අම්බලම් සහ ඒවා තැනූ ස්ථාන පිළිබඳව ශාස්ත්‍රීය විමසුමක් කරන්නෙකු හට මෙම කටුගම්පොළ රාල නම් ප්රභූවරයාගේ වරිගයේ ශේෂ මාත්‍රයක්වත් ඉස්මතු කර ගැනීමට හැකි වනු ඇත.
ඒ කෙසේ වුව ද රජුන් සමග හැප්පෙන්නට යාම මාරක උපද්‍රවයක් බව අනුමාන වශයෙන්ම කිව හැකි අතර ජනතාව උදෙසා අවංකව සේවයක් කිරීමෙන් ඒකාන්තයෙන් දේවත්වයට පත් විය හැකි බවට මෙම කඩුගත් බණ්ඩාර දේව පුරාවෘත්තය කදිම නිදසුනකි. තිලක් සේනාසිංහ