තාත්තාගේ අභිෂේක මංගල්‍යයට හැරී කුමරු නොඑන ලකුණු

බ්‍රිතාන්‍යයේ චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය පැවැත්වෙන දිනය ටිකෙන් ටික ලංවෙමින් තිබේ. ඒ සඳහා තවත් ඇත්තේ මාස දෙකකට ආසන්න කාලයක් පමණි. බකිංහැම් මාලිගය නිවේදනය කර ඇති ආකාරයට මෙම උත්සවය පැවැත්වෙනු ඇත්තේ මැයි 6 වැනි දින යි. මේ වනවිට මෙම උත්සවය සම්බන්ධයෙන් මාධ්‍ය තුළ ද යම් යම් කතාබහ සිදුවෙමින් ඇති ආකාරය දැකිය හැකි වේ.

මෙයට අදාළව මේ දිනවල වැඩිම අවධානයක් දිනාගෙන ඇති කාරණයක් වන්නේ තම පියාගේ ජීවිතයේ මෙම වැදගත්ම අවස්ථාවට හැරී කුමරු සහභාගි නොවී සිටීවි ද යන්න යි. ඔහු සහ බිරිඳ මෙගන් මාර්කල් මෙම අභිෂේක මංගල්‍යය සඳහා සහභාගි නොවී සිටීමට වැඩි ඉඩක් ඇති ආකාරයක් පෙනෙන්නට ඇතැයි ඒ ගැන අදහස් දක්වන ඇතැම් නිරීක්‍ෂකයෝ සඳහන් කරති.

හැරී කුමරු සහ මෙගන් මාර්කල් දෙදෙනාත්, රජ පවුලත් අතර දැන් කාලයක සිටම ගැටුම් පවතින බව රහසක් නොවේ. මෑත කාලයේ මෙම ආතතිය වඩාත් උණුසුම් වූයේ හැරී කුමරු සහභාගි වූ රූපවාහිනි සාකච්ඡා කිහිපයක දී මෙන්ම ඔහු මෙයට ටික දිනකට පෙර නිකුත් කළ -Spare නැමැති ග්‍රන්ථය හරහා ද රජ පවුල වෙත දැඩි විවේචන එල්ල කිරීම නිසා ය. හැරී කුමරු මේ ආකාරයෙන් රජ පවුල විවේචනය කිරීම බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැසියන් බොහෝ දෙනෙකු ද අනුමත නොකරන ආකාරයක් පසුගිය කාලයේ දක්නට ලැබිණි. මේ නිසා රජ පවුල තුළ මෙන්ම සමස්තයක් ලෙස බ්‍රිතාන්‍යය තුළ ද මේ වෙද්දී පවතින්නේ හැරී-මෙගන් විරෝධී මානසිකත්වයක් යයි පැවසිය හැකිය. එවැනි තත්ත්වයක් තිබිය දී මේ අවස්ථාවේ බ්‍රිතාන්‍යයට යාමට හැරී- මෙගන් දෙදෙනා තුළ බියක්, දෙගිඩියාවක් තිබෙන්නට හැකි බව ඉහත කී නිරීක්‍ෂකයන්ගේ අදහස යි. සමහර විට ජනතාව ඔවුන් දෙදෙනාට ‘හූ’ කියන්නට ද ඉඩ ඇති බවක් පවසා තිබුණේ රජ පවුල පිලිබඳ විශේෂඥයකු වන ක්‍රිස්ටෝෆර් ඇන්ඩර්සන් නැමැති ලේඛකයා ය.

මෙයට මාස කිහිපයකට පෙර එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගි වූ අවස්ථාවේ ද හැරීට සහ මෙගන්ට යම් යම් ගැටලුවලට මුහුණ දෙන්නට සිදු වූ බවක් ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් විය. එම අවස්ථාවේ ඔවුන් යම් දුරකට කොන් කිරීමක් සිදු වූ බවට ද අදහස් පළ වේ. චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය අවස්ථාවේත් එවැනි දෙයක් සිදු වේවි ද යන්න ගැන ඔවුන් කල්පනා කිරීමට පිලිවන. හැරීටත් වඩා මෙගන්ට යම් යම් ගැටලුවලට මුහුණ දෙන්නට විය හැකි බවට ඇතැම් නිරීක්‍ෂකයන් අදහස් දක්වා තිබිණි.

මෙම තත්ත්වය තුළ හැරී කුමරු අභිෂේක මංගල්‍යයට කලින් තම පියා සහ පවුලේ සමීපතමයන් හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබූ බවක් ද සඳහන් විය. පවතින ගැටලු ගැන සාකච්ඡා කිරීමට ඔහු අදහස් කළා විය හැකිය. නමුත් රජුට සමීප ආරංචි මාර්ග මාධ්‍ය සමග පවසා තිබුණේ එවැනි සාකච්ඡාවක් සඳහා අවස්ථාවක් ලැබේවි ද යන්න සැක සහිත බවයි. එයට හේතුව වෙනකක් නොව අභිෂේක මංගල්‍යයේ සංවිධාන කටයුතු නිසා චාල්ස් රජු මේ වනවිට ඉතා අවිවේකී තත්ත්වයක පසුවීම ය.
මෙවැනි තත්ත්වයක් තුළ හැරී සහ මෙගන් අභිෂේක මංගල්‍යය සඳහා පැමිණේවිද යන්න වඩාත් සැක සහිත වී තිබේ.

හැරී සහ මෙගන් දෙදෙනාගේ පුතණුවන් වන ආචී මවුන්ට්බැට්න්- වින්ඩ්සර්ගේ සිව් වැනි උපන් දිනය යෙදී ඇත්තේ ද චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය පැවැත්වෙන දිනයේම වීම විශේෂත්වයකි.

අභිෂේක මංගල්‍යය පැවැත්වීමට නියමිතව ඇත්තේ ලන්ඩන් නුවර පිහිටි වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේ යි. පසුගිය වසර 900 කට ආසන්න කාලයක් මෙවැනි අභිෂේක මංගල්‍යයන් පවත්වා තිබුණේ මෙම දේවස්ථානයේ යි. එහි පැවැත්වෙන ප්‍රධාන උත්සවයට අමතරව තවත් උත්සව රැසක් ඊට පසු දිනවල පැවැත්වීමට නියමිතව තිබේ. වින්ඩ්සර් මාලිගයේ ප්‍රසංගයක් පැවැත්වීමට ද සූදානම් කර ඇති බව සඳහන් ය.

වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේ පැවැත්වෙන උත්සවයේ දී චාල්ස් රජුට මෙන්ම බිසව කැමිලාට ද කිරුළු පැළැඳවීම සිදු වනු ඇත. එයට අමතරව තවත් චාරිත්‍ර රැසක් එහි දී ඉටු කරනු ලැබේ. මෙයට පෙර මෙහි මෙවැනි උත්සවයක් පැවැත්වුණේ 1953 වසරේ යි. ඒ දෙවැනි එළිසබෙත් මහ රැජින අභිෂේක කළ අවස්ථාවේ ය. එම උත්සවයට රටවල් 130 කට ආසන්න සංඛ්‍යාවක් නියෝජනය කරමින් ආරාධිතයන් 8,000 ක් පමණ සහභාගි විය. නමුත් චාල්ස් රජුගේ අභිෂේක මංගල්‍යය සඳහා සහභාගි වනු ඇත්තේ 2,000 ක පමණ පිරිසක් බව සඳහන් වේ. මේ වනවිට රට තුළ පවතින ආර්ථික අර්බුදය හමුවේ මෙම උත්සවයේ වියදම් ද අඩු කිරීමට තීරණය කර තිබිණි.

නිහාල් පීරිස්

අරුමැසි පුවත්