සංඝයා වහන්සේ නමකගේ සිවුර ඉවත් කළ හැක්කේ මහා සංඝරත්නයට පමණක් බව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝ පවසති.බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළහ.ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීමට පෙර උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවෙන් ඒ පිළිබඳව විමසීමට යුතුකමක් තිබූ බව ද මහා නාහිමියෝ පෙන්වා දුන්හ.
ශ්‍රී ලංකාවේ ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයෙන් සියයට 99ක් පමණ ඥානසාර හිමියන්ට සිදුවූ බව කියන නිග්‍රහයට විරුද්ධ බව ද උන්වහන්සේ සඳහන් කළහ.ඉතිහාසයේ සිටම ශ්‍රී ලංකාව බෞද්ධ පදනමක් සහිත රටක් බවත්, බුදුදහම ආරක්ෂා කිරීම සියලු දෙනාගේම යුතුකමක් බවත් අවධාරණය කළ ඉත්තෑපානේ ධම්මාලංකාර මහා නාහිමියෝ, රටේ ආර්ථික හා සමාජීය සංවර්ධනය සඳහා ද බුදුදහම මූලික කරගත් සම්ප්රදාය වැදගත් වූ බව ප්‍රකාශ කළහ.