ජෝ බයිඩ්න් ඇමරිකාවේ ජනාධිපති තරගයෙන් ඉවත් වීමෙන් පසු;

vinivida

ලබන නොවැම්බරයේ පැවැත්වීමට නියමිතව ඇති ඇමරිකානු ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට බොහෝ නාටකීය සිදුවීම් සිදු වෙමින් තිබේ. එයට අදාළව වාර්තා වූ අලුත්ම ප්‍රවෘත්තියකින් පැවසුණේ එම ජනාධිපතිවරණට ඉදිරිපත් වීමට සිටි වත්මන් ජනාධිපති ජෝ බයිඩ්න් හදිසියේම එම තරගයෙන් ඉවත් වී ඇති බව යි. ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් බයිඩ්න් තරග කිරීමට සූදානම්ව සිටි අතර ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්‍ෂයෙන් තරග කරන්නේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

ජනාධිපතිවරණයට ඩිමොක්‍රටික් පක්‍ෂයෙන් ඉදිරිපත් කරන අපේක්‍ෂකයා තේරීම සඳහා පසුගිය කාලයේ පක්‍ෂ අභ්‍යන්තරයේම ප්‍රාථමික ඡන්ද විමසීම් පෙලක් ප්‍රාන්ත මට්ටමින් පැවැත්වුණු අතර ඉන් ජය ලැබුවේ බයිඩ්න් ය. ඒ අනුව ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලබා සිටි අතර ඔහුගේ අපේක්‍ෂකත්වය නිල වශයෙන් නිවේදනය කිරීමට නියමිතව තිබුණේ අගෝස්තු 19 වැනි දින ආරම්භ වන පක්‍ෂයේ ජාතික මහා සම්මේලනයේදී ය. නමුත් එයට කලින් බයිඩ්න් තරගයෙන් ඉවත් වී තිබේ.

ජෝ බයිඩ්න්

ඔහු මේ ආකාරයෙන් තරගයෙන් ඉවත් වූයේ කැමැත්තකින්ම නොවේ. තරගයෙන් ඉවත් වන මෙන් පසුගිය දිනවල ඔහුගේ ඩිමොක්‍රටික් පක්ෂය තුළින් ඉදිරිපත් වූ දැඩි ඉල්ලීම් නිසා ය. එවැනි ඉල්ලීම් ඉදිරිපත් වූයේ බයිඩ්න්ගේ වයස නිසා පසුගිය දිනවල යම් යම් ගැටලු මතු වූ හෙයිනි. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 81 කි. ඔහු සහ ට්‍රම්ප් අතර පැවැති රූපවාහිනී විවාදයකට ඔහු මුහුණ දුන් දුර්වල ආකාරය පසුගිය දිනවල විශාල අවධානයක් දිනා ගත්තේය. එහි දී ඔහු කී සමහර දේවල් අපැහැදිලි සහ ව්‍යාකූල බවක් ගත් බව ද පෙනිණි.

තවත් ධුර කාලයක් දැරීමට සුදුසු කායික මානසික තත්ත්වයක බයිඩ්න් නොසිටින බවට ටික කාලයක සිටම මතුවෙමින් තිබූ අදහසක් මෙම විවාදයත් සමග වඩාත් ප්‍රබල ලෙස නැගෙන්නට වූයේය. ඔහුට තරගයෙන් ඉවත් වන මෙන් දැඩි පීඩනයක් එල්ල වන්නට පටන් ගත්තේ එයින් පසුව යි. බයිඩ්න් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ට්‍රම්ප් පහසුවෙන් ජය ගනු ඇති බවක් ජනමත සමීක්‍ෂවලින් ද ප්‍රකාශ වන්නට විය.

ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බයිඩ්න් දැඩි කැමැත්තෙන් සිටියත් පක්‍ෂයෙන් එල්ල වූ පීඩනය හමුවේ ඔහුට එම තරගයෙන් ඉවත් නොවී සිටින්නට හැකි වූයේ නැත. පසුගිය ඉරිදා ජනාධිපති සටනින් ඉවත් වෙමින් ඔහු පැවසුවේ පක්‍ෂයේ සහ රටේ යහපත ගැන සිතා මෙම තීරණය ගන්නා බව යි.

කමලා හැරිස්

දැන් කව්රුත් කුතුහලයෙන් යුතුව බලා සිටින්නේ බයිඩ්න් වෙනුවට ට්‍රම්ප් සමග සටනට යන අලුත් අපේක්‍ෂකයා කව්රුන් වනු ඇත් ද යන්න ගැන ය. පවතින ප්‍රායෝගික තත්ත්වයන් තුළ එම අවස්ථාව හිමි කර ගැනීමට වැඩි ඉඩක් ඇත්තේ වත්මන් උප ජනාධිපතිනිය වන කමලා හැරිස් ය. කෙසේ නමුත් ඊළඟ අපේක්‍ෂකයා කව්රුන් ද යන්න තීරණය කරනු ඇත්තේ ලබන මස පැවැත්වෙන පක්‍ෂ සම්මේලනයේදී යි. මේ වනවිට හැරිස් ගේ අපේක්‍ෂකත්වයට ඩිමොක්‍රටික් පක්‍ෂයේ බොහෝ ජ්‍යෙෂ්ඨයන්ගෙන් කැමැත්ත පළ වී ඇති බව වාර්තා වේ. තමාගේ සම්පූර්ණ සහය ඇයට ලබා දෙන බව බයිඩ්න් ද පවසා තිබේ.

යම් හෙයකින් කමලා හැරිස්ට ජනාධිපති අපේක්‍ෂකත්වය හිමි වී ඇය ජනාධිපතිවරණයෙන් ජයගතහොත් එය ඇමරිකානු ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් වනු ඇත. මන්ද යත් මෙයට පෙර කිසි අවස්ථාවක කාන්තාවක එරට ජනාධිපති පදවියට පත්ව නැති බැවිනි. හැරිස් කළු ජාතික කාන්තාවක වීම ද විශේෂත්වයකි. මෙයට කලින් කළු ජාතිකයකු ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත්ව ඇත්තේ ද එක් අවස්ථාවක පමණි. එම පුද්ගලයා නම් 2009-2017 අතර කාලයේ එම පදවිය දැරූ බරැක් ඔබාමා ය. හැරිස් ජනාධිපති ධුරයට පත් වුවහොත් එම ධුරයට පත්වන දෙවැනි කළු ජාතිකයා බවට ද ඇය පත්වනු ඇත.

කමලා හැරිස් ගේ මව වූ ශ්‍යාමලා ගෝපාලන් ඉන්දියාවේ උපත ලද දෙමළ කාන්තාවක වූ අතර පියා ඩොනල්ඩ් හැරිස් ජැමයිකානු ජාතිකයෙකි. ඔවුන් දෙදෙනා විවාහ වී තිබුණේ ඇමරිකාවට සංක්‍රමණය වීමෙන් පසුව යි. ඇමරිකාවේ දී විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ ශ්‍යාමලා සහ ඩොනල්ඩ් උගත්කම අතින් ඉහළටම ගිය යුවළක් විය. ඩොනල්ඩ් ආර්ථික විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකු වූ අතර ශ්‍යාමලා ජීව විද්‍යාවට සම්බන්ධ ආචා්රය උපාධියක් ලබා ගත්තාය.

බයිඩ්න් සහ කමලා හැරිස්

කමලා හැරිස් දේශපාලනයට පිවිසීමට පෙර කටයුතු කළේ නීති ක්‍ෂේත්‍රයේ යි. කලක් ඇය කැලිෆෝනියා ප්‍රාන්තයේ නීතිපති ධුරය ද දැරුවාය. ඇය දේශපාලන විද්‍යාව සහ ආර්ථික විද්‍යාව පිලිබඳ උපාධිධාරිනියක ද වේ.

මේ වනවිට 59 වැනි වියෙහි පසුවන හැරිස් ඇමරිකාවේ උපත ලැබූ කෙනෙකු වුවත් ඇය කුඩා කාලයේ ඉන්දියානු සංස්කෘතියට අනුව හැදුණු වැඩුණු කෙනෙකු බව සඳහන් වේ. ඇයගේ මවත් පියාත් ඇය කුඩා කාලයේම එකිනෙකාගෙන් දික්කසාද වී තිබිණි. එයින් පසු කමලා හැරිස් සහ ඇගේ සොහොයුරිය මායා හැදීවැඩුණේ ඔවුන් ගේ මව ශ්‍යාමලා ළඟ ය. ඉන්දියානු කාන්තාවක වූ ඇය තම දරුවන් ඉන්දියානු මූලයන්ගෙන් ඈත් නොකිරීමට වගබලාගෙන තිබුණා ය. කමලා හැරිස් ඇයගේ මතක සටහන් ඇතුළත් කර ලියූ ග්‍රන්ථයක ද මේ ගැන සඳහන් කර තිබේ. ඉන්දියානු සංස්කෘතික උරුමයන්ට ගරු කිරීමට තම මව තමුන්ට කුඩා කාලයේ සිටම ඉගැන්වූ බැව් ඇය පවසයි.

යම් හෙයකින් හැරිස් ඇමරිකාවේ ජනාධිපති ධුරයට පත් වුවහොත් ඉන්දියාව ද එය මහත් අභිමානයෙන් සමරනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර