ජනාධිපතිවරයාගේ රාජාසන කතාව පිළිබඳව දින තුනක විවාදයක් ලබාදීමට කතානායකවරයා එකඟ නොවීම මත ඒ සම්බන්ධයෙන් දිගටම විරෝධය පළ කරන බව විපක්ෂයේ පක්ෂ නායකයෝ අද (11)පැවැති පක්ෂ නායක රැස්වීමේදී කීහ..නව වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය විවෘත කරමින් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභා ගර්භයේදී ලබන 18 වැනිදා සිදුකිරීමට නියමිත රාජාසන කතාව සම්බන්ධයෙන් ලබන 19 වැනිදා සහ 20 වෙනිදා පස්වරුවේ වරුව බැගින් වරු දෙකක දෙකක විවාදයක් ලබා දිය හැකි බව කතානායකවරයා මෙහිදී දැනුම් දුන් නමුත් මෙහිදී අදහස් දැක්වූ විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇතුළු විපක්ෂයේ නායකයන් ප්රකාශ කළේ කල්තැබීමේ විවාදය සඳහා එම වරු දෙකක කාලය කෙසේවත් ප්රමාණවත් නැති බවයි.එබැවින් සම්පූර්ණ දින තුනක් හෝ දින දෙකක් එම විවාදය සඳහා ලබා දෙන්නැයි ද ඔවුහු ඉල්ලා සිටියහ. එහෙත්, සභානායක දිනේෂ් ගුණවර්ධන සහ ආණ්ඩු පක්ෂයේ ප්රධාන සංවිධායක ජොන්ස්ටන් ප්රනාන්දු යන මහත්වරු විපක්ෂයේ එම ඉල්ලීමට එකඟ නොවූහ.ගොවීන්ගේ පොහොර ප්රශ්නය ඇතුළු ප්රශ්න හතළිහක් පනහක් පමණ ගොඩ ගැසී ඇති අවස්ථාවක ඒවා ගැන කතා කිරීමට විපක්ෂය ඉල්ලූ දින තුනක විවාදය ලබා දීමට වෙනුවට වරු දෙකක විවාදයක් ලබාදීම කෙසේවත් අනුමත නොකරන බව විපක්ෂයේ පක්ෂ නායකයෝ පවසති.මේ අතර පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරක්(18,19,20 සහ 21) රැස්වීමටද පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර ඇත.