මීට දශක කිහිපයකට ඉහත අප වාමාංශික දේශපාලන පක්ෂ සාමාජිකයන් තුළ යම් විනයක් සංවරයක් දැකිය හැකි විය. ඔව්හු පුහු ආටෝපයෙන් සේම නාස්තිකාර පරිභෝජනයෙන් වැලකී සිටියහ.විශේෂයෙන් එවක කම්කරු පන්තිය පවා බාහිර ආටෝපයට වඩා තම පෞරුෂය ඉස්මතු කර ගැනීමට වෙර දැරූහ.ඒ අනුව එම කම්කරු පැලැන්තිය සාමාන්‍ය සමාජය ඉදිරියේ “හර-බර” මිනිසුන් සේ ද කැපී පෙනෙන්නට විය.ඊට හේතු වූයේ එම දේශපාලන මතවාද වල ගැබ් වූ සමාජ ආර්ථික දර්ශනය ඔවුන්ගේ සිත් තුළට කා වැදී තිබීම ය.එමෙන්ම එවක අප රටේ සිටි වාමාංශික දේශපාලන නායකයෝ ද සමකාලීන සමාජ ආර්ථික ප්‍රවණතාවනට ගොදුරු වීමෙන් පුද්ගල,පවුල් හා සමාජමය වශයෙන් ජනතාවට අත් විඳීමට සිදුවන දුර්විපාක න්‍යායික සේම ප්‍රායෝගික වශයෙන් ද වටහා දුන්හ.ඒ අනුව ඔවුන්ගේ අනුගාමිකයන් ද සමකාලීන වෙළඳ පළ දෙසින් ඇසෙන බෙර හඬ වලට නටන්නට පුරුදුව සිටියේ නැත.නමුදු අප රටේ නූතන වාමාංශික දේශපාලනයෙන් එම වැදගත් කාර්ය භාරය මුළුමනින් ගිලිහී තිබේ. වත්මන් දේශපාලනය මඟින් ජනතාව පීඩාවට පත් කරන සමාජ ආර්ථිකය පිළිබඳව වදනකුදු කතා නොකරන ඔවුන් අද දේශපාලන විෂය පථය”අමුවෙන්ම”ගෙන හැර දැක්වීමේ අමුතුම න්‍යායක් ගෙන හැරපාති.ඒ අනුව අද වන විට එවක තිබූ “හර-බර”කම්කරු පැලැන්තිය වෙනුවට අනාගතයේ “බර-බර”කම්කරු පැලැන්තියක් මතු වීමේ අවදානමක් තිබේ.අප එසේ පවසනුයේ එහි මූලික ලක්ෂණ දැනටමත් ඉස්මතු වී ඇති බැවිනි.නමුත් සැබෑ වාමාංශික කම්කරු පන්තිය තුළින් ප්රබුද්ධ චින්තකයන් මිස මහදැනමුත්තා ගේ ගෝලයන් බිහිවීමේ ඉඩක් නොතැබිය යුතු ය.
අධි පරිභෝජනය සේම ප්‍රදර්ශනාත්මක පරිභෝජනය නව ලිබරල්වාදී ආර්ථික ක්රමයේ දුර්දාන්ත ලක්ෂණ අතුරින් විශේෂයෙන් කැපී පෙනෙයි.තමන්ගේ මූලික සහ අනෙකුත් අවශ්‍යතා සහ අරමුණු පසෙක තිබිය දී “ඒ හැටි සල්ලියක් නම් තිබුණේ නැහැ. ඒත් දැක්ක නිසා ගත්තා” යන තෘෂ්ණා භරිත වදන අද සමාජයෙන් සුලබ ව ඇසෙනුයේ ඉහත සඳහන් දුර්දාන්ත තත්ත්වයන් නිසා ය. එමෙන්ම තම අවශ්‍යතා සහ අරමුණු පසෙක තිබිය දී “දැන් හැමෝම ගන්නවනේ, ඉතින් අපිත් ගත්තා” යනුවෙන් පැවැසෙන වැකිය ද මෙහිම තවත් රෝග ලක්ෂණ ප්‍රකට කරවන්නකි.නො එසේනම් මෙය භාණ්ඩ හා සේවා වෙළඳ පළ හමුවේ මිනිසුන් “රූකඩයන්”බවට පත් වී ඇති අයුරු කියා පාන්නකි.මිනිසුන් තුළ පවත්නා නිසර්ග තෘෂ්ණාව නම් වන මෙම ගින්නට පිදුරු දැමීම අද ලොව පුරාම විවිධ ආකාර වලින් දක්නට ලැබේ.අප රට තුළ දැනට සිදුවෙමින් පවතින මෙම යාන්ත්‍රණය මඟින් මිනිස් ජීවිත අකාලයේ මරු මුවට පත් කරවීම දක්වා වන බිහිසුණු ක්‍රියාවලියක් නිරතුරුවම සිදු වෙමින් පවතී.ක්ෂුද්‍ර මූල්‍ය ණය වශයෙන් රට පුරා ව්‍යාප්තව ඇති ජාවාරම්කාර මරුවැල පාගා ගත් විශාල පිරිසක් මේ වන විට මියගොස්,පවුල් ජීවිත කඩා බිඳ දමාගෙන ඇති අතර මෙම උගුලට හසු වූ ග්‍රාමීය ප්‍රදේශවල කාන්තාවන් මේ වන විට ගණිකා වෘත්තියට පවා පිවිස තිබේ. මෙම බිහිසුණු ක්‍රියාවලිය නිකම් ආවාට ගියාට කරනු ලබන්නක් ද නොවේ. මේ සඳහා මිනිසුන්ගේ තෘෂ්නා භරිත බව නිවැරදිව ග්‍රහණය කර ගත හැකි සියුම් මනෝ විද්‍යාත්මක උපක්‍රම ද භාවිතා කෙරේ. මෙම තත්වය ඉබේම නිර්මාණය වූවක් ද නොවේ.මෙහි දී මූලික වශයෙන් උපයෝගී කරගෙන ඇත්තේ අයර්ලන්ත ජාතික දේශපාලන ආර්ථික විද්‍යාඥයකු වන ෆ්‍රැන්සිස් යසිඩ්රෝ එඩ්වර්ත් විසිනි. 1881 වසරේ හඳුන්වා දෙනු ලදුව ඊට පසුකාලීනව විසූ ක්ෂුද්‍ර සහ සමාජ ආර්ථික විද්‍යාඥයකු වන විල්ෆ්රඩෝ පැරටෝ විසින් 1906 වසරේ දී සංවර්ධනය කරන ලද උපේක්ෂා චක්‍ර න්‍යාය නම් සිද්ධාන්තයයි. පාරිභෝගිකයා තමන් ගෙවන මිලට උපයෝගීතාව හෙවත් ආශාව උපරිම ලෙස සන්තෘප්ත කරගැනීම පිණිස වෙළෙඳ පළ තුළ සංචරණය හෙවත් හැසිරීම පිළිබඳව මින් මුල් වරට විශ්ලේෂණය කෙරිණ.
අතීත සමාජයේ විශේෂ තැනක් නොතිබූ අලෙවිකරණයට අද සමාජයේ ඉහළම තැනක් හිමිව තිබේ.කිසුදු මානව විද්‍යාත්මක මූලයක් නොමැති “අම්මාවරුන් ගේ දින” පවා සමාජ ගත වීම එහි අනිටු ඵල විපාක ලොවට කියා පාන්නකි.මෙය හුදෙක් අලෙවිකරනණ උපාය මාර්ගයක් බව ඒ පිළිබඳව කරනු ලබන සියුම් විශ්ලෙෂණ වල දී පෙනී යයි. ඒ සමඟම අලෙවි කළමනාකරණය ,අලෙවි ප්‍රවර්ධනය , අලෙවි උපාය මාර්ග ආර්ථික විද්‍යාව සහ මනෝ විද්‍යාව එක් කරමින් සංවර්ධනය වී ඇති විෂය පථයක් මුල් කොට අතිශය තියුණු වෙළෙඳ තරඟයක් නිර්මාණය වී තිබේ. භාණ්ඩ සහ සේවා වෙළෙඳ පලේ සිය අධිකාරි බලය ගොඩනංවා ගනු පිණිස හා තහවුරු කරගනු පිණිස සිදුකෙරෙන ව්‍යාපාර යුද්ධය තුළින් සමාජයේ සදාචාරාත්මක අගැයුම් සුනු විසුණු වී යාම ඒකාන්ත වශයෙන් සිදුවන්නකි.භාණ්ඩ සහ සේවා වෙළෙඳපළ තුළ සිදුවන මෙම තියුණු තරඟය ඔස්සේ එකි’නෙකා පිළිබඳව වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව මෝදු වන අතර තම තමන්ගේ භාණ්ඩ සහ සේවා පිළිබඳ අසත්‍යය, අතිශයෝක්තිය, මුලාව ආදී දේ සහ වැඩි ලාබ ඔස්සේ පෙරට ඒමට භාණ්ඩ සහ සේවාවන්හි වූ ප්‍රමිතිය බාල කිරීම්, වාණිජමය උප්පරවැට්ටි, ඇස්බැන්දුම් ආදී කරුණු මත පුද්ගල සහ සමාජ හර පද්ධතිය වැනසී යාම ඉතා ශීඝ්‍රයෙන් සිදුවෙමින් පවතී.ඉන්පසු සමාජය තුළ ඇතිවිය හැකි තත්ත්වය වනුයේ ලෝකය, සමාජය වානිජමය යටත් විජිතවාදය නම් ඛේදනීය ඉරණමට නතුවීම පමණි.
නමුදු මෙම බිහිසුණු උවදුරට ලක්වීමට මගපෙන්වන සලකුණු මිස ඉන් ගැලවීමේ කිසිදු උපාය මාර්ගයක් අපගේ වත්මන් වාමාංශික දේශපාලන නායකයන් හෝ ඔවුන්ගෙන් ගුරු හරුකම් ලබන වෘත්තීය සමිති ක්‍රියාධරයන් හෝ ශිෂ්‍ය සංගම් ක්‍රියාකාරීන් අනුගමනය කරන බවක් නොපෙනෙයි.ඊට හේතුව නමට වාමාංශික වූ පමණනින් වාමාංශික දේශපාලනයකට අවශ්‍ය සියලුම අංග වලින් ඔවුන් සන්නද්ධ වී නොසිටීම ද විය හැක.නමුදු බිම හෙළිය යුතු කිනම් හෝ වෘක්ෂයක මුදුන් මුල සිඳලීමට පෙර ඒ අවට පස් ඉවත් කිරීමේ වැදගත් කම ද මැතිවරණ ඉලක්ක කර ගනිමින් අමු දේශපාලනය ඔස්සේ සටන් මෙහෙය වන”ජැන්ඩි පහේ”නව දේශපාලන පක්ෂ නායකයන් හට පෙන්වා දෙනු කැමැත්තෙමු.
හේමන්ත රන්බණ්ඩාර