ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය පළමු නිල සංචාරය සඳහා අද(15) ඉන්දියාව බලා පිටත් වේ. එහිදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් තුනක් අත්සන් කිරීමට නියමිතය. එම ගිවිසුම්වලට අමතරව ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් ණය මුදල් දෙකක් ප්‍රදානයන් (Grant) බවට හැරවීමට ද ඉන්දීය රජය එකඟවී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරයි. එම ගිවිසුම්වලට ද ජනාධිපතිවරයා අත්සන් කිරීමට නියමිතය. එම ණය මුදල් අතර උතුරු දුම්රිය මාර්ගයේ සංඥා පද්ධතිය සඳහා ලබාගත් ණය මුදල ද ඇතුළත් බව එම ආරංචිමාර්ග පෙන්වා දෙයි. එමෙන්ම සාම්පූර් ප්‍රදේශයේ ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත සූර්ය විදුලි ව්‍යාපෘතියට රජයේ එකඟතාවය පළකර ඇත.එහෙත් ඉන්දු – ලංකා තෙල් නළ ව්‍යාපෘතිය සහ ජාතික පශු සම්පත් මණ්ඩලයට අයත් ගොවිපළ හෝ මිල්කෝ ආයතනය ඉන්දියාවට ලබාදීමට රජය එකඟ වී නොමැත. ජනාධිපතිවරයා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ වාණිජ සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා දිල්ලියේදී ව්‍යාපාරික වැඩසටහනකට ද සහභාගී වනු ඇත. එසේම, එම සංචාරයේ කොටසක් ලෙස බුද්ධ ගයාවට ද සංචාරය කරනු ඇත.මෙම සංචාරය සඳහා ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් සහ කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත යන මහත්වරුන් ද සහභාගි වනු ඇත.