ජනතා විරෝධය මැද සමරා ඉතිහාස ගත වන නිදහස් උළෙලක්

අද, එනම් 2023 පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සමරු දිනය යි. 1948 වසරේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස හිමි වූ දිනයේ සිටම නිදහස් සමරු උත්සව ඉමහත් අභිමානයෙන් සමරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් අප්‍රසාදාත්මක ලෙස කතා කළ කිසිවකු සිටියේ නම්, ඒ නොසැලකිය යුතු තරම් පිරිසක් පමණි. කෙසේ වෙතත් 75 වැනි නිදහස් සමරුව මෙතෙක් පසු කළ සෑම සමරුවකටම වඩා වෙනස් ය. ඒ ශ්‍රී ලංකාව, ඉතිහාසයේ මෙතෙක් මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයේ කිඳී ගොස් ඇති අවස්ථාවක මිලියන 200 ක අතිමහත් ධනස්කන්දයක් වැයකරමින් මේ උත්සවය පවත්වන්නට රජය තීරණය කළ නිසාය. මේ සම්බන්ධව පාර්ශ්ව ගණනාවකගේ විරෝධය ප්‍රසිද්ධියේ කරළියට පැමිණිය ද රජයේ ස්ථාවරයේ වෙනසක් වූයේ නැත. ඩී. එස්. සේනානායක පිළිරුවට මල්මාලා පළඳවන්නට සහ ජාතික ගීය ගැයීම සඳහා වෙන්කොට ඇති මුදල ජනපතිවරයා විසින් ප්‍රකාශ කරනු ලැබීමත් සමග මේ විරෝධතාව තවත් තීව්‍ර විය. මේ නිසාම මෙවර නිදහස් සමරුව පිළිබඳ පෙර වසරවල දී ජනතාව තුළ පැවති තරම් ප්‍රබෝධයක් දකින්නට ලැබුණේ නැත.

නිදහස් උළෙලට ඇති විරෝධයේ පසුබිම

පසුගිය 2022 වසරේ මුල් භාගයේ සිට කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකාව ආර්ථික අගාධයකට ඇදවැටෙන්නට පටන් ගෙන තිබිණි. අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟබව, භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම, දෛනික විදුලි කප්පාදුව, ඉන්ධන හිඟය, ගෑස් හිඟය වැනි ගැටලු පැන නගින්නට පටන් ගැනීමත් සමග ජනතාව අතර කෙමෙන් නොසන්සුන්බවක් වර්ධනය වන්නට පටන් ගැනුණි. පසුගිය වසරේ සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය 94% ක් ද, ආර්ථික උද්ධමනය 64% ක් ද විය. මෙය 2023 ජනවාරි මාසය වෙද්දී පිළිවෙලින් 54.2% සහ 60.1% දක්වා අඩු විය. ණය ආපසු ගෙවීම සම්බන්ධයෙන් ද රජය අතිමහත් අර්බුදයකට පත්ව සිටියේය. පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාව ණය ආපසු ගෙවීම අත්හැර දැමුවේය. රජය මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලැබෙන තෙක් ඇඟිලි ගනිමින් සිටියි.

රජය මිලියන 200 ක මුදලක් නිදහස් සමරුව වෙනුවෙන් වැය කරන්නේ මෙවැනි දරුණු ආර්ථික අර්බුදයක් මැද ය. මේ තරම් ධනස්කන්ධක් වැුය කරමින් නිදහස් උළෙලක් පැවැත්වීමෙන් වැළකී, එය සංකේතාතාමකව අවම පිරිවැයකින් සමරන්නැයි විවිධ පාර්ශ්ව මගින් කළ ඉල්ලීම ඉවත ලූ ජනපති රනිල් වික්‍රමසිංහ පවසා සිටියේ නිදහස් උළෙල නොපවත්වා සිටියහොත් ලෝකයා හමුවේ ශ්‍රී ලංකාව හෑල්ලූ වී යනු ඇතැයි වැනි අපූරු කතාවකි.

ශ්‍රී ලංකා මහ බැංකවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වූ ඩබ්ලිව්. ඒ. විජේවර්ධන නිදහස් උළෙල පැවැත්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටියේ ශ්‍රී ලංකාව මෙවැනි අවස්ථාවක දී ටැන්සානියාවෙන් පාඩම් උගත යුතු බව ය. එරට ජනපතිනිය වූ සාමියා සුලුහු හසාන් පසුගිය වසරේ දී සිය රටේ 61 වැනි නිදහස් උළෙල පැවැත්වීම අවලංගු කොට ඒ ධනස්කන්ධය විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් රට පුරා පාසල් ඉදි කරන්නට තීරණය කළාය. මේ උත්සවය සඳහා ඔවුන් වෙන්කොට තිබූ මුදල ඇමරිකානු ඩොලර් 445,000 (රු. මිලියන 162 කි) කි. ඔවුන් සිය නිදහස් උළෙල අවලංගු කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ. 2015 වසරේ දී ද එවකට සිටි ජනාධිපති ජෝන් මගුෆුලි ද නිදහස් උළෙල අවලංගු කළේ ය. එහි දී එම මුදල සිය වාණිජ අගනගරය වූ ඩාර් එස් සලාම් හි මාර්ග ඉදිකරන්නට වෙන් කළේය. 2020 වසරේ දී ද නිදහස් උළෙල අවලංගු කළ එරට රජය එම මුදල වෛද්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වෙන් කළේය.

ශ්‍රී ලංකාවේ නිදහස් සමරුව වෙනුවෙන් මේ සා ධනස්කන්ධයක් වැයකිරීම මෙවැනි දරුණු ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක දී නොකළ යුත්තක් බව පෙන්වු දුන් විවිධ පාර්ශ්ව පෙන්වා දුන්නේ එම මුදල් ජනතාවගේ සුබසිද්ධිය සඳහා වෙන්කිරීම වඩාත් සුදුසු බවය. වෛද්‍ය උපකරණ හිඟය, ඖෂධ හිඟය, මන්දපෝෂණය සහ දරිද්‍රතාව ශ්‍රී ලංකාවේ සෑම පාර්ශ්වයකටම දරුණු ලෙස පහර දෙමින් පවතී. මේ උළෙලට එරෙහිව විවිධ සංවිධාන නිදහස් උළෙල දා විවිධ විරෝධතාවන් ද සංවිධානය කර තිබිණි.

කෙසේ නමුත් රජයට ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැතිවා සේ නිදහස් උළෙල සමරන්නට කටයුතු කළේය.
ජනතාවට කිසිදු නිදහසක් නොමැති වටපිටාවක, ජනතා විරෝධය මැද පවත්වනු ලැබූ නිදහස් උළෙලක් ලෙස මෙය ඉතිහාස ගතවනු නිසැකය.

– නිරංජන් චාමින්ද කරුණාතිලක

එතෙර - මෙතෙර