වර්තමාන සමාජය ආර්ථික වශයෙන් අතිශය අන්ත අසරණ තත්වයකට පත් ව ඇති බව රහසක් නොවේ.එවන් අවස්ථාවල බොහෝ දෙනකු කරනුයේ විවිධ පාර්ශවයන් දෙසට ඇඟිලි දිගු කොට ඔවුන් වෙතම වරද පැටවීම ය,එහෙත්,මෙම සකල විධ ගැටළු අර්බුද වලට හේතුව සමාජය තම පරිභෝජන දර්ශනය නිවැරදි ලෙස හඳුනා නොගැනීම මත ඇති වූ ඒවා බව පැහැදිලි ය.මෙහි දී සමාජය යනු පාලක-පාලිත දෙකොටසම අයත් වන සංයුතියකි.
නමුදු ත්‍රිපිකට ග්රන්ථ අනුසාරයෙන් ඉස්මතු කර ගත හැකි බෞද්ධ පරිභෝජන දර්ශනය තුළින් මෙම ගැටළු සඳහා තිරසාර විසඳුම් ලද හැක.එය ද පාලක- පාලිත දෙකොටසටම ගැලපෙන ලෙසින් බුදු දහම මඟින් ඉදිරිපත් කොට ඇති අන්දම අපූරු ය.යමකු උත්සාහයෙන් ධර්මානුකූලව සොයා සපයාගත් ධනය පරිභෝජනය කිරීමේ දී නුවණින් යුක්තව ක්‍රියා කළ යුතු බව මූලික බෞද්ධ ඉගැන්වීමකි.මෙය පුද්ගලයකු,පවුලක්,ප්‍රජාවක් සේම සමාජයක් කෙරෙහි එක සේ බලපාන නියාම ධර්මයකි.”ඒ මනුස්සයා දැන් හොඳටම වැටිලා ඉන්නේ,උන්ගේ පවුලටම යන එන මං නෑනෙ දැන්.
අපේ රට බලාගෙන ඉන්නකොට වැටෙනවනෙ මොකද හැබෑට මෙහෙම වුණේ? ආදී වශයෙන් වන ප්‍රකාශ දැන් අපට දස`තින් ඇසෙයි. යම් ධනයක් හෝ වස්තුවක් ඉපයීමට ගන්නා වෙහෙස, මහන්සිය එම ධනය වැය කිරීම සඳහා අවශ්‍ය නොවන බව බුදු දහමින් පැවසෙයි.බුදු දහමින් පැවසෙන අන්දමට විවිධ ක්ලේශ මූලයන් පදනම් ව එම ධනය නිරුත්සාහකවම විනාශයට පත්විය හැකිය.නො එසේ නම් සොරුන් විසින්,පාලකයන් විසින්,වන සතුන් විසින් ස්වාභාවික විපත් මඟින් හෝ දිගු කලක් ප්‍රයෝජනයට නොගැනීමෙන් එම ධනය විනාශ වී යා හැකි බව බුදු දහමින් පැවසෙයි. බුදුසමය ධනය ඉපැයීමට ධාර්මික පිළිවෙතක් දක්වන අතරම එය වැය කිරීම පිණිස ද ධර්මානුකූල පිළිවෙතක් හඳුන්වා දෙයි.නමුත් ඉතා අවාසනාවන්ත ලෙස මෙම කරුණු නූතනයේ ව්‍යාප්ත”ජනප්‍රිය බුද්ධාගමට”එක් කොට නැත.
මෙයට නූතන සංඝ සමාජය මුලුමනින්ම වග කිව යුතු වෙයි. සංයුත්ත නිකායේ රාසිය සූත්‍රය, අංගුත්තර නිකායේ කාමභෝගී සූත්‍රය හා පත්තකම්ම සූත්‍ර මඟින් මෙම බෞද්ධ පරිභෝජන දර්ශනය මනාව අවධාරණය කෙරේ.ඉන් පැවසෙන අන්දමට ධනය හෝ වෙනත් කවර වස්තුවක් වුව ද පරිහරණය කිරීමේ දී ඒ පිළිබඳව නිසි දැක්මක් අවබෝධයක් ඇති කරගත යුතු වේ.එසේ දැක්මකින් තොරව පරිභෝජනය කිරීමෙන් සිදුවන අනර්ථයන් පිළිබඳව බුදු දහමින් කරුණු ඉදිරිපත් කොට තිබේ.
මෙම දැක්ම කෙබඳුද? යන්න පැහැදිලි කිරීම සඳහා සංයුක්ත නිකායේ සලායතන වග්ගයේ රාසිය හා අංගුත්තර නිකායේ දසක නිපාතයේ කාමභෝගී යන සූත්‍ර දෙකෙහි මනා විග්‍රහයක් දැක්වෙයි. අගථිත, අමුච්ඡිත, අනජඣාපන්න, ආදිනව දස්සාවි, නිස්සරණපඤ්ඤ යනුවෙන් ඉදිරිපත් කෙරෙන එම ගාම්භීරතා පූර්වක දර්ශනය වටහා ගත් විට පැහැදිලි කර ගත් විට බෞද්ධ පරිභෝජන දර්ශනය යනු කුමක්දැයි පහසුවෙන් හඳුනාගත හැකි වේ
“ගථිත” යනු තමන් පරිහරණය කෙරෙන සකල් විධ සම්පත් කෙරෙහි දැඩි ලෙස ඇලීමයි. තමන් සන්තක දේට කෙරෙහි නිරතුරුවම දැඩිලෙස ඇලී ගැලී කටයුතු කරන පුද්ගලයා ඉබේටම එහි අගතියට යාම වලකාලිය නොහැක. මෙහි දී මිනිසා තුළ පවත්නා රස මසවුළු පිළිබඳ තෘෂ්ණාව වුව පාලනය කර ගැනීමට උපදෙස් දෙන බුදු දහම ගිහි පැවිදි දෙපක්ෂයම ආහාර පාන සම්බන්ධයෙන් පමණ දැන (භොජනෙ මත්තඤ්ඤුතා) පරිභෝජනය කළයුතු ය යන්න අවධාරණය කරයි.
මෙම නොවිධිමත් අධිපරිභෝජනය පාරිසරික සම්පත් විනාශ වීම කෙරෙහි ද හේතුවන බව ගෝලීය වශයෙන් පිළිගැනීමට ලක් ව තිබේ.බල ශක්ති උත්පාදනය සඳහා යොදා ගන්නා ඇතැම් ස්වාභාවික සම්පත් මිහිතලයෙන් අතුරුදහන් වෙමින් පවතී. මෙය අනාගත මිනිසාට මුහුණ දීමට සිදුවන දැවැන්ත අභියෝගයක් බව විද්‍යාඥයන් විසින් පෙන්වාදෙනු ලැබේ.නමුදු මෙම අවදානම පිටුදැකීම පිණිස වන තිරසාර ක්රමෝපායක් වන පුනර්ජනනීය බලශක්ති උත්පාදනය අප රටේ තාමත් විධිමත් ලෙස ක්‍රියාවට නැංවෙන බවක් නොපෙනෙයි. මේ අනුව ධනය හෝ වස්තුව පරිහරණය කිරීමේ දී දැඩි ඇලීමකින් හා දැඩි තෘෂ්ණාවෙන් තොරව පරිහරණය කිරීමේ පළමු ආකල්පය ‘අගථිත’(දැඩි ලෙස නොඇලීම) යනුවෙන් දැක්වේ.
අප සමාජයේ බොහෝ දෙනකු සම්පත් පරිභෝජනය කරනුයේ එහි සැබෑ අරමුණු දැන-හැඳින නොවේ. සම්පත් කෙරෙහි මුලා නොවී (අමුච්ඡිත) පරිහරණය කිරීම පරිභෝජනය දෙවන ආකල්පය ලෙස බුදු දහම දක්වා තිබේ.මින් අදහස් කෙරෙන්නේ සම්පත් පරිහරණයේ සැබෑ අරමුණු කවරේදැයි වටහාගෙන කටයුතු කිරීමයි. සම්පත් පරිහරණයේ දී පුද්ගලයෙකුට මූලික හා අනෙකුත් අවශ්‍යතා, වුවමනා සහ ආශාවන් පිළිබඳ මනා වැටහීමක් අවශ්‍ය වේ.
වර්තමානයේ අප රටේ මහා පරිමාන සංවර්ධන යෝජනා ක්‍රම මඟින් සිදුව ඇති මහා පරිමාන ධන විනාශය වුව මීට කදිම නිදසුනකි.පුද්ගල වශයෙන් වුව මේ පිළිබඳ අවබෝධයක් ඇති කර ගත් විට අධිපරිභෝජනය උදෙසා නිරන්තරයෙන්ම සමාජය කැස කවන බලපෑම් වලින් මෙන්ම තරගකාරීත්වයෙන් හා අනුකරණයෙන් මිදී තම ආදායමට සැබෑ අවශ්‍යතාවට හා සමාජ සංස්කෘතික වටිනාකම්වලට උචිත ලෙස සම්පත් පරිභෝජනය පිළිබඳ ජීවන දර්ශනයක් ගොඩ නඟා ගත හැකිවේ.එහෙත් වර්තමාන පාලක-පාලිත දෙකොටසම කරනුයේ.ඔවුන් අදටත් ක්‍රියාත්මක කරනුයේ බුද්ධ කාලීන භාරත සමාජයේ ජීවත් වූ අන්ත මතධාරී චාර්වාකගේ දර්ශනයේ එන “ණය වී හෝ ගිතෙල් කන්න” යන පරමාදර්ශයයි.
නූතන අධිපරිභෝජනවාදයේ තවත් දුර්දාන්ත තත්වයක් වනුයේ ඇබ්බැහියාවයි. ආහාර පාන හෝ වෙනත් දේකට අධික ලෙස ඇබ්බැහි වීමෙන් සිදුවන්නේ පුද්ගලයා සෞඛ්‍ය අතින් මෙන්ම ධනය අතින් ද පරිහානියට පත්වීමයි.අනජඣාපන්න යනුවෙන් මේ පිළිබඳව විස්තර කරන බුදු දහම තමන් පරිහරණය කෙරෙන දේ සම්බන්ධයෙන් ඇති කරගන්නා වූ දැඩි ඇබ්බැහි වීමෙන් තොරව කටයුතු කිරීමේ වැදගත්කම් පෙන්වා දෙයි. මෙහි ප්‍රතිවිරුද්ධ තත්ත්වය ඇබ්බැහි වීම යනුවෙන් හැඳින්වීම සුදුසු ය. කිසියම් දෙයකට ඇබ්බැහි වූ පුද්ගලයාට ඒ ඔස්සේම මනැස ක්‍රියාත්මක වීම් මුල් කොට පරාර්ථය තබා ස්වාර්ථය පිළිබඳව පවා අවබෝධයක් නොමැති කම මත විනාශ මුඛය කරාම යොමු වීම වැළක්විය නොහැක.එය වර්තමාන දේශපාලන කරළියේ ද මැනැවින් දක්නට ලැබෙන ත්ත්වයකි.
බෞද්ධ පරිභෝජන දර්ශනයේ සිව්වන අංගය වන ආදීනව දස්සාවි යනු පරිභෝජනය සම්බන්ධයෙන් ඇලීමෙන් (ගථිත) මුලාවට පත්වීමෙන් (මුච්ඡිත) ඇබ්බැහි වීමෙන් (අජඣාපන්න) සිදුවන අයහපත අවබෝධ කරගැනීමයි. මෙකී අවබෝධය ඇති පුද්ගලයා පරිභෝජනයේ නිවැරදි සීමාවන් හඳුනාගෙන ක්‍රියා කරයි. සෑම දෙයක් සම්බන්ධයෙන්ම ආශ්වාදයක් මෙන්ම ඒ හා බැඳුණු ආදීනවයක් ද තිබෙන බව බෞද්ධ පිළිගැනීමය. මෙනිසා පුද්ගලයා විවිධ දේ පරිහරණයෙන් සතුටු වන අතරම ඒවායෙන් ඇති කෙරෙන ආදීනව මඟින් ද දුකට පත්වේ. මෙම තත්ත්වය ඇතිවන්නේ අප පරිහරණය කරනු ලබන සියලුම ද්‍රව්‍ය මෙන්ම ඒවායින් ලැබෙන ආශ්වාදය ද වහා වෙනස් වන, අනිත්‍යතාව ස්වභාව කොට ඇති බැවිනි.
පුද්ගලයා හැම විටම අපේක්ෂා කරන්නේ එකම ආකාරයේ වෙනස් නොවන නිත්‍ය,සුඛ ආත්ම වශයෙන් ගත හැකි වින්දනයකි.එහෙත්, බුදු දහමින් පෙන්වා දී ඇති අනිත්‍ය,දුක්ඛ,අනාත්ම යන ලෝක ස්වභාවය තුළ අප කොතරම් උත්සාහ ගත්ත ද ඒ කිසිවක් අපගේ සන්තකයට ආධිපත්‍යයට යටත් කළ නොහැකිය. මෙසේ භෞතික වස්තූන් තුළ පවතින යථා ස්වභාවය වටහා ගැනීම ආදීනව දැකීම (ආදීනව දස්සාවි) යනුවෙන් හැඳින්වේ. ආදීනව වටහාගත් පුද්ගලයා තුළ සම්පත් පරිභෝජනයේ අරමුණ කුමක්දැයි නිසි අවබෝධයක් ඇතිවේ. එම අවබෝධය නිසා ඕනෑම අවස්ථාවක වුවද ඒවායින් ඉවත්වීමේ හැකියාව ඔහු සතුවේ. මෙම අවබෝධය ‘නිස්සරණ පඤ්ඤ’ යනුවෙන් දැක්වේ. එය පරිභෝජනය පිළිබඳ බෞද්ධ දර්ශනයේ අග්රතම අවස්ථාවයි.
මෙකී අවබෝධය සහිත පුද්ගලයා තමා පරිහරණය කරන කවර වස්තුවක් වුවද විනාශ නොකර ඒ කෙරෙහි හිතානුකම්පීව රොන් රස උරාගන්නා බඹරෙකු සේ ක්‍රියා කරයි. අනිත්‍යතාව හා ආදීනව වටහා ගැනීම යනු සම්පත් පරිහරණය කිරීමෙන් වැළකී සිටීම නොවේ.එය බුදු දහම සම්බන්ධයෙන් ඇතැම් නූතන පඬුවන් ඉදිරිපත් කොට ඇති බරපතල සාවද්‍ය මතයකි. එසේම එය ජීවිතය හා ලෝකය දෙස අශුභවාදීව බැලීමක් ද නොවේ.
ජීවිතයේ ලෝකයේ යථා ස්වභාවය අවබෝධකරගත් පුද්ගලයාට ලෝකයේ සුන්දරත්වය මැනවින් වින්දනය කළ හැකිය යන්න ථෙර ථෙරී භාව ගීත ඇතුළත් ථෙරීගාථා ථෙරගාථාවලින් පැහැදිලි වේ. මෙම භාවගීත වලින් නිර්වාණය පසක් කොට ගත් භික්ෂු භික්ෂුනීන් ලෝකය මායාත්මක තිමිර පටල වලින් අත් මිදී කවර ආකාරයෙන් යථාර්ථවාදීව වින්දනය කර තිබේද? යන්න මනාව පැහැදිලි වේ.
කදුරුපොකුණේ සුමංගල හිමි