ජනතා උද්ඝෝෂණ වෙනුවෙන් දිවි කැප කොට සටන් කළ උදාර සුනඛයෙක්

අප මේ පසු කරනුයේ ජන මතය කෙරෙහි කන් නොදෙන පාලක පිරිසකට එරෙහිව ජනතාව වීදි බසින යුගයකි. තම හිමිකම් සහ අයිතිවාසිකම් වෙනුවෙන් වීදි බැස උද්ඝෝෂණය කළ හැකි එකම සත්වයා ද මිනිසා පමණකි. මිනිසුන් මෙන් සතුන් කිසිදා තම හිමිකම් වෙනුවෙන් වීදි බැස උද්ඝෝෂණය කරනු අප අසා නැත. නමුත් මානව හිමිකම් වෙනුවෙන් වීදි බසින මිනිසුන්ගේ සටනට උරදෙමින් ඉමහත් කැපවීමක් කළ, මුල් පෙළේ වීදි සටන් ප්‍රමුඛයෙකු වූ උදාර සුනඛ වීරයකු පිළිබඳව සඳහන් කළ හොත් එම පුවතෙහි ඇත්තේ කිසියම් අපූර්වත්වයකි.

අධික රාජ්‍ය ණය බර පියවා ගැනීම පිණිස ග්‍රීක රජය ක්‍රියාත්මක කළ අසාධාරණ ආර්ථික ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF ) සිය රට මත පැනවූ විවිධ නියමයන්ට එරෙහිව 2010 මැයි මාසයේ දී එරට සාමාන්‍ය ජනතාව වීදි බසින්නට වූහ. මෙය වැඩි දිනක් ගතවන්නට පෙර මහා ජනතා රැල්ලක් බවට පත්විය.එය අද වන විට අප රටේ පැන නැඟී ඇති තත්වයට බෙහෙවින් සමාන ය. මේ ජන අරගලය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය ඔස්සේ පුවත් පළවෙද්දී බොහෝ ඡායාරූප හා වීඩියෝ දර්ශනවල මේ උද්ඝෝෂණ මධ්‍යයේ නිතර දක්නට නොලැබෙන අමුතු ආකාරයේ ‘සටන් කරුවකු’ ද සිටින බැව් පෙනෙන්නට තිබිණි.

වැඩි දවසක් ගතවන්නට මත්තෙන් ජාත්‍යන්තර මාධ්‍ය මෙම ජනතා නැඟී සිටීම පිළිබඳව පමණක් නොව උද්ඝෝෂකයන් මධ්‍යයේ සිටි මේ අමුත්තා හෙවත් සුනඛ සටන් කරුවා පිළිබඳව ද කතා බහ කරන්නට පටන් ගත්තේ ය. මේ සුනඛයා සාමාන්‍ය ජනතාවගේ අරගලය මර්දනයට පැමිණි පොලීසියට එරෙහිව දැඩිව සටන් වදිනු දක්නට හැකි විය.
සැබැවින්ම මේ සුනඛයා කවරෙක් ද?

ඔහු නමින් ලුකානිකොස් ( Loukanikos) ය. මේ සුනඛයා කුලවත් සුනඛ වංශිකයෙක් ද නොවේ. අප රටේ ව්‍යවහාරයට අනුව කිවහොත් නිකම්ම නිකම් “ගම් බල්ලෙකි”. උපතේ සිටම මධ්‍යම ඇතන්ස් නගරයේ වීදි අතර අයාලේ ඇවිදිමින් සිටි මේ සුනඛයාට අරගල කරුවන් තැබූ නම වූයේ නිකිෆොරොස් ය. ජයග්‍රහණය රැගෙන එන්නා යන්න එහි අරුත විය. තවත් පිරිසක් කැනෙලොස් නමින් ද ඔහු හඳුන්වන්නට වූහ. ඒ 2008 වසරේ දී මිය ගිය තවත් සුනඛ උද්ඝෝෂකයකු සිහිවනු පිණිස ය. නමුත් වඩාත් ප්‍රචලිත වූයේ මෙහි මුලින්ම සඳහන් කළ ලුකානිකොස් යන නම ය. ‘සොසේජස් කරල’ යන්න එහි අරුත විය. බොහෝ මාධ්‍ය වල ලුකානිකොස් පිළිබඳව සඳහන්ව තිබුණේ වැලි පැහැති සුනඛයා’ ලෙසිනි.

ඇතන්ස් නුවර පැවැති මහජන උද්ඝෝෂණ අතරතුර මිනිසුන් සමඟ පෙරමුණේ සිටි ලුකානිකොස් ජාත්‍යන්තර මාධ්‍යයේ නිතර වාර්තා වුණු චරිතයක් විය. පොලීසිය විසින් උද්ඝෝෂකයන් වෙත එල්ල කළ දරුණු ප්‍රහාර අතරවාරයන්හිදී පවා උද්ඝෝෂකයන් හැර නොයමින් මහත් ධෛර්යයයෙන් යුක්තව ඔහුන් හා කරට කර හිඳ සටන් කරන ලුකානිකොස් ගේ රුව ලෝකයාට දැක ගන්නට හැකි විය. සිය උද්ඝෝෂක සගයන් ගේ සැබෑ සතුරා වන පොලීසිය පැහැදිලිව හඳුනා ගෙන ඔවුනට එරෙහිව තර්ජනාත්මක විරෝධය පාන්නට ලුකානිකොස් කිසිදු විටෙක පසුබට වූයේ නැත. උද්ඝෝෂකයන් ද සිය සුනඛ සගයා පිළිබඳ නිරන්තර සැළකිල්ලක් දක්වනු පෙනෙන්නට තිබිණි. බී.බී.සී., සී.එන්.එන්., අල් ජසීරා සහ තවත් ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මාධ්‍යවල සුලබ මාතෘකාවක් වූයේ ලුකානිකොස් ය. ජාත්‍යන්තර ටයිම් සඟරාව 2011 වසරේ ලොව ප්‍රබලතම පුද්ගලයන් 100 දෙනා අතරට ලුකානිකොස්ව ද තෝරාගෙන තිබිණි. ලුකානිකොස් වෙනුවෙන් ෆේස්බුක් පිටුවක් ද (https://www.facebook.com/profile.php?id=100050522617985)තිබේ.

උද්ඝෝෂණ අතරතුරේ පොලීසියට එරෙහිව අරගල කරනවාට අමතරව ලුකානිකොස් කළ තවත් සුවිශේෂීතම මෙහෙවරක් විය. එනම් පොලීසිය විසින් උද්ඝෝෂකයන්ට එරෙහිව එල්ල කරනු ලබන කඳුළු ගෑස් බෝම්බ සිය මුවින් ඩැහැගෙන ගොස් ඔවුනට හානි නොවන සේ වෙනත් තැනකට දැමීමය. මේ නිසා ඔහු කඳුළු ගෑස් හා වෙනත් විෂ වායුවලට බෙහෙවින් නිරාවරණය වී තිබිණි. ඇතැම් උද්ඝෝෂණ අවස්ථාවලදී ලුකානිකොස් ගේ දෑස් ජලයෙන් පොඟවා සෝදා දමන්නට ද උද්ඝෝෂකයන් ක්‍රියා කරනු දක්නට හැකි විය.

කාලයක් තිස්සේ මෙසේ කඳුළු ගෑස් වලට නිරාවරණය වීම හා පොලීසියෙන් එල්ල වූ දරුණු පා පහරවල් නිසා ලුකානිකොස් නිතර අසනීප විය. කෙසේ මුත් ඔහු 2012 වසර දක්වාම අඛණ්ඩව විවිධ උද්ඝෝෂණ සඳහා සක්‍රීයව දායක වනු දක්නට ලැබිණ. නමුත් ලුකානිකොස්ගේ අසනීප තත්වය පිළිබඳ සළකා බැලූ ලුකානිකොස්ට ආදරය කරන්නෝ ඌ එක් පවුලක රැකවරණයට පත්කරන්නට අදහස් කළහ. මේ අයුරින් ඔහු නම හෙළි කරන්නට අකැමැති පවුලක සාමාජිකයන්ගේ රැකවරණයෙහි ජීවත් වන්නට පටන් ගත්තේ ය.

සාමාන්‍යයෙන් සුනඛයකු වසර පහළොවක් පමණ ජීවත් වුව ද ලුකානිකොස්ගේ දුර්වල සෞඛ්‍ය තත්වය නිසා ඔහුට එතරම් කාලයක් මිනිසුන් අතර රැඳී සිටින්නට වරම් ලැබුණේ නැත. 2014 ඔක්තෝබර් 9 වැනිදා සිය අවසන් සමයේ ස්වාමියාගේ උකුළෙහිම ලුකානිකොස් අවසන් හුස්ම හෙළු බැව් ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය විණි. ඒ වන විට ලුකානිකොස් දස හැවිරිදි වියෙහි පසුවිය.මේ පුවතින් ඉමහත් සංවේගයට පත් ලුකානිකොස්ට ආදරය කළ දහස් ගණනක් දෙනා සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිය ශෝකය ලියා තබන්නට උත්සුක වූහ.

ලුකානිකොස් වීර සුනඛයාගේ සිරුර ග්‍රීසියේ ඇතන්ස් හි කඳු ගැටයක් මත සුවිසල් ගසක සෙවණේ නිසසල බිමක මිහිදන් කරනු ලැබිණි.”නුඹේ සිරුර මිහි ගැබ තුළ දිරනු ඇත නමුදු නුඹේ මෙහෙවර අපේ හදවත් තුළ නොදිරනු ඇත”සමහරු ලුකානිකොස් වෙනුවෙන් එසේ ලියා තැබූහ.ලුකානිකොස් උද්ඝෝෂණය කළේ තමාට කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒ වසර දහස් ගණනක් තිස්සේ මිනිසා හා සුනඛයා අතර පවතින ශූද්ධ වූ මිත්‍රත්වයේ නාමයෙනි.

මිනිසුන් අතරෙහි වූ සිය මිතුරන් හා සතුරන් හඳුනා ගන්නට ලුකානිකොස්ට අපූරු ඉවක් තිබිණි. අතීතයේ ද මිනිසුන් වෙනුවෙන් මෙවැනි කැප කිරීම් කළ උදාර සුනඛයෝ සිටියහ. අනාගතයේ ද බිහිවනු ඇත. එසේ බිහිවන සුනඛයන් අතර ගම්බද පෙළපතට අයත් සාමාන්‍ය සුනඛයෝ ද ඕනෑ තරම් සිටිය හැක. ඒ කෙසේ හෝ ලොව දියුණු මිනිසුන් සත්ව අයිතීන් වෙනුවෙන් කතා කරන්නට පෙළඹෙන යුගයක මානව අයිතීන් වෙනුවෙන් උදාර මෙහෙවරක් කොට තම දිවිය ද කැප කළ ලුකානිකොස් පිළිබඳ මතකය මිනිස් හදවත් තුළ සදානුස්මරණීය වනු නිසැක ය.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර