තරුණයන් හා දිවීමට හැකියැයි නොකියා තරුණයන් පෙරට ගත යුතු බව කියන රනිල් වික්‍රමසිංහ නම් “අමුතු මිනිසා”

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.වර්තමාන සමාජ ආර්ථික අස්ථාවර භාවය සම්බන්ධව ඔහු සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ හඬ පටයක් මඟින් කළ එම විශේෂ ප්‍රකාශය ඔහුගේම වදන් වලින් මෙලෙසිනි.

“අපේ ප්‍රධානම ප්‍රශ්න රටේ ආර්ථිකයයි ගෙදර ආර්ථිකයයි. ආහාර ලබා ගන්න,ඉන්ධන ලබා ගන්න, ගෑස් ලබා ගන්න ,බෙහෙත් ලබා ගන්න, පෝර ලබා ගන්න.මේ ප්‍රශ්න විසඳන්න තියනවා .මැයි මාසේදී ඉන්දියාවෙන් ලැබෙන මුදල් අවසාන වෙනවා.අලුතෙන් ණය ලබන පාටක් තවම අපට පෙනිලා නෑ.එහෙම නිවේදන නෑ.එහෙනම් ආර්ථික ප්‍රශ්න තවත් උග්‍ර වෙලා විශේෂයෙන් යෙන්ම ව්‍යාපාර කඩ සාප්පු සියල්ලම වහන තත්ත්වකට එන්න පුලුවන්.එහෙනම් අපිට මේ ප්‍රශ්නෙ අපිට කල් දාන්න බෑ.

මේ ප්‍රශ්නෙ මේ පාර්ලිමේන්තුවේදී ම විසඳන්න ඕනේ.මැතිවරණ තියන්න වෙලාවක් නෑ.ඒ නිසා පාර්ලිමේන්තුව මූල්‍ය බලය අරගෙන කැබිනට් මන්ඩලය සමඟත් ඒ වගේම මේ තරුණ හඬ සමඟත් එකට එකතු වෙලා වැඩකරන යෝජනා කිහිපයක් මම එදා පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළා.එතනදී අපි යෝජනා කළේ මුල්‍ය බලය පාර්ලිමේන්තුවට අරගන්න. ඒක ක්‍රියාත්මක කරන්න මුල්‍ය වැඩකටයුතු සඳහා කාරක සභා 6 ක් පත් කරන්න.ඒ වගේම අධීක්ෂණ කාරක සභා 20කට නොවැඩි ප්‍රමාණයක් පත් කරන්නත් යෝජනා කළා.

ඒ සමඟම මේ වැඩකටයුතු සම්බන්ධීකරණය කරන්නත් කැබිනට් මණ්ඩලයක ක්‍රියා කරන්නත් පක්ෂ නායකයින්ගේ ජාතික කොමිටියක් අපි ඇතුල් කරලා තියනවා.එහෙනම් මේ යන්ත්‍රණෙන් ක්‍රියා කරන්න .ඊට අමතරව මේ යන්ත්‍රණය තුළ මේ අධීක්ෂණ කොමිටි වලටත් ඒ වගේම මුල්‍ය පාලනය කරන කොමිටි 6 ටත් තරුණ නියෝජිතයන් 3 දෙනා ගාණෙ පත් කරන්නත් අවකාශය තිබෙනවා.ඒක කළ යුතුයි.දැන් ඒ යෝජනා වලට අමතරව තව යෝජනා කිහිපයකුත් මම කරලා තියනවා.විශේෂයෙන්ම එක ප්‍රශ්නයක් වුණේ, පාර්ලිමේන්තු නායකයින් ඉන්න ජාතික සභාවෙ බලතල මෙතනදි සඳහන් කරල තියනවා.

එක කාරණයක් තමයි මේ සියලු දෙනාම එක් රැස් කරගන්න, දෙවනි කාරණය අපි විශේෂයෙන්ම සඳහන් කරල තියනවා මේ සාකච්ඡාවෙදි කැබිනට් මණ්ඩලයත් ඒ වගේම අධීක්ෂණ කොමිටි වල සභාපතිවරුත්,මුල්‍ය පාලන කොමිටි වල සභාපතිවරුත්,පක්ෂ නායකයිනුත් මුණ ගැහෙන අවස්ථාවේදී තරුණ නියෝජිත කොමිටියකටත් එතෙන්ට ආරාධනා කරන්න.ඒකේ සාමාජිකත්වය 15 ක් 20 ක් අතර වෙන්න පුළුවන්.දැන් ඒ තරුණ සාමාජිකත්වය තෝරගන්න ක්‍රමවේදය විශේෂයෙන්ම ඒ තරුණ හඩට බාර දෙන්න ඕනේ.

ඒ අදහස අරගෙන පාර්ලිමේන්තුව ඒක තීරණය කරන්න පුලුවන්.විශේෂයෙන්ම තරුණ සංවිධාන සමාජ මාධ්‍යයෙන් පිටත් දහස් ගණන් අද තියනවා.ඉතින් ඒ සංවිධාන තුළින් ඍජුවම මේ කොමිටිය පත් කරනවද? ඒක එක විකල්පයක් නැත්නම් මේ සංවිධානය තුළින් නියෝජිතයන් ,තරුණ නායක නියෝජිතයන් 200 ක් 300 ඉන්න සම්මේලනයක් පත් කරනවාද? ඒ සම්මේලනය මාස 3 කට සැරයක් රැස් වෙන්නත් ඒ සම්මේලනයෙන් මේ ප්‍රධාන 15 , 20 ක කොමිටිය පත් කරන්න සමහර අනෙක් විකල්ප වෙන්න පුලුවන්.අන්න ඒ විකල්ප පිළිබඳ අදහස් අපි තරුණ හඬෙන් ලබා ගන්න ඕනෙ.”ගෝටාගෝගමේ” හිටියත් වෙනත් තැන්වල උද්ඝෝෂණය කළත්,තමන්ගේ ව්‍යාපාර කැදෙව්වත් ඒ හැම අදහස්ම ලබා ගන්න උවමනයි.

ඉතින් මම යෝජනා කරන්නෙ අපේ යෝජනා මාලාව තියනවා.දැන් අපේ තරුණ නීතිවේදීන් සිංහල සහ දෙමළ භාෂාවෙනුත් දැනුම් දෙයි.පරිවර්තන කරයි.එහෙනම් ඒ අනුවම, තමන්ගේ අදහස් සමාජ මාධ්‍යයේ පළ කරන්න.තමන්ගේ අදහස් ඕනෙ නම් කතානායක තුමාට එවන්න.මේ අදහස් අපිට සතියකින් දවස් 10 කින් දැනගත්තහම ඒ අදහසුත් අරගෙන ආපහු මේ යෝජනා සංශෝධනය කරලා සාකච්ඡාවට ඉදිරිපත් කරන්න පුලුවන් .තරුණ හඬට අපි තැනක් දෙන්න ඕනේ.අපි කළ යුතුයි.තරුණයන්ට ඒ වගකීම බාරගෙන ඉදිරියට එන්න කියලත් මම ප්‍රකාශ කරමින් මේ කාරණය ගැන කියන කරුණු සියල්ලම පැහැදිලි කරනවා.(උපුටා ගැනීම අවසන්)

අප රටේ එදා මෙදා තුර ජීවත් වූ සියළුම දේශපාලනඥයන් හා සසඳා බලන විට රනිල් වික්‍රමසිංහ තමන්ටම ආවේණික විශේෂ පෞරුෂයක් පළ කරන්නෙකි.එදිනෙදා ජීවිතයේ ප්‍රායෝගිකත්වයන් කෙරෙහි තියුණු සංවේදීතාතාවයක් නොමැති මුත් දීර්ඝ කාලීන කටයුතු සම්බන්ධයෙන් ඉතා විචක්ෂණශීලී මනැස් සහිත මෙවන් පෞරුෂ ලක්ෂණ ඇස්පර්ගර් ගේ පෞරුෂය( Asperger`s personality )ට ද බොහෝ සමාන කම් දක්වයි.”ළඟ නොපෙනෙන දුර පෙනෙන”පුද්ගලයන් ලෙස ද මොව්හු හැඳින්වෙති.තමන් ගේ එදිනෙදා කටයුතු හා පදනම් වන පෞද්ගලික ජීවිත අසාර්ථක කර ගත් නමුදු මානව සමාජයේ නව ප්‍රගමයන් සඳහා විශෙෂ දායකත්වයක් දැක්වූවෝ ද මොවුන් අතර වෙති.

ඒ අනුව මොවුන් එදිනෙදා සමාජයේ ප්‍රායෝගිකත්වයන් හා මුසු කිරීමෙන් ලද හැකි සමාජමය ප්‍රතිලාභයන්ට වඩා යම් සමාජයක ආර්ථික,සමාජ,දේශපාලන පුනරුදය උදෙසා මොවුන් ගේ පුරෝකතනයන් මත පදනම් වූ උපදේශනාත්මක සහාය ගැනීම සමබන්ධයෙන් ලොව දියුණු රට වල බොහෝ පාර්ශවයන්ගේ අවධානය යොමු ව තිබේ.

වර්තමානයේ රට තුළ පැන නැඟී ඇති ඓතිහාසික ඛේදනීය තත්වය මුල් කොට අගමැති මහින්ද රාජපක්ෂ කළ අලුත්ම ප්‍රකාශයට අනුව රට මීට පෙර ද මෙවැනි අර්බුදයන්ට මුහුණ පා තිබේ.එහෙත්, ඔහුගේ ඒ ප්‍රකාශය මුළුමනින්ම සාවද්‍ය වේ.1975 වසරේ සිට වසර දෙකක් රට තුළ මතුව තිබූ උග්‍ර ආහාර හිඟය අතරේ පවා රටේ ආර්ථිකය මෙතරම් අන්ත අසරණ තත්වයකට පත් වූයේ නැත.වර්තමානයේ රට තුළ පැන නැඟී ඇති දරුණු ආර්ථික යම් පමණකට හෝ සම කළ හැක්කේ දෙවන ලෝක යුද්ධ සමයේ ඇති වූ අති දැවැන්ත ආර්ථික බිඳ වැටීමට ය.

එහෙත්,වර්තමානයේ පවත්නා ඛේදනීය තත්වයට විසඳුම් ඉදිරිපත් කරනු තබා ඒ තත්වය කුමක්ද?යන්න වත් හරි හැටි තේරුම් ගෙන නොමැති අගමැති වරයා තමන්ට තරුණයන් හා දිවීමට හැකි බවත් පවතින ඛේදනීය තත්වයට විසඳුම් ගැන කතා කර ගැනීමට අරලිය ගහ මන්දිරයට පැමිණෙන ලෙසත් පවසා සිටීම ඔහුගේ අදූරදර්ශී දේශපාලන චින්තනය ,අයහපත් මානසික සෞඛ්‍යය යන දෙකින් එක කරුණක් හෝ එම කරුණු දෙකම අප හමුවේ තහවුරු කරයි.

ඒ අනුව ජාතික ඇඳුම් නොඅඳින,ගුප්ත ශක්තීන් ඇතැයි යන සමාජ මිථ්‍යාවන් මත පදනම් වූ මුදු,ඇට වළලු, නොපළඳින නිරතුරුවම විදෙස් රාජ්‍ය නායකයන් හමුවීමේ දී පවා ඔවුන්ගේ විස්මයත් කුතුහලයත් පුබුදුවන ලෝහ කැබලි අතේ රඳවා ගෙන සිටීම කෙසේ වෙතත් කිසි දිනෙක අත් ඔර්ලොසුවක් වත් නොපළඳින රනිල් වික්‍රමසිංහ නම් වන මේ අමුතු මිනිසා පවසන ඉහත ප්‍රකාශය හුදු නිසරු ප්‍රලාපයක් ද යන්න අප තව දුරටත් සිතා බැලිය යුතුය.

දමයන්ති ගමගේ

 

එතෙර - මෙතෙර