ටයිටන් සබ්මැරීනයට සිදු වූ විනාශය සමහරු කල් ඇතිව සිහිනයෙන් දැක්කේ කොහොමද ? – හේම ශ්‍රී අමරසිංහ

 

පසුගිය දා මුළු ලෝකයේම නොමඳ අවධානයට යොමු වූ ටයිටන් සබ්මැරීනය සාගර ගැඹරේ අතුරුදන් ව එහි සුන්බුන් මුහුදු පත්ලෙන් හමුවීමට පෙර එසේ එහි කොටස් මුහුදු පත්ලේ තිබෙනු සිහිනයෙන් දුටු කිහිප දෙනකු පිළිබඳව මට අසන්නට ලැබිණ.ඒ සම්බන්ධයෙන් ඔවුන් ගේ මතය වූයේ අනාගතයේ සිදුවන යමක් පිළිබඳ පූර්ව සංඥා ද සිහින මඟින් පෙන්නුම් කෙරෙන බවට ලොව පුරා පවතින නියාමය මත ඇතැමුන් හමුවේ එම දර්ශන සිහිනයෙන් මැවී පෙනුණු බවකි.

පොදුවේ අප වෙත පැමිණෙන සේවාලාභීන්ගෙන් සැලකිය යුතු කොටසක් තමන් එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන නරක තත්ත්වයන් අතරට නපුරු සිහින මඟින් ලැබුණු පූර්ව සංඥා ද ගෙනහැර දක්වති.ඒ අතර ඇතැමුන් පවසනුයේ දැන් කලෙක සිට නිරතුරුවම නපුරු සිහින පෙනෙන බවකි.සමහරු එසේ මෑතක දුටු නපුරු සිහිනයක් පිළිබඳ විස්තර කොට එමගින් අත්විය හැකි ප්‍රතිඵල පිළිබඳව ද අපගෙන් විමසා සිටිති.

සිහින පෙනීම මිනිසුන් සේම බොහෝ තිරිසන් සතුන් ද එදිනෙදා මුහුණ දෙන සාමාන්‍ය තත්වයකි. නින්දේ දී මොළයේ ස්නායු පද්ධතිය කාර්යක්ෂම නොවීම ආදී හේතු මත මනසේ හට ගන්නා නොවිධිමත් පරිකල්පනයන් සිහින වශයෙන් හැඳින්වෙන බව ඒ සම්බන්ධ විද්‍යාත්මක නිගමනයයි. එමෙන්ම සාමාන්‍ය ව්‍යවහාරයේදී සිහින දැකීම යනුවෙන් හැඳින්වුව ද මෙය නිවැරදි ලෙස විස්තර කළ යුත්තේ සිහින මැවී පෙනීම යනුවෙනි.

නමුත් භෞතික විද්‍යාත්මකව එසේ විස්තර කළ ද අප සිහින දැකීම යනුවෙන් හැඳින්වෙන ක්‍රියාවලිය තුළ ඊට වඩා බරපතළ බවක් ගැඹුරක් ඇතැයි යන විශ්වාසයක් පෙරදිග ජන විඥානයේ තිබේ. ඒ සම්බන්ධයෙන් පෙරදිග නොයෙකුත් මතවාද පවතින අතර එම විෂය සම්බන්ධ බොහෝ පොතපත ද ලියැවී තිබේ. ඒ අතුින් බ්‍රහස්පති සෘෂීන් විසින් ලියන ලද බව පැවසෙන ‘ප්‍රණීත ස්වප්න ශාස්ත්‍ර’ නම් මැහැඟි ග්‍රන්ථයේ සිහින කොටස් හයක් වශයෙන් දක්වා තිබේ. වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂ තත්ත්වයන් කිපීමෙන් පෙනෙන සිහින, දෙවියන් විසින් දක්වනු ලබන සිහින, දිවා කල ඇසු දුටු දේ සිත තුළ තැන්පත් වීමෙන් එළිදැක්වෙන සිහින පූර්ව නිමිති ලෙස දැක්වෙන සිහින සහ ප්‍රකෘති සිහින යනු එම සය කොටසයි. ඒ අනුව ස්වප්න ඵල විනිශ්චයක දී හෙවත් සිහින පලාඵල දැක්වීමේ දී ඉහත සඳහන් ස්වප්න භේදය පිළිබඳව එම විනිශ්චය දෙන තැනැත්තා තුළ මනා අවබෝධයක් තිබිය යුතු බව බ්‍රහස්පති සෘෂිහු සිය කෘතියෙන් අවධාරණය කරති.නමුත් අද සිහින පලාඵල වශයෙන් බොහෝ දෙනකු කරන්නේ “කටට එන දෙයක්” කීම ය.එහෙත් නිවැරදි ස්වප්න පලාඵල විනිශ්චයට අනුව එම පලාඵලයට පදනම් කර ගත් මූලාශය ද සේවා ලාභියාට ලිඛිතවම ඉදිරිපත් කළ යුතුම ය.

අතීත භාරතයේ බ්‍රාහ්මණයන් සතු විද්‍යා ශාස්ත්‍ර අතරින් ස්වප්න පලාපල කථනයට සුවිශේෂ තැනක් ලැබී තිබිණ. ඒ බවට බෞද්ධ සාහිත්‍යයෙන් ලද හැකි නිදසුන් බොහොමයකි. අප සමාජයේ බොහෝ දෙනකු දන්නා කොසොල් රජතුමාගේ සිහින දහසය සම්බන්ධ පුරාවෘත්තය දැක්වෙන මහා සුපින ජාතක වර්තමාන කතාවෙන් ඒ සම්බන්ධ ඉතා වැදගත් පුවතක් අනාවරණය වෙයි. ඒ කොසොල් රජතුමා දුටු සිහින දහසයක් මුල්කොට බ්‍රාහ්මණයන් රජතුමා නොමඟට යවා ගසා කන්නට ගිය විටෙක බුදුන් වහන්සේ ඒ සිහින රජතුමාට අහිතකර නොවන සේ අර්ථකථනය කොට එම සිහින ගැටලුව විසඳූ පුවතක් මගිනි.

මෙම සිහින දැකීම සහ පලාපල සම්බන්ධ පෙරදිග සේම අපරදිග මතයන් ද බෙහෙවින් සංකීර්ණ සහ පරස්පර ස්වභාවයක් ගනී. එහෙත් ඒ සම්බන්ධ පරස්පර නොවන තැන් සේම පොදු එකඟතාවන් ද දැකිය හැක. ාමාන්‍යයෙන් යමකු තද නින්දේ දී සිහින නොදකින බවත් සිහින දැකීම අර්ධ නින්ද හෙවත් ‘කපි’ නම් අවස්ථාවට පමණක් සීමා වන බවත් එවන් පොදු මතයකි.මෙම අවස්ථාව විද්‍යාත්මකව හැඳින්වෙනුයේ අක්ෂි චලන වේග( REM-Rapid eye movement ) යනුවෙනි. සිහින සම්බන්ධ එවැනිම තවත් පොදු මතයක් වනුයේ දිවා ස්වප්න හෙවත් දවල් සිහින යනු ස්වප්නමය වශයෙන් කිසිදු අගයක් නොමැති සිහින විශේෂයක් බව ය.එනිසාම ඉටු නොවන බලාපොරොත්තු සම්බන්ධයෙන් ද සමහරු “දවල් හීන” යන වදන යොදති එමෙන්ම ඉහත සඳහන් වා, පිත්, සෙම් යන ත්‍රිදෝෂ තත්ත්වයන් යටතේ හෝ දැඩි ශීත හෝ උණුසුම් තත්වයන් යටතේ දකින සිහින ද බොහෝ විට ඒ පාරිසරික සංවේදීතාවන් ම පදනම් විය හැකි බව පොදු මතයකි. මෙහි දී අපගේ ගැමි වහරට අනුව පැවසෙන ‘දුරුතු හීන’ යන යෙදුම ද විශේෂයෙන් සැලකිල්ලට ගත යුතුය.

අප රට පුරාම මෙම ජනවාරිය හෙවත් දුරුතු මාසය වසරේ සෙසු කාලවලට වඩා සීතල බවින් යුතු ය.අලුයම් කාලවල දී එම සීතලය වඩාත් තීව්‍ර වන අතර එමඟින් සිරුරට දැනෙන පාරිසරික සංවේදිතාව මත නින්දත් නොනින්දත් අතරේ සිහින පෙනීමේ වැඩි හැකියාක් තිබේ.

මේ අතර විදේශයක වෙසෙන ශ්‍රී ලාංකේය කාන්තාවක පසුගිය වසර අවසානයේ දිනයෙක තමන්ගේ ගේ ගේ දොර ඇතුළු සියලු දේපල ගින්නෙන් පිළිස්සී විනාශ වනු සිහිනයෙන් දැක බියපත්ව දුරකථනයෙන් මාඇමතුවාය. එවිට මා ඇයගෙන් එම රටට මෙය ශීත සෘතුව බැවින් නිදන කාමරය කාත්‍රිමව උණුසුම් කොට තිබේ දැයි අසා සිටියෙමි. එවිට ඇය කීවේ සැබැවින්ම තම නිදන කාමරය නිතිපතා කෘත්‍රිම ලෙස උණුසුම්ව තබා ගන්නා බවකි. ඒ අනුව මෙම ගිහි සම්බන්ධ සිහිනවල පදනම එය වීමට ද පුළුවන. මෙහි දී බොහෝ සිහින විශ්ලේෂකයන් පවසා සිටිනුයේ රාත්‍රී, පෙරයම සහ අලුයම පිබිදීමට පෙර දකින සිහිනවලට වඩා රාත්‍රී මධ්‍යම යාමයේ දකින සිහින පලාපල කථනය සඳහා සුදුසු බවකි.

මේ අතර බොහෝ දෙනකු සිතනුයේ යම් යම් නපුරු සිහින දැකීමෙන් රාත්‍රී නින්දෙන් පිබිදීම අසුබ පල උදා කරවන්නක් බවකි. එහෙත්, සිහින යනු හුදෙක් සංකේතාත්මකව විස්තර කළ යුත්තක් මිස ඒ සිහිනයෙන් දකින දෙයට අනුරූප ලෙස ප්‍රතිඵල ගෙන දෙන්නක් නොවේ. නිදසුනක් ලෙස යමකු සිහිනයෙන් තම නිවසේ අවමඟුලක් සිදුවනු දැකීම එම පවුලේ සාමාජිකයකුගේ මරණයක් පිළිබඳ අසුබ පෙරනිමිත්තක් නොවේ. ඒ අනුව පොදුවේ ගත් කල මෙම සිහිනවල සුබ අසුබ වන විනිශ්චය වනුයේ සිහිනයෙන් දකින දෙය අනුව නොවන බව පෙරදිග මතයයි. සිහින පිළිබඳ ලොව මුල්ම විධිමත් මනෝ විද්‍යා විග්‍රහය වන සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගේ සිහින අර්ථ නිරූපණය නම් කෘතියට අනුව වුව සිහිනවල ඇත්තේ යම් සංකේතාත්මක පදනමක් පමණි.ඒ අනුව ඉහත සඳහන් ටයිටන් සබ්මැරීනය අතුරුදන් ව දින කිහිපයක් පසුවීමෙන් පසු ඊට අනතුරක් සිදුවිය හැකිය යන්න පිළිබඳව මනැසේ සනිටුහන් ව ඇති පූර්ව විඥානය පදනම් ව එවැනි සිහිනයක් නිර්මාණය වීමේ මනා හැකියාවක් තිබේ.

නමුත් එහි සමාජමය ඛේදවාචකය නම් එදිනෙදා ජීවිතයේ දී මිනිසුන් දකින සිහින මුල් කොට ද ගසා කන ජාවරම්කාර පැලැන්තියක් මේ වන විට අප රටේ බිහි ව තිබීමය.ඒ බව ඉහත සඳහන් කාන්තාවට කී මම ඒ සඳහා කළ හැකි හොඳම දෙය එය අමතක කොට මානසිකත්වය ඉහළ නංවා ගැනීම බව ද අවධාරණය කළෙමි.

හේම ශ්‍රී අමරසිංහ

එතෙර - මෙතෙර