ටික්ටොක් හඳුන්වා දුන් ෂැං යීමිං චීනයේ ලොකුම ධනවතා වෙයි

මේ වනවිට ලෝකයේ ජනප්‍රියම යෙදවුමක් ( App එකක්) වන ටික්ටොක් (Tiktok) යෙදවුම ලොවට හඳුන්වා දුන් බයිට්ඩාන්ස් (ByteDance) නැමැති චීන සමාගමේ නිර්මාතෘ ෂැං යීමිං (Zhang Yiming) චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ බව අනාවරණය වන්නේ එරට හූරුන් සමීක්‍ෂණ ආයතනය නැමැති ආයතනයක් විසින් එළිදක්වන ලද වාර්තාවකිනු යි. එම වාර්තාව සඳහන් කරන ආකාරයට යීමිං ගේ වත්කම මේ වනවිට ඇ.ඩොලර් බිලියන 49.3 කට ආසන්නයි. එය ලංකා රුපියල්වලින් ටි්‍රලියන 15 කට (බිලියන 15,000 කට) ආසන්න වත්කමක්.

යීමිංට මේ ආකාරයෙන් චීනයේ ධනවත්ම මිනිසා බවට පත් වීමට හැකිව ඇත්තේ මෑත කාලයේ ටික්ටොක් ලැබූ අතිමහත් ජනප්‍රියත්වය නිසා යි. බයිට්ඩාන්ස් සමාගමේ ආදායම් සහ ලාභ මෑත කාලයේ විශාල වශයෙන් වැඩි වී තිබුණා. 2023 වසර තුළ එම සමාගම ලැබූ ආදායම ඇ.ඩොලර් බිලියන 110 ක් පමණ වූ බවයි සඳහන් වන්නේ. එම වසරේ සමාගමේ ලාභය සියයට 60 කින් පමණ වැඩි වී තිබූ බවත් වාර්තා වෙනවා.

යීමිංට මේ ආකාරයෙන් චීනයේ ධනවත්ම මිනිසා බවට පත් වීමට හැකිව ඇත්තේ මෑත කාලයේ ටික්ටොක් ලැබූ අතිමහත් ජනප්‍රියත්වය නිසා යි. බයිට්ඩාන්ස් සමාගමේ ආදායම් සහ ලාභ මෑත කාලයේ විශාල වශයෙන් වැඩි වී තිබුණා. 2023 වසර තුළ එම සමාගම ලැබූ ආදායම ඇ.ඩොලර් බිලියන 110 ක් පමණ වූ බවයි සඳහන් වන්නේ. එම වසරේ සමාගමේ ලාභය සියයට 60 කින් පමණ වැඩි වී තිබූ බවත් වාර්තා වෙනවා.

බයිට්ඩාන්ස් සමාගම ආරම්භ කරන ලද්දේ 2012 වසරේ යි. 2015 වසරේ තමයි එම සමාගම ටික්ටොක් යෙදවුම හඳුන්වා දුන්නේ. එය හඳුන්වා දී ඉතාම කෙටි කාලයක් තුළ ලොව පුරා සුවිසල් ජනප්‍රියත්වයක් හිමි කරගන්නට සමත් වුණා. ටික්ටොක් වෙත වඩාත්ම ආකර්ශණය වූයේ තරුණ සහ යොවුන් පරපුරේ උදවිය යි.

ෂැං යීමිං මේ වනවිට බයිට්ඩාන්ස් සමාගමේ ඉහළ තනතුරු කිසිවක් දරන්නේ නැහැ. 2021 වසරේ ඔහු එම වගකීම්වලින් ඉවත් වී තිබුණා. නමුත් සමාගමේ කොටස්වලින් සියයට 20 ක් පමණ අයත්ව ඇත්තේ ඔහුට යි.

41 වැනි වියේ පසුවන යීමිං උපත ලැබුවේ 1983 අප්‍රේල් 1 වැනි දින යි. ඔහුගේ මව්පියන් පරිපාලන සේවයේ කටයුතු කළ අය බව සඳහන්. යීමිං එම පවුලේ එකම දරුවා ලෙසයි හැදී වැඩුණේ. ඔහු විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබා තිබුණේ තියාංජින් නැමැති නගරයේ නන්කායි විශ්වවිද්‍යාලයේ යි. එහි දී පරිගණක ඉංජිනේරු විද්‍යා උපාධියක් ලබා ගන්නට යීමිං සමත් වුණා. මෙම කාලයේ ක්‍ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු විද්‍යාව සහ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව යන විෂයයන් ද ඔහු හදාාරා තිබුණා. යීමිං කලක් මයික්‍රොසොෆ්ට් සමාගමේ ද සේවය කළ බව සඳහන්. නමුත් එම සමාගමේ නීති රීති ඔහුට එතරම් සුවදායක නොවූ නිසා යීමිං ටික කලෙකින් එහි සේවයෙන් ඉවත්ව තිබුණා.

ඔහුගේ බයිට්ඩාන්ස් සමාගම හඳුන්වා දුන් ටික්ටොක් යෙදවුම මේ වනවිට ලොව පුරා විශාල ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇතත් ඊට එරෙහිව යම් යම් චෝදනා ද එල්ල වී ඇති බව රහසක් නොවෙයි.

ටික්ටොක්ට එරෙහිව එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ වෙනත් රටවල වැසියන් පිලිබඳ ඔත්තු බැලීමට චීන රජය මෙය යොදා ගැනීමට හැකි බව යි. මේ ආකාරයෙන් ඔත්තු බැලීම පිලිබඳ බියක් ඇති වූයේ බයිට්ඩාන්ස් සමාගම සහ චීන රජය අතර සම්බන්ධයක් ඇති බවට වූ විශ්වාසය නිසා යි. බයිට්ඩාන්ස් සමාගම ලබා ගන්නා ටික්ටොක් පරිශීලකයන්ගේ තොරතුරු චීන රජය අතට පත් වීමට ඉඩ ඇති බවට ඇතැමුන් සැක මතු කළා.

ඇතැම් රටවල් ටික්ටොක් සම්පූර්ණයෙන් තහනම් කර ඇති බව රහසක් නොවෙයි. අප අසල්වැසි ඉන්දියාවත් ටික්ටොක් තහනම් කර ඇති රටක්. ඒ වගේම තවත් බොහෝ රටවල් එම යෙදවුම භාවිත කිරීම සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා. ඇතැම් විට ඇමරිකාවත් ලබන වසරේ ටික්ටොක් සම්පූර්ණයෙන් තහනම් කරන්නට පිලිවන්. බයිට්ඩාන්ස් සමාගම ටික්ටොක් යෙදවුම වෙනත් පාර්ශ්වයකට නොවිකුණුවහොත් 2025 වසරේ තමුන් ටික්ටොක් තහනම් කරන බව ඇමරිකාව පවසනවා. තමුන් සහ චීන රජය අතර සම්බන්ධයක් නැති බව බයිට්ඩාන්ස් සමාගම පුන පුනා පැවසුවත් ඇමරිකාව වැනි රටවල් එය නොපිලිගන්නා බවයි පෙනෙන්නේ.

මේ මොන ප්‍රශ්න තිබුණත් ටික්ටොක් යෙදවුම සහ බයිට්ඩාන්ස් සමාගම ව්‍යාපාරික වශයෙන් ඉතා සාර්ථක ගමනක් යමින් සිටින ආකාරය දැකගත හැකියි. නමුත් යම් හෙයකින් ඇමරිකාව ටික්ටොක් තහනම් කළහොත් එයින් එම සමාගමට යම් බලපෑමක් වීමට ඉඩ තිබෙනවා. එයට හේතුව ඇමරිකාව තුළ ටික්ටොක් පරිශීලකයන් අති විශාල ප්‍රමාණයක් සිටීම යි. සංඛ්‍යාලේඛනවල දැක්වෙන ආකාරයට ඇමරිකාවේ සිටින ටික්ටොක් පරිශීලකයන් ගණන මිලියන 170 කට ආසන්නයි.

ටික්ටොක් නිර්මාතෘ ෂැං යීමිං චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙද්දී පසුගිය කාලයේ බොහෝ අවස්ථාවල එම වාර්තාවට හිමිකම් කියමින් සිටි ෂොං ෂන්ෂාන් දෙවැනි තැනට පත්ව සිටිනවා. ෂන්ෂාන් යනු නොංග්ෆු ස්ප්‍රිං නැමැති දැවැන්ත සමාගම ආරම්භ කළ පුද්ගලයා යි. එය බෝතල් කළ පානීය ජලය සහ වෙනත් බීම වර්ග අලෙවි කරන සමාගමක්. ෂන්ෂාන් ගේ වත්කම ඇ.ඩොලර් බිලියන 47.9 ක් බව වාර්තා වෙනවා.

කෙසේ හෝ වේවා, ටික්ටොක් නිර්මාතෘ ෂැං යීමිං චීනයේ ධනවත්ම පුද්ගලයා බවට පත් වෙද්දී පසුගිය කාලයේ බොහෝ අවස්ථාවල එම වාර්තාවට හිමිකම් කියමින් සිටි ෂොං ෂන්ෂාන් දෙවැනි තැනට පත්ව සිටිනවා. ෂන්ෂාන් යනු නොංග්ෆු ස්ප්‍රිං නැමැති දැවැන්ත සමාගම ආරම්භ කළ පුද්ගලයා යි. එය බෝතල් කළ පානීය ජලය සහ වෙනත් බීම වර්ග අලෙවි කරන සමාගමක්. ෂන්ෂාන් ගේ වත්කම ඇ.ඩොලර් බිලියන 47.9 ක් බව වාර්තා වෙනවා.

චීනයේ ධනවත්ම පුද්ගලයන් අතර මේ වනවිට තුන්වැනි තැන සිටින්නේ පොනී මා. ඔහු තාක්ෂණික ක්‍ෂේත්‍රයේ බහුජාතික සමාගමක් වන ටෙන්සෙන්ට් සමාගම ආරම්භ කළ අයගෙන් කෙනෙක්. මෙම සමාගම ලෝකයේ විඩියෝ ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ද ඉදිරියෙන්ම සිටින සමාගමක්. පොනි මා ගේ වත්කම ඇ.ඩොලර් බිලියන 44.4 ක් බව සඳහන්.

නිහාල් පීරිස්

එතෙර - මෙතෙර