නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශයට පත් කිරීමේ සහ මැතිවරණයට අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වීමට පහසුකම් සැලසීමේ අරමුණින් ‘පළාත් පාලන මැතිවරණ පනත’ සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී ඇති බව නීතිපතිවරයා ඊයේ (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියි.
ඒ අනුව 2024 ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සහ කැඳවා ඇති නාමයෝජනා පත්‍ර අවලංගු කර අලුතින් නාමයෝජනා පත්‍රයක් කැඳවීමට අවශ්‍ය විධිවිධාන ඇතුළත් කර එම සංශෝධිත පනත් කෙටුම්පත සකස් කරන ලෙස නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට කැබිනට් මණ්ඩලය මඟින් දැනුම් දී ඇතැයි ද නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට තවදුරටත් දැනුම් දෙනලදි.
2024 ජන්ද හිමි නාමලේඛනය පදනම් කර ගනිමින් පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශපාලන පක්ෂ සාමාජිකයන් පිරිසක් විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා මේ බව දන්වා සිටියි.
නව තරුණ ඡන්දදායකයන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමේ අරමුණින් 2024 ඡන්ද හිමි නාමලේඛනය පදනම් කරගෙන පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම එහි එක් අරමුණක් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කරයි.
එම මැතිවරණය සඳහා 2023 වසරේදී කැඳවන ලද නාමයෝජනා අහෝසි කර නව නාමයෝජනා කැඳවීමට සහ තැන්පත් කළ ඇප මුදල් නැවත ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහිදී සඳහන් කරනලදි.