ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට පසුගිය ජූලි 09 දා රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් පසු අතුරුදන් වූ බුද්ධ ප්‍රතිමාවක් සහ පොත් පත් යම් ප්‍රමාණයක් තමන් සතුව ඇති බව පවසමින් පසුගිය දා ජනාධිපති කාර්යාලයේ පොදු දුරකථන අංකයකට කිසිවකු දුරකථන ඇමතුමක් ලබා දී තිබේ. ඔහු පවසා ඇත්තේ එම භාණ්ඩ නැවත භාරදීමට තමන් අපේක්‍ෂා කරන මුත් තම අනන්‍යතාව හෙළි කිරීමට බියෙන් පසුවන බවකි.පසුව ජනාධිපති කාර්යාල නිලධාරීන් විසින් මෙම ඇමතුම මුල් කොට වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ. මෙම දුරකථන ඇමතුම නව මාදිලියේ ප්‍රවෘත්තියක් මැවීම පිණිස කිසියම් පුද්ගලයකු හෝ පාර්ශවයක් විසින් දෙනු ලැබූ අසත්‍ය ප්‍රකාශයක් පදනම් කරගත් එකක් විය හැක. නොඑසේ නම් කිසියම් පුද්ගලයකු හෝ පාර්ශවයක් යම් දේශපාලන අරමුණක් මුදුන්පත් කරගැනීම පිණිස දරන උත්සාහයක ඇරඹුමක් හෝ කොටසක් ද විය හැක.
නමුදු මේ සම්බන්ධයෙන් සිතා බැලිය යුතු තවත් මානයක් ද තිබේ. එනම් ආධ්‍යාත්මිකත්වය සහ ගුප්ත සංකල්ප පදනම් කර ගත් යම් යම් ද්‍රව්‍ය පැහැර ගැනීමෙන් සහ අයුතු ලෙස තමන් භාරයේ තබා ගැනීමෙන් තමන් වෙත ගුප්ත බලපෑම් පදනම් කර ගත් විපත් උවදුරු පැමිණෙන බවට තවමත් අප සමාජයේ පවතින විශ්වාසයයි.
දැනට කරුණු අනාවරණය වී ඇති අන්දමට ජනාධිපතිවරයා ගේ පෞද්ගලික නිවසේ බුද්ධ ප්‍රතිමා ඇතුළු කෞතුක භාණ්ඩ එකතුවක් තිබී ඇත. මෙම ගිනි තැබීමෙන් පසු ඒවායින් බොහොමයක් අතුරුදන්ව තිබේ. ඒ භාණ්ඩ වලට යම් පවුල් සහ පරම්පරා ඉතිහාසයක් ද ඇති බව පැවසෙයි. එවැනි බුද්ධ හෝ දේව ප්‍රතිමාවලට කෞතුක වටිනාකමට අමතර යම් ගුප්ත අගයක්, වටිනාකමක් ද ඇති බවට අප සමාජයේ බොහෝ දෙනෙක් විශ්වාස කරති.මෙම දුරකථන ඇමතුම පසුබිමේ ද එවැනි විශ්වාසයක් තිබිය හැක.
රාම රාවණා යුද්ධය ඇති වූ බවට ජනප්‍රවාද වල සඳහන් බලංගොඩ දෙතනගල කඳුවැටි ආශ්‍රිත ගම්මානවල මීට දශක කිහිපයකට පෙර ජනශ්‍රැති අධ්‍යයනයක් කළ මට ඒවායේ පැරණි ගැමියන් ගෙන් අතිශය රසවත් කතා ප්‍රවෘත්තීන් රැසක් අසා දැන ගත හැකි විය. උඩුකුරුව වැතිරී හිඳින කාන්තාවක ගේ පියයුරු යුවලක් සේ දුරට පෙනෙන දෙතනගල කඳුවැටිය පාමුල පිහිටි රත්මලවින්න ගම්මානයේ පාරම්පරික ගැමියන් මා හා කියා සිටියේ අතීතයේ එම ප්‍රදේශයේ රාම රාවණා යුද්ධය සිදු වූ බවට තවමත් ඒ ප්‍රදේශයේ බිම වැළලී තිබී හමුවන පැරණි හීතල වලින් ම නිසැක සාක්ෂි සැපයෙන බවකි.
එහෙත්, ඒ හීතලයක් පරීක්ෂා කර බැලීමට අවස්ථාවක් ලබා ගත නොහැකි දැයි මම ඔවුන්ගෙන් අවස්ථා ගණනාවක දීම අසා සිටියෙමි. නමුදු ඔවුන් වැඩිම දෙනෙකුගෙන් ලැබුණු පොදු පිළිතුරක් වූයේ ඒවා නිවෙස්වල තබා ගැනීමෙන් ඒ නිවැසියන්ට නොයෙකුත් අතුරු අන්තරාවන් සිදුවන බැවින් හැකිතාක් ඉක්මනින් ඒවා ඒ ප්‍රදේශයේ පිහිටි විහාරයකට දේවාලයකට භාර දීමට හෝ ඒ ගම ආශ්‍රිතව ඇති පැරණි වනස්පතියක් පාමුල ඇති සංහිඳක තැන්පත් කිරීමට පැරණි ගැමියන් පසුබට නොවූ බව ය.එහෙත්,එම හීතල සබරගමුවේ විසූ අතීත මානවයන් භාවිතා කළ ලෝහමය වස්තූන් බව මගේ අනුමානයයි.ඒ රාම රාවණා යුද්ධය යනු මානව විද්‍යාත්මක සංසිද්ධියක් පදනම් කර ගත් රාමායන නම් භාරතීය වීර කාව්‍යයේ එන පුරාවෘත්තයක් මිස සත්‍ය සිදුවීමක් නොවන බැවිනි.
රත්මලවින්නේ ගැමියාගේ ප්‍රකාශයන් සමඟ මගේ සිතට පිවිසියේ ලක් ඉතිහාසය සම්බන්ධ වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට සමත් වූ පනාකඩුව තඹ සන්නස පිළිබඳ මෙම කතා ප්‍රවෘත්තියයි.
පනාකඩුව තඹ සන්නස යනු ශ්‍රී ලංකාවේ, මාතර දිස්ත්‍රික්කයේ, මොරවක් කෝරලේ, පනාකඩුව ගම්මානයෙන් හමු වූ පැරණි අභිලේඛනයකි.,
. පළමු වන විජයබාහු රජු (ක්‍රි.ව.1055-1110) විසින් ප්‍රකාශයට පත් කරන ලද විශේෂ ප්‍රදානයක් පිළිබඳ ස්තුති පූර්වක ප්‍රකාශයක් මෙම තඹ සන්නසෙහි සටහන් ව තිබේ.චෝල ආක්‍රමණය අතර තුර පළමු වන විජයබාහු රජු ළමා අවදියේ සැඟවී සිටියදී රජුට, ඔහුගේ පියාට සහ රාජකීය පවුලේ සෙසු සාමාජිකයින්ට ලබා දුන් ආරක්ෂාවටහා චෝල ආක්‍රමණ හමුවේ සටන් කිරීමට දුන් ධෛර්යට හා ශක්තියට කලගුණ සැලකීම සඳහා සිත්නාරුබිම් හි අධිපති බුදල්නා හෙවත් බුද්ධ රාජ නාග වන, රුහුණෙහි දණ්ඩනායක ජන ප්‍රධානියා වෙත මෙම ප්‍රදානය ලබා දී ඇත.
1948 වසරේ පෙබරවාරි මාසයේ එක් හිමිදිරියක මාතර දිස්ත්‍රික්කයට අයත් වත්මන් පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බටහිර පනාකඩුව ග්‍රාම නිලධාරි වසමේ විසූ සූරවීරගේ කරෝලිස් අප්පුහාමි ගොවි මහතා බෝගහදෙණිය නම් සිය කුඹුරට වතුර හැරවීමේ යෙදී සිටියේ ය.නමුත් ඒ අතරේ තම උදැල්ල ගොහොරු මඩේ තිබූ යම් ඝන දෙයක ගැටෙනු ඔහුට දැනුණි.පස් ඉවත් කර බැලූ ඔහුට හමුවූයේ ලෝහමය තහඩු පත්‍ර තුනකි. එම ප්‍රදේශයේ පැරණි රජ වරුන් පිළිබඳ ප්‍රවාද ද කොතෙකුත් ඇති නිසා ඒවා රන් පත් ඉරු යැයි අප්පුහාමිට සිතිණ.නමුත් නිවසට පැමිණ තහඩු කොටස් පිරිසිදු කළ පසු ඒවා නොදන්නා අකුරු වලින් ලියූ ලෝහ පත් තුනක් බව අප්පුහාමිට වැටහිණ.ඒ අනුව එම ලෝහය රත්තරන් යැයි සැක කළ ඔහු, එය පරීක්ෂා කිරීම සඳහා එක් පත්‍රයක කුඩා කොනක් කැපීය.එවිට ඒවා තඹ පත්‍ර බව වටහා ගත් අප්පුහාමිගේ බලාපොරොත්තු සුන් විය. එබැවි තඹ පත්‍ර නිවසේ පසෙකට දැමූ අප්පුහාමි නැවතත් සුපුරුදු පරිදි ගොවිතැන් කටයුතු වල නිරත විය.
කලක් ගත වද්දී තම නිවසේ කරදර වැඩි වන බවක් අප්පුහාමිට වැටහුණු අතර එසේ වන්නේ තම නිවසේ ඇති තඹ පත්‍ර වල ගුප්ත දෝෂ ත්ත්වයක් නිසා නිසා බවත් ඒවා අමනුෂ්‍යයන් කැඳවන පැරණි මන්ත්‍ර විය හැකි බවත් සිතූ අප්පුහාමි ඒවා බෙංගමුව චේතිය කන්දරාරාමයේ විහාරාධිපතිව වැඩ විසූ මොලොක්ගමුවේ සරණපාල හිමියන්ට ලබා දුන්නේය.අවසානයේ තඹ පත්‍ර ත්‍රිත්වය එවක පුරාවිද්‍යා කොමසාරිස්වරයා වූ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් අතට පත් වූ අතර,එතුමන් මෙය කියවා බලා එය පළමු වන විජයබාහු රජුගේ තඹ සන්නසක් බව දැන ගැනීමෙන් මහත් විස්මයට පත් විය පසුව අප්පුහාමි මහතා සොයා ගිය පරණවිතානයන් එය හමු වූ ආකාරය සැක හැර දැනගෙන ලක් ඉතිහාසයට නව පුනරුදයක් එක් කළ මෙම සොයාගැනීම වෙනුවෙන් අප්පුහාමිට තෑගි වශයෙන් මුදලින් රුපියල් පන්සියයක මුදලක් ද පිරිනැමීය.අද කාලයේ හැටියට එය රුපියල් ලක්ෂ ගණනක වටිනා කමකින් යුතු මුදලකි.
පළමුවන විජයබාහු රජතුමා තමන් ඉතා කටුක ලෙස ගෙවූ තම කුඩා කාලය පිළිබඬ්හ් කතා පුවත සහ තමන් ඇතුළු තම ඥාතීන්ට සොළීන්ගෙන් සැඟවී ආරක්ෂා වීමට උපකාර කළ රුහුණු ප්‍රදේශයේ සිත්නාරුබිම බුදල්නා ජන ප්‍රධානියා පිළිබඳව ලියා ඇති මෙය එක්තරා අන්දමක තුති පතක්( Thanks card) ද වෙයි.
මෙහි පලමු පේලි තුනෙන් එවක සන්නස් ලිවීමේ සම්ප්‍රදායට අනුව විජයබාහු රජුව වර්ණනනා කර තිබේ. මෙය පනාකඩුව ප්‍රදේශයෙන් හමු වූ නිසා මේ නම යෙදි තිබේ. ක්‍රි.ව.12 වන සියවසේ ඉතිහාසය ඉගෙනීමට ප්‍රයෝජනවත් වන මෙම තඹ සන්නස වැදගත් වන්නේ එය ශ්‍රී ලාංකික රජෙකු විසින් පළමු වරට කරන ලද තඹ සන්නස් ප්‍රදානය ලෙස සැලකෙන බැවිනි. මෙම සන්නස දැනට කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබේ.
“ඕක ආගමික සංස්කෘතික පදනමක් එක්ක බැඳුණු දෙයක්. උතුරු නැගෙනහිර බෞද්ධ පුරා විද්‍යා උරුමයන්ට දෙමළ හින්දු මිනිසුන්ගෙන් හානි වුණාය කියලා කතාවක් පහුගිය කාලේ අපේ රටේ කතාවක් පැතිරුණා. නමුත් මානව විද්‍යාත්මකව ඒක කීයටවත් පිළිගන්න බැහැ.” ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කෞතුක හා පුරා විද්‍යාඥයකු වන ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ සූරීහු එසේ කියති. ජාතික කෞතුකාගාර සහ කැළණිය විශ්ව විද්‍යාලයීය පුරා විද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ වරයකු වන ඔහු ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාඥයන් ගේ සභාවේ සමාරම්භක ලේකම් වරයා ද වේ.
“ප්‍රතිමා වන්දනාව කියන එක බෞද්ධ වගේම හින්දු භක්තිකයන් ගේ ආධ්‍යාත්මය තුළම තියන සාම්ප්‍රදායික උරුමයක්. ඒ හින්දා ඒ මිනිස්සු තුළ ප්‍රතිමා වගේ ආගමික පුරා විද්‍යාත්මක සහ කෞතුක වස්තු, ස්මාරක ගැන ස්වභාවික භක්තියක් ඇල්මක් තියනවා. නමුත් ප්‍රතිමා වන්දනාව ප්‍රතික්‍ෂේප කරන සමහර ආගම් වලින් බිහිවුණු මූලධර්මවාදී අන්තවාදීන් ගෙන් නම් මේ වගේ දේවල් වෙන්න පුළුවන්. 2001 අවුරුද්දේ ඇෆ්ගනිස්ථානයේ බාමියන් බුද්ධ ප්‍රතිමා විනාශ කළෙත් ඒ වගේ ආගමික අන්තවාදින් පිරිසක් වුණු තලේබාන් සංවිධාන පිරිස් නේ”.ආචාර්ය ලක්දුසිංහ සූරීහු එසේ ද කියති.
ඒ කෙසේ වුවත් අප ජන සමාජය තුළ පාරම්පරික ජන විඥානය තුළ මුල්බැසගත් මෙබඳු ගුප්ත විශ්වාසයන් මුල් කොට අප රටේ ඇති පුරා සහ කෞතුක වස්තූන් ගෙන් කොටසකට හෝ ආරක්ෂාවක් සැළසෙන්නේ නම් එය සාධනීය කරුණක් වශයෙන් සැළකිය හැක. එනිසාම එවන් වස්තූන් සොරකම් පැහැර ගැනීම් සහ විනාශයන් කළවුන්ට සහ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයන්ට අත් වූ විනාශයන් සම්බන්ධයෙන් සමාජය පුරා පැතිර ඇති ප්‍රවාදයන් එක්වරම පිටු දැකීම ද එතරම් යෝග්‍ය නොවතැයි වරෙක මට සිතෙයි.
තිලක් සේනාසිංහ