ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවෙනි පාර්ලිමේන්තුවේ කතානායක ලෙස පත් වූ අශෝක සපුමල් රන්වල සිය අධ්‍යාපන සුදුසුකම් තහවුරු කර ගැනීමට අවශ්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැකි වීම යන කාරණය මත පසුගිය 13 වැනිදා කතානායක ධුරයෙන් ඉල්ලා අස් විය. දේශපාලන විචාරකයන්ගේ මතය වූයේ මෙය බොහෝ ප්‍රමාද වී ගත් තීරණයක් බවත් මෙය ගත යුතුව තිබුණේ මේ ගැටලුව උද්ගත වන විටම බවත් ය. මන්ද ඔහු මොරටුව විශ්වවිද්‍යාලයෙන් හෝ ජපානයේ වසේදා විශ්වවිද්‍යාලයෙන් හෝ උපාධි ලබා ගෙන නොමැති නම් ඒ බව කිසිවකුටත් වඩා ඔහුගේ හෘද සාක්ෂිය දන්නා නිසාය. මෙහිදී ‘හෘද සාක්ෂිය’ යන්න විශේෂයෙන් සඳහන් කරන ලද්දේ ජාතික ජනබලවේගයට ජනතාව කැමැත්ත පළ කරන්නට එක් හේතුවක් වූයේ ඔවුන් අවංක, විනිවිදභාවයෙන් කටයුතු කරන දේශපාලන ව්‍යාපාරයකැයි නිතර පවසනු ලැබීම නිසාය. මෙතෙක් මෙරට පාලනය කළ කිසිදු දේශපාලන පක්ෂයකට නොමැති අවංක භාවයක් ඔවුන් තුළ පවතින්නේ යැයි ජනතාව දැඩිව විශ්වාස කළ බැවිනි. එවැනි තත්ත්වයක් තුළ හෘද සාක්ෂියට අනුව වැඩකටයුතු කිරීම අත්‍යවශ්‍ය ම දෙයක් වන්නේය. නමුත් හිටපු කථානායකවරයා එය හිතාමතාම මග හැර ඇති බව පැහැදිලිය.
ජාතික ජනබලවේගය බලයට පත් කිරීම සඳහා දැඩි වෙහෙසක් ගත් ඇතැම් පාර්ශ්වයන් පවා සඳහන් කරන්නේ අශෝක රන්වලට මෙවැනි උපාධි සුදුසුකම් නොමැති බවය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියේ මේ සම්බන්ධයෙන් සඳහන් කර ඇති කරුණු ද මතභේදාත්මකය. ඔහු ඒ පිළිබඳ මෙසේ සඳහන් කරයි.
“එහෙත් එම අධ්‍යාපන සුදුසුකම් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සමහර ලියකියවිලි මේ මොහොතේ මා සතුව නොමැති බැවින් ද, ඒවා අදාළ ආයතනවලින් ලබා ගැනීමට සිදුව ඇති බැවින් ද එම ලියකියවිලි මේ මොහොතේ කඩිනමින් ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.”
මේ ප්‍රකාශය තුළ ඔහුගෙන් වගකීම් විරහිත බවත් පෙන්නුම් කරයි. එනම් සිය අධ්‍යාපනික සුදුසුකම් සම්බන්ධ සහතික ආරක්ෂිත ව තබා ගන්නට නොහැකි වූ බවක් ඇඟවෙයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ ද මේ අධ්‍යාපනික සුදුසුකම් ප්‍රදර්ශනය කරමිනි. ශ්‍රී ලංකාවේ දේශපාලන කටයුතු සඳහා අධ්‍යාපනික සුදුසුකම්වල අවශ්‍යතාවක් නොමැති නමුත්, මෙතෙක් කල් රට පාලනය කළ කළ බොහෝ දෙනෙකු අධ්‍යාපන සුදුසුකම් නොමැත්තන් බවත් උගතුන් පාර්ලිමේන්තුවට යැවිය යුතු බවට මතයක් ද සමාජය තුළ ගොඩනැගී තිබුණු බැවින් ඔහු වෙනුවෙන් ඡන්දය භාවිත කළ බොහෝ දෙනෙකු තුළ ඔහුගේ මේ උගත් බව පිළිබඳ යම් හැඟීමක් නොතිබුණේ යැයි පැවසිය නොහැකිය. යම් අවස්ථාවක මේ ගැටලුව උද්ගත නොවේ යැයි සිතිය නොහැකි නිසා ඔහුට මුලින්ම මේ ගැටලුව නිරාකරණය කරගන්නට ඕනෑ තරම් අවස්ථාව තිබිණි. තමා ‘ආචාර්ය’ උපාධියකට හිමිකම් පවසන්නකු බව පසුගිය කාලයේ සෑම විටම ප්‍රදර්ශනය කරමින් සිට පසුව එය පිළිබඳ මතභේදයක් මතු වූ අවස්ථාවේ දී එය තහවුරු කරන්නට සාධක ඉදිරිපත් කරන්නට නොහැකි වීම මත ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම් පිළිබඳ සැක පහළ වීම සාමාන්‍ය දෙයකි.
බීබීසී සිංහල සේවය ඔහුගේ මූලික උපාධිය පිළිබඳ විමසන අවස්ථාවේ දී ඔහු පිළිතුරු ලබා දී ඇත්තේ, “එතකොට යුනිවර්සිටි එක හැදිලා තිබුණේ නැහැ නේ අපිට. යුනිවර්සිටි එක ඒවෙලාවෙ ඇෆ්ලිටියේට් වෙලා තිබුණේ, UGC එකෙන් පරිවර්තනය වෙලා ආපු කාලෙනෙ අපි ඒක කලේ, එතකොට තිබුණේ ෆැකල්ටි එකක් විතරයි තිබුණේ. ටෙක්නිකල්….මොකද්ද ඒකට කියන්නේ. මම ඒක දුන්න විදිහට නෙමේ දාල තියෙන්නේ. කමක් නැහැ ඒක.” යනුවෙනි.
මොරටුව විශ්වවිද්‍යාලය, වර්ෂ 1893 වසරේ දී රජයේ තාක්ෂණ විද්‍යාලය ලෙස ආරම්භ වී, පසුව 1972 දෙසැම්බර් 22 වැනිදා විශ්වවිද්‍යාල තත්ත්වය උසස් කෙරිණි. එසේ නම් අශෝක රන්වල එකී පාඨමාලාව හදාරන්නට ඇත්තේ 1972 ට පෙර බව සිතිය හැකිය. 2024 වසර වන විට මොරටුව විශ්වවිද්‍යලයට වසර 52 කි. එනම් අශෝක රන්වල එකී පාඨමාලාව හදාරා දැනට වසර 52 කට වඩා ගත වී තිබිය යුතුය. ඔහුගේ වයස පිළිබඳ තොරතුරක් සොයා ගන්නට නැතත් මේ කාලවකවානු පිළිබඳ සලකා බැලීමේ දී ඔහුට මේ වන විට වයස අවුරුදු 70 ක් වත් විය යුතු බව පෙනේ.
බීබීසී සිංහල සේවය ඔහු වසේදා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගත් වසර පිළිබඳ විමසන අවස්ථාවේ දී පිළිතුරු ලබා දෙන්නේ ද විශ්වාසයකින් නොවේ. සිය ජීවිතයේ ප්‍රධාන අධ්‍යාපනික කඩඉම් කිසිවකුට අමතක වන්නට හැකියාවක් නැත. විශේෂයෙන් දේශපාලනයේ නියුතු වගකිව යුතු පුද්ගලයකුට කිසිවිටකත් එසේ සිදු වන්නට හැකියාවක් නැත. බීබීසී සිංහල සේවය මේ සම්බන්ධයෙන් එකී විශ්වවිද්‍යාල දෙකටම ඊමේල් පණිවිඩ යවා තිබෙන බව සඳහන් කරන අතර වසේදා විශ්වවිද්‍යාලය සඳහන් කර ඇත්තේ මෙයට අදාළ පුද්ගලයාගේ නීත්‍යනුකූල අවසරයක් නොමැතිව එකී තොරතුරු ලබා දිය නොහැකි බවය. ඔහු එකී විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත්තේ ද නැද්ද යන්න පිළිබඳ කිසිවක් එකී ඊමේල් පණිවිඩයේ සඳහන් වී නොමැති බව ද පැවසේ. වසේදා විශ්වවිද්‍යාලය 1882 වසරේ දී එරට සිටි අග්‍රාමාත්‍යවරයකු වූ ඔකුමා ෂිගෙනොබු විසින් ආරම්භ කරන ලද්දකි. මෙය ජාත්‍යන්තරයේ ඉමහත් කීර්තියක් හිමිකර ගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකි.
ජනපති අනුර කුමාර දිසානායක 14 වැනිදා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියේ තරාතිරම කුමක් වුව ද කවුරුන් හෝ වරදක් සිදුකොට ඇත්නම් එකී පුද්ගලයා වෙනුවෙන් අවශ්‍ය පියවර ගැනීමට පසුබට නොවන බවය. අශෝක රන්වල සිය ධුරයෙන් ඉල්ලා අස් වන්නේ එම ප්‍රකාශයෙන් පසුවය. කෙසේ නමුත් ඇතැම් පාර්ශ්වයන් පවසා සිටින්නේ ජාතික ජනබලවේගය කෙරෙහි ජනතාව තැබූ විශ්වාසය දැඩි සේ පලුදු කර දමන්නට මේ සිදුවීම හේතු වූ නිසා පක්ෂයක් ලෙස ගත යුතුව තිබූ නිවැරදිතම පියවර වූයේ ඔහුව කතානායක තනතුරින් පහ කර මන්ත්‍රී ධුරය ද අහෝසි කර පක්ෂයෙන් ද නෙරපා දැමිය යුතු බවය. ජනතාව වෙනුවෙන් සිය අවංකත්වය තහවුරු වන්නේ එසේ කිරීමෙන් පමණකැයි එම පාර්ශ්වයන් පවසා සිටියි. සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූගේ රජයේ ජාතික සංවර්ධන අමාත්‍ය ටේ චීඅන්ග් ඉඩම් සම්බන්ධ ගනුදෙනුවක දී සිංගප්පූරු ඩොලර් මිලියන 1 ක අල්ලසක් ලබා ගත් බවට පැවති චෝදනාව දූෂණ ක්‍රියා විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයට ලක් කරන්නැයි අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන් අතර ඔහු අල්ලසක් ලබා ගත් බවට තහවුරු වෙද්දී එයට මුහුණ දෙනු නොහැකිව එකී අමාත්‍යවරයා සිය දිවි නසා ගත්තේය. ඒ අවස්ථාවේ දී ලී ක්වාන් යූ අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ තරාතිරම කුමක් වුව ද තම රජය යටතේ වංචාව, දූෂණයට ඉඩක් නොතබන බවය. ජාතික ජනබලවේගයෙන් ජනතාව අපේක්ෂා කළේ ද වංචාවෙන් දූෂණයෙන් තොර නව දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කර ගැනීමය. එසේ නම් එවැනි සිදුවීමකට මුහුණ දුන් පළමු අවස්ථාවේදීම කළ යුතුව තිබුණේ තරාතිරම නොබලා එකී පුද්ගලයාට දිය හැකි උපරිම දඬුවම ලබාදීමය. එසේ සිදුවනු ඇතිදැයි ජනතාව උදක්ම අපේක්ෂා කරන බව ඉඳුරාම පැවසිය හැකිය.
නිරංජන් චාමින්ද කරුණාතිලක