ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක දී කුරුන්දි විහාරයට අයත් පුරාවිද්‍යා ඉඩම් ගැටලුවක් මතු වීම පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් අසුන හිස් කිරීමට තරම් ප්‍රබල කරුණක් වී ඇත. ජනාධිපතිවරයාගේ රැස්වීමේ දී කුරුන්දි විහාරයට වෙන්කර ඇති පුරාවිද්‍යා රක්ෂිතය අක්කර දෙසිය ගණනකින් වැඩිකිරීමට ගන්නා උත්සාහයට විරෝධය පෑවේ උතුරු පලාතේ මන්ත්‍රීවරයෙකි. ඇත්ත වශයෙන්ම ඔහු මතු කළේ විරෝධයකට වඩා මැසිවිල්ලකි. පුරාවිද්‍යා රක්ෂිතය අක්කර දෙසිය ගණනකින් වැඩි කිරීමේ ලිපියේ සංශෝධනයක් කර දෙන බවට පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් වරයා පැවසුවත් එය ඉටු නොකළ බව ඔහුගේ මැසිවිල්ල විය. පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් ගේ පිළිතුර වූයේ තමන් නිකුත් කළ ලිපියක් ඉවත් කළ නොහැකි බව ය.එහි දී ජනාධිපති වරයා ප්‍රකාශ කළේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි කටයුතු කරන ලෙසට ය. තවත් මණ්ත්රීවරයෙක් ශතවර්ෂ ගණනක් මිනිසුන් වගා කළ ඉඩම් රක්ෂිත බවට පත් කිරීම ගැන පැවසූ විට ජනාධිපතිවරයා කුරුන්දි විහාරයේ රක්ෂිතයේ ප්‍රමාණය හා එහි අවශ්‍යතාව ගැන විමසීය.මේ සාකච්ඡාවේ අපට පෙනුණු කොටසේ වුවද වැදගත් කරුණු ගණනාවක් ගැබ්ව තිබියදී ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය ඉස්මතු කරන්නේ ජනාධිපතිවරයා පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ට පැවසූ “මහා විහාරයටත් වැඩිය කුරුන්දි විහාරය ලොකුද?” යන්න හා ඉතිහාසය ඉගැන්වීමට අදාල කතාව ය.
මගේ නිරීක්ෂණයට අනුව නම් කිව හැක්කේ ජනාධිපතිවරයා ඉතා වැදගත් කරුණු කීපයක් මෙහිදී අවධාරණය කළ බව ය.
කුරුන්දි විහාර භූමිය 1931පමණ සිට පුරා විද්‍යා රක්ෂිතයක් බව දැනගන්නට ඇත.උතුරේ හා නැගෙනහිර ද තවත් පුරාවිද්‍යා රක්ෂිත පවතී. මේ පුරාවිද්‍යා රක්ෂිත පිළිබඳව ගැටලුවක් උතුරේ හෝ නැගෙනහිර ජනතාවට 2009 යුද්ධය අවසන් වනතුරුත් තිබුණේ නැත එල්ටීටීඊ සංවිධානය බලහත්කාරයෙන් වන්නි ප්‍රදේශ හා නැගෙනහිර සමහර ප්‍රදේශ සිය පාලනයේ තබාගත්ත ද පුරා වස්තුවලට හානියක් කළ බවක් දැන ගන්නටද නැත. 2009 යුද ජයග්රහණයෙන් පසුව මේ ඇතැම් වැදගත් පුරාවිද්‍යා භූමි ආශ්‍රිතව බෞද්ධ විහාරස්ථන ආරම්භ කිරීමත් සමඟ ප්‍රදේශවාසීන්ට මේ පුරා විද්‍යා භූමි ගැටළු බවට පත්වූ බව පෙනේ.එසේම දකුණේ සිංහල ජනතාවගේ යම් යම් පිරිස් ද උතුරේ සිංහලයාගේ අයිතිය පිළිබඳ සාක්කි ලෙස පෙන්නන්නට පටන් ගත්තේ මේ පුරාවිද්‍යා භූමීන් ය.විශේෂයෙන් දකුණේ භික්ෂූන් වහන්සේලා මේ .පුරාවිද්‍යාත්මක භූමි බෞද්ධ හා සිංහල උරුමයන් බවට ද පුන පුනා ප්‍රකාශ කරමින් ඇතැම් ස්ථාන වල වාසය කිරීමට පටන් ගැනීමත් නව විහාර කර්මාන්ත සඳහා යුද හමුදාවේ සහය ලබා ගැනීමත් දෙමළ දේශපාලකයින්ට පෙනුණේ උතුරේ හා නැගෙනහිර පාරම්පරිකව දෙමල ජනතාව වාසය කරන ප්‍රදේශ ක්‍රමයෙන් සිංහලකරණය කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන උපක්‍රමයක් ලෙසට ය. දැන් ඔව්හු මේ අදහස උතුරේ සාමාන්‍ය ජනතාව වෙත සම්ප්‍රේෂනය කරමින් සිටිති.
යුද්ධය අවසන්වීමත් සමග වන සංරක්ෂණ අමාත්‍යංශය ගුවන් සිතියම් පාවිච්චි කරමින් වනගත ප්‍රදේශ රැසක් රක්ෂිත බවට පත්කරගැනීම නිසා යුද්ධයට පෙර මිනිස් පරිහරණයේ තිබූ ඉඩම් විශාල ප්‍රමාණයකට ඇතුලුවීමට ජනතාවට අයිතියක් නැතිවිය. ප්‍රකටම උදාහරණය විල්පත්තුව ජාතික උද්‍යානය අවට පැවති ප්‍රදේශ වන රක්ෂිත බවට පත්කිරීම නිසා එල්ටීටීඊය විසින් ස්වකීය ගම්බිම් වලින් බලෙන් පලවා හැරි මුස්ලිම් ජනතාව ජීවත්ව සිටි පාරම්පරික ගම් වනගතවී රක්ෂිතයට ඇතුලුවීම නිසා එම ගම්වලට ආපසු යාමට ඔවුන්ට තිබූ අයිතිය අහිමි වීම පෙන්වා දිය හැකිය..පාරම්පරිකව සිංහල ජනතාව ජිවත්වන පානම ගමේ ගම්වාසීන් වසර සිය ගණනක් තිස්සේ වගා කළ මීයංගොඩ වැව යටතේ ඇති කුඹුරු ඉඩම් 2012 වසරේ ප්‍රකාශයට පත්කළ සංරක්ෂිත වනන්තරයකින් තහනම් ප්‍රදේශයක් බවට පත්කර තිබිම තවත් උදාහරණයකි.පානම ගම් වාසීන් 2017දක්වාත් මේ කුඹුරු වගාකළත් අද සිය පාරම්පරික කුඹුරු බිමට යාම බන්ධනාගාරගත වීමේ නොවරදින මගක් වී ඇත.
යුද්ධයෙන් පසුව උතුරු නැගෙනහිර ප්‍රදේශවල කටයුතු කිරීමේදී ජනතාවගේ අයිතිවාසිකම් හා ගැටලු ගැන විමසිලිමත් නොවී හිතුවක්කාර ලෙස නීතිමය බලය භාවිතා කර ප්‍රකාශයට පත්කර ඇති පුරාවිද්‍යා රක්ෂිත වන රක්ෂිත හා වනජීවී කලාප ආදිය එකී ප්‍රදේශවල ජනතාවට ප්‍රශ්න රැසක් ගෙනෙන භූමි බවට පත්ව ඇත.මේ නිසාම මේ පුරාවිද්‍යා රක්ෂිත හෝ වන රක්ෂිත බිම් ඔවුන් දකින්නේ තමන්ට ඇති විශාලතම බාධාවන් ලෙස ය.උතුරේ දේශපාලකයින් මේ රක්ෂිත නොඉවසන්නේ ඒවා තම ජන වර්ගයේ අයිතිවාසිකම් සීමා කිරීමට යොදාගන්නා උපක්‍රම ලෙස දකින බැවිනි.
ජනාධිපති වරයා කුරුන්දි විහාර ප්රශ්නයේ දී දෙමළ දේශපාලකයන්ට ද අලුතින් හිතන්නට වැදගත් පණිවුඩයක් දුන් බව මගේ නිරීක්ෂණයයි.ඒ උතුරේ නැගෙනහිර ඇති පෞරාණික බෞද්ධ ස්ථාන යනු සිංහල බෞද්ධ උරුමය පෙන්වන ඒවා ලෙස නොසිතන ලෙසටත් ඒවා දෙමළ බෞද්ධ උරුමයක් ලෙස සිතන ලෙසටත් “පොත්කුණ” නම් දෙමළ ජාතික අමාත්‍යවරයාගේ උදාහරණයෙන් ඔහු දෙමළ දේශපාලකයින්ට පෙන්වා දුනි.එසේම “පොත්කුණ” වැනි බලවත් දෙමළ නායකයින් අනුරාධපුර යුගයේදී පවා මේ රටේ රජවරුන් හා සම්බන්ධ වී සමගියෙන් කටයුතු කළ බවට ජනාධිපතිවරයා දෙමළ මන්ත්‍රීවරුන්ට දැනගන්නට ඇරියේ “හීන් නූලෙනි”.මේ සියල්ල ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ටය.කුරුන්දි විහාරය රැකිය යුත්තේ එය දෙමළ බෞද්ධයන්ගේ ස්ථානයක් නිසා බව ඔහු පෙන්වා දුන්නේය. ඒ සඳහා අක්කර දෙසිය ගාණක්ම අවශ්‍යදැයි ඔහු විමසීය.යම් ඉඩම් ප්‍රමාණයක් අවශ්‍ය නම් ඒ සිංහල බෞද්ධ උරුමය රැකීමට නොව දෙමළ බෞද්ධ උරුමය සුරක්ෂිත කිරීමට බවත් ඔහු දෙමළ මන්ත්‍රීවරුන්ට හිතා ගන්නට ඉඩ ඇරියේය .වැඩිදුරටත් නොකියා කිව්වේ “පොත්කුණ ඇමති වගේ ඔබලාත් රාජ්‍ය පාලනයට එක්වෙන්න උතුරේ ජනයාගේ අයිතිය රැක ගත හැක්කේ එවිටයි” යන පණිවුඩය නොවේද? විශ්ව විද්‍යාල මහාචාර්ය වරයෙකුද වූ පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ට මෙය නොතේරී ඇති බව ඔහුගේ ප්‍රතිචාරයෙන් හෙලි විය. අඩු ගාණේ සුමන්දිරන් වරයාට වත් මෙය තේරුණොත් නම් හොඳ ය.පුරාවිද්‍යාත්මක උරුමයන් යනු කිසියම් ජනවර්ගයකට හෝ ආගමකට අයත් දෙයක් නොවේ .ඒවා ජාතික උරුමයන් පමණි.උතුරෙන් නැගෙනහිරෙන් මතුවෙන්නේ ජාතික උරුමයන් මිස බෞද්ධ හෝ සිංහල උරුමයේ ලකුණු නොවේ.ජාතික උරුමයන් පීළිබඳව වන අයිතිය රටේ සෑම පුරවැසියෙකුට පවතී.ඒනිසා උතුරේ පුරාවිද්‍යා ඉඩම් වෙන් කරන්නේ අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවට වගබලා ගන්නා ලෙසත් පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල්ට පවසා එසේ ඉඩම් වෙන්කරන්නේ දෙමළ බෞධයන්ගේ උරුමයන් ද ආරක්ෂා කිරීම සඳහා බවත් දෙමළ නායකයින්ටත් දන්වමින් පොත්කුණ වැනි බලවත් අමාත්‍යවරුන් අනුගමනය කරමින් රාජ්‍ය ක්‍රියාවලියට සම්බන්ධ වන ලෙසට දෙමල නායකයින්ට ඇරයුම් කිරීමත් ජනාධිපතිවරයා හීන් නූලෙන්ම කළ බව මගේ අදහසයි.මේ අදහස දෙමළ ජනතාව වෙතට යොමු කිරීම කෙසේවේදැයි මට කිව නොහැක.
සුනිල් කන්නන්ගර කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති