ජාතික පොසොන් සතිය අද සිට

අනුබුදු මිහිඳු නා හිමියන් ශ්‍රී ලාංකිකයනට බුදු සමය හඳුන්වා දීම ස්මරණය කරනු පිණිස පවත්වනු ලබන ජාතික පොසොන් සතිය අද (17) සිට ආරම්භ වේ. හතළිස් පස් වැනි වරට මෙවර පැවැත්වෙන සති පිරිත් පින්කම සඳහා අද සිට විසි පස්වැනිදා (25) දක්වා දින නවයක කාලයක් වෙන් කර තිබේ. අද පස්වරුවේ ඉසුරුමුණිය රජමහා විහාරයේ සිට මහා විහාරය දක්වා දාහත්වැනිදා සවස පැන් පෙරහරෙන් මෙම පුණ්‍ය කටයුත්ත ආරම්භ වේ. ඊට පසු දිනයේදී ශ්‍රී මහා බෝධීන් වහන්සේ පුදබිමේ ඉදිකරන ලද විශේෂ පිරිත් මණ්ඩපයේදී සති පිරිත් දේශනය ආරම්භ කරයි. විසි තුන්වැනිදා සවස් භාගයේදී තල්පත පේ කිරීම සිදු කරයි. විසි හතර (24) වැනිදා නගරය වටා පිරිත් පැන් ඉසීම සිදු කරන අතර සවස දේවදූත පෙරහර හා දොරකඩ අස්න දේශනය සිදු කරයි. අවසන් දිනය වන විසි පස් (25)දා දහවල් දානමය පින්කමෙන් සති පිරිත් පින්කමේ කටයුතු අවසන් කරයි. අනුරාධපුරය, මිහින්තලය හා තන්තිරිමලය කේන්ද්‍ර කරගෙන මෙවරත් පොසොන් උත්සවය උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතියි. පොසොන් පොහොය නිමිති කර ගනිමින් දිවයින නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන්ට අවශ්‍ය ආහාර, සෞඛ්‍ය, ආරක්ෂාව, ප්‍රවාහනය ඇතුළු සියලු යටිතල පහසුකම් සපුරාලීමට පොසොන් කමිටුව පියවර ගෙන තිබේ. පොසොන් සතිය තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු සුරාසල් හා මස්කඩ වසා තැබේ.

කාලීන පුවත්