ජීවිතාවදානමින් හා කුස ගින්නෙන් පෙළෙන ජනතාව හමුවට ආ ගෑස් නෙයියාඩගම

මෙරට ඉතිහාසයේ මෑත වකවානුවක නාඩම්කාරයෝ මෙන්ම නෙයියාඩගම්කාරයෝ ද සිටියහ. එදා ඔවුහු ජනතාව පිනවීම වෙනුවෙන් ප්‍රසිද්ධ ස්ථානයන් හි නාඩගම් සහ නෙයියාඩගම් රඟ දැක්වූහ.

ජාතක කතාවක්, ඉතිහාස කතාවක් හෝ දකුණු ඉන්දියානු ජන කතාවක් මෙම නඩගම් හෝ නෙයියාඩගම්වල වස්තු බීජය විය. රාත්‍රියේ මුල් භාගයේ ආරම්භ වන මෙම නාඩගම්,නෙයියාඩගම් රෑ මැදියම දක්වා දිව යන්නේ ජනතාව කුල්මත් කරමිනි.

හාස්‍යය,ශෝකය, ත්‍රසය, භීතිය, කුතුහලය සහිත මෙම රංගන විශේෂය එකල ජනප්‍රිය සන්නිවේදන මාධ්‍යයක් ද විය.

මුල දී හුළු අතු එළියෙන් පැවැති මෙම නාට්‍ය පසුව පෙට්‍රල් මැක්ස් ලාම්පුවල ආධාරයෙන් පැවැති නමුත් පසුව විදුලි ආලෝකයෙන් පවා මෙම නාඩගම් ප්‍රදර්ශනය කෙරිණි.දුටුගැමුණු එළාර සටන එකල ජනප්‍රිය නාඩගමකි.

එය කෙතරම් ජනප්‍රිය වී ද කිවහොත් එම නාඩගමේ එලාරට රඟ පෑ නලුවා පසු කාලීනව එවක ජන සමාජයට ද්‍රෝහියකු සේ පෙනුණු බවත් ටික කලක් යන තුරු ගමේ කඩේ මුදලාලි ණයට බඩු නොදුන් අවස්ථා ද තිබූ බවත් කියනු ලැබේ

මේ පැරණි නාඩගම් හා නෙයියාඩගම් අභාවයට ගිය ද ජනතාව හමුවේ නවතාවයකින් යුතු ව මේ නාඩගම් හා නෙයියාඩගම් පෙන්වන කොටසක් සිටිති.

ඔවුහු නම් දේශපාලනඥයෝය ඔවුන් මෑත ඉතිහාසය පුරාම ජනතාවට පෙන්වන්නේ සිපිරි ගණයේ නෙයියාඩගම් ය. මේ වන විට ඒ නෙයියාඩගම් ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබේ.

මේ දිනවල පෙන්වන සුපිරිම නෙයියාඩගම වන්නේ ගෑස් නෙයියාඩගම ය. ගෑස් පිපිරී ජනතාව අනතුරට පත්වන විටත්, ගෑස් නොමැතිව ජනතාව හිස් සිලින්ඩර වලට තනි රකිමින් ගෑස් පෝලිමේ සිටින විටත් දේශපාලනඥයන් බැන වැදුනේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයාට ය.නාඩගමක නම් මෙය නරඹන්නා හුරේ දැමිය යුතු අවස්ථාවකි.

ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා එලෙස චෝදනා කළේ සභාපතිවරයා මේ ගැන කිසිවක් කතා නොකර නිශ්ශබ්දව සැගව සිටින බව කියමිනි.එමෙන්ම ඔහු ඉවත් විය යුතු බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රසිද්ධියේ කීවේය. මෑත දී ගෑස් ප්‍රශ්නය ගැන කතා කළේ රාජ්‍ය ඇමති නිමල් ලන්සා ය.

ඔහු ද මාධ්‍ය ඉදිරියට පැමිණ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා බැන වැදුණා පමණක් නොව ඔහුට “ගහලා පන්නා දැමිය යුතු” බව ද කියා සිටියේ ය.

පසුගිය දා ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර දැඩි ලෙස ව්විවේචනය කළ ඇමති වරුන් ගැන සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය පුවත් පත් කර්තෘ වරුන් හමුවේ කීයේ”සමහර ඇමති වරු තමන්ගේ වැරදි වහ ගන්නත් ඔහොම ගැලරියට කතා කරනවා”කියා ය.එසේම රාජ්‍ය ඇමති නිමල් ලන්සා තවත් යෝජනාවක් ද කළේ ය.

එනම් පරාජයට පත් වූ මහජන නියෝජිතයන් නැතිනම් දේශපාලනඥයන් මෙවැනි රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ලෙස පත් කළ යුතු බවය.

ඉහත ඇමතිවරුන් දෙදෙනාම සභාපතිවරයාට බැන වදින්නේ මුව හමට තඩි බාන්නා සේ ය. ලිට්‍රෝ සමාගම අයත් වන්නේ මුදල් අමාත්‍යාංශය යටතට ය. එහි සභාපතිවරයා පත් කර තිබුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති වියත්මග සංවිධානය නියෝජනය කළ පුද්ගලයෙකි. ඇමතිවරුන් ලිට්‍රෝ සභාපතිවරයා ගහලා පන්නන්න කියා චණ්ඩි කතා කීවාට ඔවුන් කියන ආකාරයට වැඩ බැරි සභාපති වරයෙකු පත් කිරීම ගැන ජනාධිපතිවරයාට එරෙහිව වචනයක් වත් කියන්නේ නැත.

සභාපතිවරයා වැරදි නම් එම වරදෙන් සැළකිය යුතු කොටසක් ජනාධිපතිවරයට ද හිමි ය. සභාපතිවරයා දුර්වල නම් ඔහුව ඉවත් කිරීමේ බලය ද ජනාධිපතිවරයා සතු ව තිබේ.. එසේනම් ඇමතිවරු කියන දුර්වල සභාපතිවරයා තවමත් තබාගෙන සිටින්නේ ජනාධිපතිවරයාම නොවෙයිද?. එසේනම් මෙහිදී ජනාධිපතිවරයා ද වරදකරුවෙකි.

එම ඇමති වරුන් පවසන අන්දමට ලිට්‍රෝ සභාපතිවරයා සේම ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ද එසේ නම් පැන්නිය යුතුය.නමුත් මේ උග්‍ර ජනතා ගැටළුව ගැන ආණ්ඩුව තුළ කිනම් හෝ සංවාදයක් ඇති වී තිබෙන බවක් නොපෙනෙයි.ඇතුලත හිස් වුව බොහෝ දුරට හඬ පතුරුවන බෙරයක් මෙන් මෙම දැවෙන ප්‍රශ්නය මුල් කොට මැති ඇමති වරු නාඩගම් සහ නෙයියාඩගම් ස්වරූපයෙන් ජනතාව පිනවති.

ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රමුඛ ඇමති මණ්ඩලයම ජනතාවට විනෝදය සපයමින් විහිළුකාර ආණ්ඩුවක් බවට පත්ව සිටියි. ජනාධිපතිවරයා සිය නිවසේ සිට ජුබිලි කණුව ප්‍රදේශය පසු කරද්දී එහි කිරිපිටි වෙළෙද පොලක කිරිපිටි ගැනීමට පෝලිමේ තපිමින් සිටි පිරිසක් ජනාධිපතිවරයාට හූ තැබූ බවට සමාජ මාධ්‍යයේ පුවත් පළවිය.පසු දිනම එම වෙළෙද සැල වසා දැමීමට උපදෙස් ලැබුනි.

සමාජ මාධ්‍යයේ මෙය දැඩිව ප්‍රචාරය වෙද්දී දිගු පෝලිමකින් තොරව කිරි පිටි අලෙවි කරන ලෙසට නියෝග නිකුත් කෙරිණි.එම සිද්ධිය සමාජ මාධ්‍යයෙන් පැතිර වීමට ක්‍රියා කළ විශාල පිරිසක් අතුරින් එක් කාන්තාවක් සීඅයිඩියට කැඳවා ප්‍රශ්න කෙරිණ.

උසුළු විසුළු විසිල් මෙන්ම හූ හඩ ද එල්ල වෙන්නේ නාඩගම් නෙයියාඩගම් බලද්දී ය. රටේ පාලකයා ඇතුළු ඇමති මණ්ඩලය ජනතාවට නාඩගම් නෙයියාඩගම් රඟ දැක්වීම මත මේ වන විට දිගින් දිගටම හූ හඩවල් එල්ල වෙමින් තිබේ.එය ඉතා ස්වාභාවික තත්වයකි.

ජනතාව මේ නාඩගම් නෙයියාඩගම් බලමින් සිටින අතරේ ද ගෑස් ප්‍රශ්නය තවමත් විසඳී නැත. ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය මාධ්‍ය හමුවේ කියා සිටියේ ගෑස් හිගයක් නිර්මාණය කළේ ගෑස් ටෙන්ඩරය එකම පිරිසකට ලබාදීම වෙනුවෙන් බවට ය.

එසේම සිය සමාගමේ කහ පැවැති ලාෆ් ගෑස් සිලින්ඩර ලිට්‍රෝ නියෝජිතයන් විසින් රැගෙන ඒවා නිල් පාට ගන්වා ලිට්‍රෝ ලෙස වෙළෙද පොලට නිකුත් කරන බවකි.ඊට අදාළ වීඩියෝ හා ජායාරූප සාක්ෂි ද තමන් සතුව තිබෙන බව ද ඔහු කියා සිටියේය.

නමුත් ලිට්‍රෝ සමාගම ද මෙම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි. ගෑස් ඒකාධිකාරයක් වෙනුවෙන් මෙය කරන බවත් ප්‍රසිද්ධියෙම නිල් පැහැති ගෑස් සිලින්ඩර මුල් කාලයේ ලබා ගෙන කහ පැහැති සිලින්ඩර නිකුත් කළේ කව්දැයි සොයා බලන්නැයි ද ලිට්‍රෝ සමාගම සඳහන් කරයි.

හැම පැත්තෙන්ම ජනතාවට දිකින්නට අහන්නට ලැබෙන්නේ මෙවැනි නාඩගම්, නෙයියාඩගම් දෙබස් ය. මැති ඇමතිවරු කතා කරන්නේම ජනතාව පිනවමින් දිගටම බලයේ රැඳී සිටීමට ය.

මේ ආකාරයෙන් නාඩගම් නෙයියාඩගම් පෙන්වීමේ වරදක් නැතැයි යමකුට කිව හැකි මුත් ජීවිතාවදානමක් සේම සාගිනි නිවා ගැනීමේ මංපෙතක් නොමැතිව අන්ත අසරණ බවට පත් ව හිඳින ජනතාවට මේ නාඩගම් නෙයියාඩගම් වලින් සැබෑ රසයක් ලබා ගත හැකිද?යන්න ඒ දේශපාලනඥයන් ද හොඳින් සිතා බැලියයුතු ප්‍රශ්නයකි.

ලසන්ත වීරකුලසූරිය

එතෙර - මෙතෙර