තරුණයකුට පා පහරක් එල්ල කළ යුද හමුදා ලුතිනන් කර්නල් ගැන විමර්ශනයක්

කුරුණෑගල යග්ගහපිටිය IOC ඉන්ධන පිරවුම්හලේ දී යුද හමුදා ලුතිනන් කර්නල් වරයකු විසි හය හැවිරිදි තරුණයකුට පා පහරක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව යුද හමුදාව පවසයි.යග්ගහපිටිය පිරවුම්හල අසල කලහකාරී ලෙස හැසිරුණු බව පැවසෙන පුද්ගලයෙකු යුද හමුදා සෙබළුන් විසින් සිය භාරයට ගෙන තිබූ අවස්ථාවකදී අදාළ යුද හමුදා ඉහළ නිලධාරියා විසින් එම පුද්ගලයාට පා පහරක් එල්ල අයුරු වීඩියෝ කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.මේ සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මාධ්‍යට ප්‍රකාශ කර ඇත්තේ, පහරදීමේ සිද්ධියට සම්බන්ධ ඉහළ නිලධාරියා සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවය.හමුදා නිලධාරීන්ට අසභ්‍ය වචනවලින් බැණ වැදුණු පිරිසක් පොලිසියට රැගෙන යමින් සිටියදී මෙම සිද්ධිය සිදුව ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.මෙම ලුතිනන් කර්නල් වරයා කුරුණෑගල, වැහැර යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියා බව ද පැවසෙයි.

කාලීන පුවත්