වත්මන් පරිභෝජනවාදී සමාජයේ අනේක විධ මිනිස් අවශ්‍යතා සපුරාලන භාණ්ඩ හා සේවා සඳහා විවිධ මිල ගණන් නියම වනු දක්නා ලැබේ. ඒ ඇතැම් මිල ගණන් පොදු සමාජය හමුවේ ප්‍රසිද්ධියට පත් කෙරෙන අතරේ ඉතා අප්‍රකට ලෙස මිල ගණන් නියම කෙරෙන වෙනම භාණ්ඩ හා සේවා සමුදායක් ද තිබේ. ඒ අතුරින් තුන් කළුඳුල් කාන්තාවකගේ හෝ පිරිමියකුගේ මෘත ශරීරයක් දැවීමෙන් පසු ඉතිරි වන භෂ්මාවශේෂ හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයට අනුව කිවහොත් මිනී අළු වලට අප්රකටව නියම වන මිල ඇසීමෙන් ඇතැම් විට ඔබ විස්මයට පත් විය හැක. ඉතා විශ්වාසවන්ත ක්‍රමයකින් දැන ගන්නට ලැබුණු ආකාරයට ග්‍රෑම් දහයක් පමණ වන එවන් මිනී අළු සුළු ප්‍රමාණයක් අඩුම තරමින් රුපියල් ලක්ෂ පහක් පමණ වත් වෙයි.
ෂෙල්ටන් පීරිස් යනු අප රටේ ආදාහනාගාර වැඩිම ප්‍රමාණයක් තනා නඩත්තු කරන දෙමටගොඩ ආර්. ආර්. කන්ට්‍රක්ෂන්ස් ආයතනයේ එම ඉදිකිරීම් සහ නඩත්තු කිරීම් භාර යාන්ත්‍රික ඉංජිනේරුවරයා ය. මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වන ආදාහනාගාර හැත්තෑවක පමණ නඩත්තු කටයුතු සිදු වනුයේ ඔහුගේ අධීක්ෂණය යටතේ ය.
“තුන් කුළුඳුල් කෙනෙකුගේ මිනියක් දැවුණම ගන්න මිනී අළු වලට දැන් පුදුම වටිනාකමක් තියනවලු නේද?” මම පසුගිය දිනයෙක ඔහුගෙන් විමසා සිටියෙමි.
“සමහරු එහෙම කියනවා මාත් ඕනේ තරම් අහලා තියෙනවා. ඒත්, ඕවා මේ රටේ ඉන්න මෝඩයන්ව අන්දවන බොරු උප්පරවැට්ටිනේ . මිනී අළු ටිකක් වත්තකට ඉස්සම ඒ ගේ දොර වතු පිටි පාළු වෙනවා කියන්නේ කිසිම පදනමක් නැති ගොබ්බ කතාවක්. මිනී අළු වත්තකට දැම්මම ඒවා ඒ වත්තේ ගහ කොළට පෝර වෙනවා කියනවා නම් තමයි ඔන්න හරි.අනික අපේ රටේ ආදාහනාගාර වලින් එක දවසකට මිනී අළු කිලෝ සිය ගාණක් එකතු වෙනවා.ඒ හින්දා කවුරු කවුරුත් එකතු වෙලා.ඒවායින් පොඩ්ඩක් අර ගෙන අපේ රටට සමාජයට වින කරන උන්ව වනසලාම දාන්න පුළුවන් නෙ; ඔය කියන විදිහේ හැකියාවක් තියනවා නම්” ඔහු කීයේ පැහැදිලි උපහාසාත්මක ස්වරයකිනි.
මා දන්නා තරමින් වැඩිහිටි අයකුගේ මෘත ශරීරයක් දැවීමෙන් ඉතිරි වන භෂ්මාවශේෂ ප්‍රමාණය සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් තුනක්, හතරක් පමණ වේ. එබැවින් එක් මිනී අළු ග්‍රෑම් එකක් රුපියල් පනස් දහසක් පමණ වෙතොත්, එක් මෘත දේහයක් ආදාහනය කිරීමෙන් ලැබෙන සමස්ත මිනී අළු ප්‍රමාණයේ වටිනාකම රුපියල් කෝටි විස්සක් පමණ වෙයි. ඒ අනුව මේ වන විට ගංජා අලෙවිය සහ ගණිකා වෘත්තිය නීතිගත කිරීම සම්බන්ධයෙන් සළකා බැලෙන පසුබිමක ඒ සමඟම හූනියම් පිණිස මිනී අළු අපනයනය කිරීම සම්බන්ධයෙන් ද අදාල
බලධාරීන් ගේ අවධානය යොමු විය යුතු විය යුතු යැයි යෝජනා කිරීමට ඇතැමකුට බැරි කමක් නැත. එහෙත්, ඒ සම්බන්ධ බාධකයකට ඇත්තේ අප සමාජය මෙන් ගොබ්බ තකතිරුකම් වලට නම් දැරූ සමාජයක් සහිත රටක් ලෝක සිතියමේ හතර මුළු පිරික්සුව ද සොයා ගැනීම අතිශය අමාරු වීම ය.
“අන, වින, හදි, හූනියම් වලට ඔය මිනී අළු, මිනී ඔළු, මිනී ඇට යොදා ගන්න පුළුවන් කියලා පාරම්පරික විශ්වාසයක් අපේ සමාජයේ තියනවා.මහනුවර යුගයේ වගේ ලියැවුණු යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් පුස්කොළ පොත් වලත් එහෙම දේවල් තියනවා. නමුත් කාගේ හරි ඉඩමකට, වත්තකට මිනී අළු ඉස්සාම ඒ ගේ දොර ඉඩකඩම් පාළු වෙනවා කියලා කතාවක් කොහේවත් නෑ.ඕක නිකම් පුහු මිථ්‍යාවක් විතරයි”. ප්‍රවීණ ජ්‍යොතීර්වේදියකු හා වාස්තු විද්‍යා ගවේෂකයකු වන හේම ශ්‍රී අමරසිංහ මහතා කීය. “පරණ ගුප්ත ශාස්ත්‍ර වල හැටියට මිනී අළු, මිනී ඔළු, ඒ කියන්නේ හිස්කබල් මිනී ඇටකටු කියන්නේ අන වින හදි හූනියම් වලට ගන්න මෙවලම් විතරයි. ඒවා විතරක් යොදා ගෙන හූනියමක් කරන්න බෑ. පෙට්‍රල් වලින් ගින්නක් උපද්දවන්න නම් පෙට්‍රල් වලට ගිනි පුපුරක් හරි ළං කරන්න එපායැ. පාරම්පරික ගුප්ත විශ්වාස වල හැටියටත් ඔය මිනී අළුත් පෙට්‍රල් වගේ තමයි, නිකම් වීසි කළාට අර වගේ වැඩක් ගන්න බෑ.ඒ වගේම ,ඔය අන-වින හදි හූනියම් වල ඵලදායකත්වය කොච්චර ද කියන්න මම දන්නෙ නෑ.හැබැයි ඔය වගේ විනාශකාරී සිතුවිලි දරන අයගේ මනැස් දූෂ්‍ය වීම අනිවාර්යෙන් සිද්ද වෙන හින්දා ඔය වගේ දේවල් කරන අයට නම් නපුරක් විනාශයක් වෙනවා කියන එක අතිශයින් පැහැදිලියි”” ඔහු වැඩි දුරටත් කීය.
ලක්ෂ්මන් ප්‍රනාන්දු යනු ශ්‍රී ලංකාවේ පළපුරුදුම සුසාන භූමි පාලක වරයෙකි. මේ වන විට විශ්‍රාම සුවයෙන් පසුවන ඔහු අවසන් වරට දෙහිවල,ගල්කිස්ස මහ නගර සභා ප්‍රධාන සුසාන භූමි පාලක ලෙස කටයුතු කොට තිබේ.
’‘ඉස්සරම මිනිස්සුන්ට ඔහොම පිස්සුවක් තිබුණේ නැහැ. මේ ළඟකදී ඉඳන් තමයි ඔය මිනී අළු පිස්සුව ඔළුවට ගහලා තියෙන්නේ. ඒත්, දැන් මිනිස්සු සොයන්නේ නිකම්ම නිකම් මිනී අළුත් නෙවෙයි. තුන් කුළුදුල් කෙනෙකුගේ මිනී අළු, කිරි දෙන අම්මා කෙනෙකුගේ මිනී අළු එතකොට කසාද නොබැදපු කන්‍යාවියකගේ මිනී අළු. ඔය වගේ බහු බූත ගොඩයි. ඒ වගේම ලොකුම පුදුමේ කියන්නේ මේ වෙන කොට මේ මිනී අළු හොයන්න උනන්දු වෙන්නේ සමාජයේ නැති බැරි අහිංසක මිනිස්සු නෙවෙයි හොඳ හොඳ දළ කාරයෝ. මටත් ඒ ගැන ආරංචි සෑහෙන්න ඇවිත් තියනවා. ඒත් ඒවා නිශ්චිතව තහවුරු කරන්න සාක්ෂි නැති හින්දා හරියට මුකුත් කියන්න බෑ.හැබැයි එක දෙයක් පැහැදිලියි කවුරු හරි මේ මිනිස්සුන්ට බරපතල විදිහට ලනු දීලා රුපියල් ලක්ෂ ගණන් ගසා කනවා,”ප්‍රනාන්දු මහතා කීය.
ඒ සම්බන්ධයෙන් අප කලෙක සිට කරනු ලබන විමසුම් වලදී මනාව පැහැදිලි වූ එක් කරුණක් තිබේ. එනම් වත්මන් ඉහළ මධ්‍යම පාන්තික සමාජයේ පවත්නා එකි’නෙකා පරයා ඉහළ හැඟීම් තියුණු තරඟය හමුවේ ඇතැමකුට කලින් තමන්ගේ තරඟකරුවන්සේ පෙනුණු පිරිස් සතුරන් සේ පෙනීම මීට හේතුවකි. තරඟකරුවන් සමඟ තරඟ කිරීම සාමාන්‍ය දෙයක් වන අතර සතුරන් යනු නසා වනසා දැමිය යුතු කොටසකැයි යන විශ්වාසය මත ඇතැමකු තමන්ට වඩා සමාජ ආර්ථික වශයෙන් ඉහළ නැගෙන ඥාතිී මිත්‍රාදීන් හා අසල් වාසීන් පවා නසා වනසා දැමීමේ අරමුණින් අති විශාල ලෙස මුදල් වැය කොට මෙවන් “පුස් වෙඩි” පුපුරවා හරිති.
මෙහිදී සාමාන්‍ය වශයෙන් සිදුවනුයේ අන වින හදි හූනියම් වැනි ගුප්ත කටයුතු සඳහා දක්ෂයන් ලෙසින් ජනකාන්ත බවට පත්වන කපටි කයිරාටිකයන් ඒ ඔස්සේ ඉහත සඳහන් ‘ලුම්පන් ගණයේ’ ජන කොටස් ගසා කෑමකි.නිස්සන් යටපත් කොට පුස්සන් සමාජයේ ඉහළ තලයට මතු වීම නූතන සමාජ විලාසිතාවක් වී තිබේ.මට සිතෙන අන්දමට මෙය වත්මන් නව ලිබරල්වාදී සමාජ අර්ථ ක්රමයක අනිසි ප්රතිඵලයකි.ඒ ඔස්සේ සමාජ ජාලා ආදියෙන් මතු වන මෙවන් ජනකාන්ත යකැදුරන් ඇතැම් ආදාහනාගාර සේවකයන් සමඟ රහසිගත කූට එකඟතාවයන්ට එළැඹෙන බව ද කියනු ලැබේ.“මේ වැඩේට ඕනේ කරන්නේ අවුරුද්දක් හමාරක් ඇඳටම වෙලා දුක් විඳපු කෙනෙකුගේ මිනී අළු ටිකක්. නැත්නම් මේ කරන වැඩෙන් සත පහක ප්‍රයෝජනයක් නෑ. ඒ හින්දා අහවල් කනත්තේ ආදාහනාගාරේ වැඩ කරන අහවලා කෙනාවම හම්බු වෙන්න. මාත් කලින්ම කාරණේ කියලා තියන්නම් එයා විස්වාසවන්ත විදිහට වැඩේ කරලා දෙයි” වත්මන් කූට ඇදුරෝ තම ගනු දෙනු කරුවන් එසේ නොමඟ යවති.
“මිනී අළු වලට පිරිත් පැන් බින්දුවක් හරි වැටුණොත් ඒවා නිකම් ම නිකම් අලු බවට පත් වෙනවා. අනික එහෙම පිරිත් පැන් ඉහපු මිනී අළු වලින් ඒ ගුරුකම කරන කොට ඒක කරන කෙනාටත් ඒක තේරෙනවා;ඒකෙන් වැඩක් නොවෙන බව. ඒ හින්දා මේ වැඩේ දී අපිට බොරු කරන්න බෑ” ඇතැම් ආදාහනාගාර සේවකයන් ද කූට ඇදුරන් හා වංචනික සහයෝගාත්මක ස්වරූපයෙන් මිනී අළු සොයා තමන් හමුවට එන්නවුන් එලෙස ගොනාට අන්දවන බව ප්‍රසිද්ධ රහසකි.පසුව ඉන් ලැබෙන මුදල දෙපිරිස අතරේ බෙදී යයි.
“ඔය කියන ප්රොඩාවල් කෙරෙනවය කියන කතාවේ ඇත්තක් තියනවා. නමුත් අපේ මිනිස්සුන් ගෙන් කී දෙනෙක් ඕවාට සම්බන්ධ ද? කියන්න අපිට බෑනේ. අනික අද මේ රටේ ඉහළම ලොක්කන් බක්කන් ගේ ඉඳලා සිද්ධ කරන රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් වල වංචා දූෂණ එක්ක ඔය ආදාහනාගාරවල වැඩ කරන කෙනෙක් කිසිම වැදගැම්මකට නැති මිනී අළු ටිකක් මෝඩයකුට දීලා කීයක් හරි අත මිට මොළවා ගන්න එකත් එච්චර ලොකු දෙයක් නෙවෙයිනේ. නමුත් හැම ආදාහනාගාර සේවකයෙක්ම ඔය වගේ වැඩවලට සම්බන්ධයි කියන එක නම් බරපතල අසාධාරණයක්.මොකද?ඔය වගේ රස්සාවල් කරන හුඟක් මිනිස්සු තමන්ගේ අඹු දරුවන් නඩත්තු කරන්නෙත් බොහොම අමාරුවෙන්” ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා කීය. මෙලෙස මිනී අළු වලට ඉව කරමින් නාගරික සුසාන භූමිවලට පැමිණෙන පිරිස් අතරේ සමාජයේ වැදගත් යැයි සම්මත මහත්වරුන් සේම නෝනලා ද හිඳින බව ලක්ෂ්මන් ප්‍රනාන්දු මහතා ගේ විශ්වාසයයි.ඒ අනුව ජෛවමය උරුමයෙන්ම පිරිමින්ට වඩා සංවේදී බවක් පළ කරන කාන්තා පාර්ශවය මෙම සමාජ තරඟයේදීද සක්‍රිය භූමිකාවක් නිරූපනය කිරීමේ අරුමයක් නැත.
මිනී අළු පිළිබඳ මෙම අන්ධ විශ්වාසය මේ වන විට නාගරික සමාජය තුළ මිස ග්‍රාමීය සමාජය තුළ එතරම් ව්‍යාප්ත වී ඇති බවක් නොපෙනෙයි. ගල්ගමුව ප්‍රාදේශීය සභා ආදාහනාගාරය තැනීමට පුරෝගාමී වූ ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති එච්. කේ.විමලරත්න මහතා ඒ සම්බන්ධයෙන් පළ කරනුයේ මෙබඳු අදහසකි.
“හැබැයි ඉතින් ආදාහනාගාර වලට ඇවිත් ඔහොම මිනී අළු ඉල්ලන අය මේ පළාත්වල ඉන්න බවක් මම නම් අහලම නෑ. එහෙම ඉන්නවා නම් මට ඉඟියක් හරි දැනෙන්න ඕනේ. අනික මිනී අළු අනුන්ගේ ගේ දොර වතු පිටි වලට ඉහිනවා වගේ දේවල් වලින් තමන්ටත් බරපතල පාපයක් සිද්ද වෙනවා.ඒවයේ ප්‍රතිවිපාක තමන්ටත් ලැබෙනවා කියන විශ්වාසය තවමත් මෙහේ හුඟදෙනෙක් තුළ තියනවා. අනික ඔය නාගරික සමාජයේ තියන තරඟකාරී බව තවම මේ වගේ පළාත්වලට ඇවිත් නෑ”
ගල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වරයා වැඩිදුරටත් පවසනුයේ ඒ කෙසේ හෝ මළවුන් ගෙන් පවා ගසාකන ඔවැනි ජාවාරම්කාර යාන්ත්‍රණයක් මේ වන විට සමාජයේ ක්‍රියාත්මක වන්නේ නම් ඒවායේ ඇති නිසරු හරසුන් බව සමාජයට වටහා දීම ඉතා යෝග්‍ය බව ය.
“විද්‍යාත්මකව බැලුවම මිනී අළු කියන්නේ මිනිසාට සහ පරිසරයට හානිකර දෙයක් නෙවෙයි. නමුත් වෝහාරික විද්‍යාඥයන්ට වගේම අධිකරණ වෛද්‍යවරුන්ට මිනී අළු වලින් අපරාධමය සාක්ෂි රාශියක් ගොනු කර ගන්න පුළුවන්. එක්දාස් නවසිය හැට ගණන් වල අනුරාධපුරයේ කලැත්තාවේ සිට වුණු සමූහ මිනී මැරුම් දාමයේ සාක්ෂි රැසක් වැහි වතුරකට කුඹුරකට ගහගෙන ආපු මිනිස් ඇට කැබලි කීපෙකින් අනාවරණය කර ගන්න පුළුවන් වුණා.මිනී අළු වලිනුත් එහෙම වැදගත් සාක්ෂි මතු කර ගන්න පුළුවන්” ශ්‍රී ලංකා විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයකු වන විශේෂඥ අධිකරණ වෛද්‍ය ධනංජය ලක්සිරි වෛද්‍යරත්න මහතා කීය.
“වෝහාරික විද්‍යාවට අනුව බලන කොට මිනී අළුවල සංයුතියේ වුණත් යම් යම් වෙනස්කම් දකින්න පුළුවන්. පණ පිටින් හරි, මරලා හරි පෙට්‍රල් වගේ ඒවා දාලා පුච්චන, මැරුණට පස්සේ ගමේ ලොකු දර සෑයක ආදාහනය කරන නගරයේ පුංචි දර සෑයක ආදාහනය කරන ඒ වගේම අධික උෂ්ණත්වයක් තියන ආදාහනාගාරයක ආදාහනය කරන වගේම සාමාන්‍ය උෂ්ණත්වයක් තියන ආදාහනාගාරයක මිනී අළු වල සංයුතීන්වල යම් යම් වෙනස්කම් දකින්න පුළුවන්. ඒ වගේම වයසක අයගේ නිදන්ගත රෝගවලින් පෙළුණු අයගේ මිනී අළු වල බර ආදියේත් වෙනසක් දකින්න පුළුවන්. ඉතින්, ඒ වගේ තත්වයක් යටතේ මිනී අළු හරි මිනී ඔළු හරි ඇටකටු හරි තියාගැනීමෙන් ඒ තැන්වලටයි ඒවායේ ඉන්න අයටයි විනාශයක් සිද්ද වෙනවා නම් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාල, විශ්ව විද්‍යාලවල වෛද්‍යපීඨවල තියන මිනිස් ශරීර කොටස්වල හැටියට ඒ තැනුයි ඒවායේ ඉන්න අයයි මකබෑවිලාම යන්න ඕනේ නේද?” විශේෂඥ වෛද්‍යරත්න සිනාසෙමින් ඇසීය.
මිනී අළු හෙවත් මිනිස් භෂ්මාවශේෂ සම්බන්ධයෙන් ලෝකයේ ජනතාව දෙයාකාරයෙන් ක්‍රියා කරති. ඉන් එකක් බැහැරලීමය. මෙම බැහැරලීම යනු වැළලීම,ගංගා ඇල දොළ වනාන්තර සහ කඳු ආශ්රිත ප්‍රදේශ වලට බැහැර කිරීමය.මිනිස් භෂ්මාවශේෂ මේ කවර තැනකට කවර ලෙසකින් බැහැර කළද ඉන් මිනිසාට පරිසර පද්ධතියට ජෛවමය ලෝකයටම කිනම් හෝ යහපතක් මිස කිසිදු හානියක් සිදු නොවේ.
මෙම බැහැරලීමට අමතරව මෙම මිනිස් භෂ්මාවශේෂ සම්බන්ධයෙන් මිනිසුන් විසින් ගනු ලබන අනෙක් පියවර වනුයේ සුරක්ෂා කිරීම ය. එය කෙතරම් පුළුල් තලයක පවතින ක්‍රියාවලියක්ද කිවහොත් ඇතමුන් තම ඥාති හිතමිත්‍රාදීන් ගේ භෂ්මාවශේෂ සොහොන් ස්මාරක තුළ තැන්පත් කරන අතර තවත් පිරිසක් ඒවා විශේෂිත බඳුන්වල තැන්පත් කොට තම නිවෙස් තුළම තබා ගනිති.තම මා පියන්ගේ භෂ්මාවශේෂ නිවස ඉදිරිපිට තැනූ බුදු මැදුරක් තුළ තැන්පත් කොට ගෙන හිඳින සුප්‍රකට ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු ගැන ද මවෙත තොරතුරු ලැබී තිබේ. ඒ අනුව මේ මිනී අළු හූනියම් කතාව අමු තකතිරු ගොබ්බ සමාජ මතයක් නොවන්නේද?
තිලක් සේනාසිංහ