මුහුද මැද ගිලීගිය නැවකින් දිවි ගලවා ගත් එකම එක පුද්ගලයෙක් මුහුදේ රළ පහරින් ගසාගෙන ගිහින් පාළු දූපතක වෙරළට සේන්දු වුණා .පිහිනීමෙන් අධික වෙහෙසට පත් වෙලා හිටපු ඔහුට එහෙමම නින්ද ගියා. ඔහු අවදිවී වටපිට බැලුවම ඔහුට තේරුනේ ඔහු ඇවිත් තියෙන්නෙ මිනිස් පුළුටක්වත් නැති පාළු දූපතකට බව.
හොඳ වෙලාවට ඔහුට ජීවිතය රැකගන්න පලතුරු ගෙඩියක් දෙකක් ඒ දූපතේ ගස් වල තිබුණා.
විනාශ වූ නැවෙන් ඉතුරුවෙලා පාවෙලා ගොඩ ගසා තිබුණු දැව වලින් කුඩා පැල්පතක් ඔහු අටවා ගත්තා. නැවෙන් ගලවා ගැනීමට සමත් වූ දේවල් කීපයක් විතරයි පැල්පතේ තිබුණේ . මේවා තමයි ලෝකයේ ඔහුගේ එකම වස්තුව වුණේ .
ගතවන හැම දවසක්ම ඔහු දෙනෙත් දල්වාගෙන සිතිජය දිහා බලාගෙන හිටියේ යන්තම් හරි නැවක සේයාවක් දකින තුරු.
දින ගණනාවක් ගෙවී ගියත් ඔහුට ගැලවී යාමට කිසිම හෝඩුවාවක්වත් ලැබුණේ නැහැ . දවස් ගණනාවක් ඔහුට බඩගින්නෙ ඉන්න සිද්ධ වුණා. දවසෙන් දවස ශරීර ශක්තිය හීන වී ගෙන ගියා. මානසික්වත් ඔහු ඉතාමත් අසරණ තත්වයකට වැටිලා හිටියේ. එහෙත් ඔහු බලාපොරොත්තු අත ඇරියේ නැහැ. කවදා හරි කොහොමහරි තමන්ට මෙතනින් යන්න අවස්ථාව උදා වේවි කියන බලාපොරොත්තුව ඔහු අත ඇරියේම නැහැ.
දවසින් දවස ඔහු කුසගින්නෙන් දුර්වල වෙන්න පටන් ගත්තා. රාත්‍රිය ශීතල නිසා උණුසුමත් ආලෝකයත් ලබන්න ඔහු දිනපතාම ගිනිමැලයක් දැල්වූවා.
එක් උදෑසනක ඔහු දූපතේ ආහාර සෙවීමට තම පැල්පතෙන් පිටව යන කොට පෙර දින රාත්‍රියේ ඔහු දැල්වූ ගිනිමැලය නිවා දැමීමට ඔහුට අමතක උනා.ගින්න පැතිරිලා ඔහුගේ පුංචි පැල්පතත් එහි තිබුණු සියලුම දෙයත් සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙලා අළු වෙලා තිබුණා. ඔහුට දැනුණේ දරාගන්න බැරි වේදනාවක්. සියල්ල අහිමිව ගිය තැන ඔහු වේදනාවෙන් වෙරළේ උඩුබැලි අතට වැතිරුණා. වේදනාව වැඩි කමට ඔහුට එහෙමම නින්ද ගියා.
ඒත් ඔහු අවදි වෙනකොට පුදුමෙකට වගේ ඔහු දැක්කා ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයක් ඔහු අසලට ඇවිත් තියෙන හැටි.
“කොහොමද මම දූපත්ක තනි වෙලා ඉන්න බව ඔබ දැන ගත්තෙ?”” ඔහු ඔහුව වටකරගෙන හිටපු ජීවිත ආරක්ෂක භටයන් ගෙන් ඇහැව්වා.
“ඔබේ ගිනිමැලයේ දුම් අපි දැක්කා.ඒක ජීවිතය ගලවා ගන්න කියන සංඥාවක් බව අපි දැන ගත්තා”. ඒ භටයෝ පිළිතුරු දුන්නා.
මොකක්ද මේ කතාවෙන් අපිට ගන්න තියන පාඩම?
අපිට ගන්න තියෙන ලොකුම පාඩම තමයි ජීවිතයේ කෙතරම් අන්ත අසරණ තත්ත්වයක හිටියත් බලාපොරොත්තු නැති කරගන්න එපා කියන පාඩම.
පැල්පත පිලිස්සී ගියත් සියල්ල අළු බවට පත් වුණත් හිත අධික වේදනාවෙන් පිරුනත් ඒ පුද්ගලයා බලාපොරොත්තු අත හැරියේ නැහැ. ඒ නිසා බලාපොරොත්තු නැති මොහොතක බලාපොරොත්තු නොවූ විදිහකට ඔහුට පිළිසරණක් ලැබුණා.
අපි නැව් වල ගිහිල්ලා මුහුදුබත් නොවෙන්න පුළුවන්. ඒත් අපි ඊටත් වඩා දරුණු හිත් වේදනාවක් නිහඬව අත්විඳිනවා වෙන්න පුළුවන්.
සමහරවිට ඔබ අද ඉන්නේ ඒ දූපතේ අතරමං වෙච්ච පුද් පුද්ගලයාගේ මානසික්සත්වයට සමාන මානසිකත්වයක වෙන්න පුළුවන්. පිටස්තර ලෝකයට නොපෙනුනත් ඔබ ඉන්නේ ඇතුළාන්තයෙන් ගිනිගෙන දැවෙන හදවතකින් වෙන්න පුළුවන්.
අපට ජීවිතයේ නොයෙක් විදිහේ කටුක අවස්ථාවන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. සමහර විට අප විශ්වාස කරපු මිනිස්සු අපිව අමාරුවෙ දානවා. සමහරවිට ගොඩයන්න බැරිම තරම් අමාරුවෙ දානවා. අපිට ආර්ථික ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ඇති කරවනවා. හොඳ නම කෙලෙසනවා.අභූත චෝදනා ඇති කරනවා. පවුල් කැඩෙන වැඩකරනවා. අසාධාරණකම් කරනවා. සමහරවිට අපිව පාරටම දාලා හිඟා නොකා හිඟා කන තත්වෙට පත් කරනවා.
ලෝකෙ ඕනම කෙනෙක් ඒ තත්වෙට පත්වෙන්න පුළුවන්.
ඒ වගේ අන්ත අසරණ තත්ත්වයට පත් වුණාම නොහිතන දේවල් හිතෙනවා. සමහර විට මරාගෙන මැරෙන්න හිතෙනවා. පළිගන්න හිතෙනවා . මේ ලෝකෙම මහා දුෂ්ට කුහක කෲර මිනිස්සුන්ගෙන් පිරිච්ච අපායක් කියලා හිතනවා. සමහරවිට දිවි නසාගන්න පවා හිතෙන්න ඉඩ තියෙනවා. නොකරපු වැරදි වලට ඇයි මෙහෙම දඬුවම් විඳින්න වෙන්නේ කියලා හිතනවා. දෙවියෝ කොහෙද කියලා හිතෙනවා.
ඔබ අද ඉන්නේ අන්තිමටම අසරණ වෙලා වෙන්න පුළුවන්. එහෙම වුණේ ඔබේ වරදකින් නොවෙන්න පුළුවන්. ඒකට මුළුමනින්ම වගකිව යුත්තේ ඔබ අවට සිටින ඔබගෙන් ප්‍රයෝජන ගත්තු ඔබව රවට්ටපු හිතක් පපුවක් නැති අසාධාරණ මිනිස්සු වෙන්න පුළුවන්.
මේ ඔබේ කතාව නං ඔබට කියන්න තියෙන්නේ එකම එක දෙයයි.
බලාපොරොත්තු නැති කරගන්න එපා.
ඔබ කොයිතරම් ගින්දරක හිටියත් ඔබේ ජීවිතයේ හැම දෙයක්ම ගිනිබත් වෙලා අලු වෙලා ගිහින් තිබුනා උනත් ඊළඟ වේලට කන්නේ මොනවද කියලා හිතෙන තරමට අසරණ වෙලා හිටිය වුනත් අමාරුවෙන් හරි හිතේ ශක්තිය ධෛර්යය උපදවා ගන්න. ඔබේ ප්‍රශ්න වලට කෙසේ හෝ පිළිතුරක් ලැබෙනවාමයි කියන ස්ථිර විශ්වාසයෙන් ඉන්න.
විශ්වාසය කියන්නේ පුදුම බලයක්. ඔබ විශ්වාස කරන දේ තමයි ඔබ ආකර්ෂණය කරගන්නේ.
මේ විශ්වය හිස් තැනක් නොවෙයි .අපිට අවශ්‍ය සියලුම දේ අන්තර්ගත පරිනත පිරිච්ච පරිපූර්ණ තැනක්.ඔබ විශ්වාස කළත් නැතත් අපට අවශ්‍ය සියලුම දේ දෙන්න මේ විශ්වයට පුළුවන්.අපි විශ්වාස කළත් නැතත් දැනගෙන හිටියත් නැතත් මේ විශ්වය ක්‍රියාත්මක වෙන්නේ යම් කිසි නීති රීති පද්ධතියකට අනුව. ගුරුත්වාකර්ෂණ බලය කාන්දම් බලය වැනි ඇසට නොපෙනෙන කියන්න බැරි තරම් බලගතු බලවේග මේ විශ්වය තුළ ක්‍රියාත්මක වෙනවා.
“law of attraction” හෙවත් ආකර්ශන නීතිය ගැන ඔබ අහලා ඇති. මේකෙන් කියන්නේ අපි විශ්වාස කරන්නේ මොනවද ඒ විශ්වාස කරන දේ අනිවාර්යයෙන්ම අපට විශ්වයන් ආකර්ෂණය වන බවයි. අපි සෘණාත්මක දේවල් තොරතෝංචියක් නැතුව හිතුවොත් අපි ආකර්ෂණය කරගන්නේ ඒ සෘණාත්මක දේවල්මයි.
අනිත් අතට අපි ධනාත්මකව අපේ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙනවාමයි කියලා විශ්වාස කරනවා නම් අනිවාර්යෙන්ම අපි ආකර්ෂණය කර ගන්නේ අපි බලාපොරොත්තු වන සාර්ථක පිළිතුරුමයි.
ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරක් තියෙනවාමයි.
ඒ නිසා මොනම හේතුවක් නිසාවත් විශ්වාසය අතහරින්න එපා. කොහොමද මේ ප්‍රශ්නයට විසඳුම් ලැබෙන්නේ කියලා ඔබ කරදර වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඔබේ වැඩක් නෙමෙයි . ඒක විශ්වයට අයිති වැඩක්. අනිවාර්යෙන්ම ඔබේ ප්‍රශ්නයට පිළිතුරක් ස්ථිරවම ලැබෙන බව විතරක් විශ්වාස කරන එක විතරයි ඔබට කරන්න තියෙන්නේ.
අර ගිලුණු නැවෙන් දිවි බේරාගත් මිනිසාගේ වගේ ඔබේ ප්‍රශ්න නොසිතූ මොහොතක නොසිතූ විදිහට පුදුමාකාර බලවේගයකින් විසඳී යන්න පුලුවන්.
ඒ බලය නිපදවෙන්නේ ඔබේ හිත තුළ. තමන් සතුව තිබූ සියලු සුන්බුන් පවා දවා අළු කළ ගින්නෙන් නැගුණු දුමාරයෙන් ඒ මිනිසාට පුදුමාකාර සහනයක් ලැබුණා වගේ ඔබේ ගිනිබත් වූ ජීවිතයෙන් නැගෙන ආත්ම ශක්තියේ විශ්වාසයේ බලයෙන් ඔබ නොසිතූ විරූ ලෙස ඔබ බලාපොරොත්තු වූවාටත් වඩා විශිෂ්ට ලෙස පුදුමාකාර විදිහට ඔබේ ප්‍රශ්න විසඳීමට ඇති ඉඩකඩ එමටයි.
හැම දෙයක්ම සිදුවන්නේ හේතුවක් ඇතිවයි. මොකක්හරි ඔබ නොදන්න ඔබටත් අනුන්ටත් යහපතක් වන පාඩමක් ඔබේ ජීවිතය තුළ හැංගිලා ඇති. ඒ නිසා ඇයි මට මෙහෙම වුණේ කියලා හිතන්න යන්න එපා.
අපි කොයිම වෙලාවකවත් බලාපොරොත්තු නැති කර ගන්න හොඳ නැහැ කියන පාඩම හොඳට මතක තබාගන්න. මොනතරම් ප්‍රශ්න ගොඩක පැටලිලා අන්ත අසරණ බවකින් හිටියා වුණත් විශ්වය ඔබට ඔබේ සියලු ප්‍රශ්න විසඳා ගැනීමට කොහෙන් හෝ උදව් කරනවා ස්ථිරයි කියන එක විශ්වාස කරන්න.
සැමවිටම ධනාත්මකව සිතන්න.
ඔබ තුළම ජනිත වන ඒ විශ්වාසයේ පුදුම බලය නිසා ඔබේ ප්‍රශ්න ඉබේම විසඳී ගෙන යන හැටි ගැන ඔබටම පුදුම හිතේවි.
මයිකල් ආන්ජලෝ ප්‍රනාන්දු