ආණ්ඩුව සිය සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් කරමින් භාණ්ඩ පාලන මිල සමාගම් වෙත පැවරුවේ ය. සහල් මිල පාලනයෙන් ඉවත් වෙමින් ඇරඹි ආණ්ඩුවේ ගමන් මඟ අතරමඟ නතර වී තිබෙන්නේ ඉන්ධන මිල අසල ය. ගෑස්, කිරි පිටි, තිරිඟු පිටි හා සිමෙන්ති මිල පාලනයෙන් ආණ්ඩුව ඉවත්වීමත් සමග භාණ්ඩ මිල නූල කැඩුණු සරුංගලයකට සමාන වී තිබේ.
ගෑස් මිල ඉහළ යාම සියළුම පිසින ලද ආහාර මිල ඉහළ යාමට හේතුවිය. ප්ලේන්ටියේ සිට සියළුම ආහාර ද්‍රව්‍යයන්ගේ මිල ඉහළ ගියේ පරණ මිලට ගත් ගෑස් වලට ද නව මිල ආරෝපණය කරමිනි.සමහරුන් මිල දී ගත් ගෑස් වල ද මිල හෝටල් ආපන ශාලා තුළදීම වැඩි කරගෙන තිබේ.ඒ අනුව සාමාන්‍ය බත් පැකැට්ටුවක මිල රුපියල් 200 දක්වා ඉහළ ගියේය. පැහැයෙන්, රසයෙන් සුවඳින් තරමක් ඉස්තරම් බත් පැකැට්ටුවක මිල රුපියල් 350 කි.
ප්ලේන්ටියක් රුපියල් 25 ත් 30 ත් අතර මිලකට අලෙවි කෙරේ. කොත්තු රොටියේ සිට බුරියානි, ෆ්‍රයිඩ් රයිස් දක්වා සෑම ආහාරයක්ම රුපියල් 50 ත් 100 ත් අතර මිල ගණන්වලින් ඉහළ ගොස් තිබේ. මේ නිසා සමහර කෑම කඩ වේලෙන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් කියයි.
එක් පසෙකින් හෝටල් වේලෙද්දී තවත් පසෙකින් හෝටල් හිමියෝ “ඇරියස් කවර්” කරමින් සිටිති. කොවිඩ් නිසා පසුගිය කාලයේ හෝටල් බොහොමයක් වසා දමා තිබුණි. එම කාලය තුළ ගෙවිය යුතු විදුලි බිල්, ජල බිල් ආදී ඔවුන්ගේ වියදම් ආවරණය කිරීම උදෙසා හිතූ හිතූ මිලට ආහාර පාන අලෙවිකරමින් සිටිති.
ආහාර පාන මෙන්ම බේකරි නිෂ්පාදනවල ද මිල ඉහළ ගොස් තිබේ. සිමෙන්ති මිල ඉහල යාම නිසා ඉදිකිරිම් ක්ෂේත්රයේ ද මිල ගණන් ඉහළ ගොස් ඇත. කෙසේ වෙතත් ඉන්ධන මිල ද ඉහළ දැමීය යුතු බවට යෝජනා ඉදිරිපත් වෙමින් තිබේ. ඉන්ධන මිල ඉහළ යාම තුළ නැවත වටයකින් සියළු භාණ්ඩ හා සේවාවන්ගේ මිල නොසිතූ ලෙස ඉහළ යනු ඇත.
භාණ්ඩ මිල ඉහළයාම ඇතැම් නාගරික ප්‍රදේශ තුළ පොදු වැසිකිළි භාවිතා කරන්නවුන්ගෙන් අය කරන මිල ඉහළ දැමීමට හේතුවී තිබේ. එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ පිරිසිදු කාරකවල මිල ඉහළ යාම ය.
එම නිසා පොදු වැසිකිලි භාවිතා කිරීම වෙනුවෙන් අය කරන මිල ඉහළ දැමූ බව ඔවුහු කියති. පොදු වැසිකිලි ටෙන්ඩරය ලබාගත යුත්තේ නගර සභා හෝ ප්‍රාදේශීය සභාවලිනි. එබැවින් හිතූ හිතූ මිල තීන්දු කළ නොහැක. නමුත් ආණ්ඩුවේ ඉහළින් පාලනය ගිලිහෙන විට පහළ ද නිෂ්ශබ්දව සිටින බව මෙයින් පෙනේ.
තමන්ගේ කවර හෝ කටයුත්තක් වෙනුවෙන් පැය කිහිපයක් නගරයේ රැඳෙන පුද්ගලයාට ප්ලෙන්ටියට ගෙවන මුදලේ සිට සුළුදිය පහ කිරීම වෙනුවෙන් ගෙවන මුදල දක්වා සියළු වියදම් ඉහළ ගොස් තරු පෙන්වා තිබේ. එම නිසා නගරයට එන පුද්ගලයාට ප්ලේන්ටිය පානය කිරීම මෙන්ම සුළු දිය පහ කිරීම ද නොකර නැවත නිවසට යාමට සිදුව තිබේ.
ආනයනික කිරි පිටි මිල ඉහළ දැමීමට හේතුව ලෙස අදාළ සමාගම් කීවේ ලෝක වෙළෙද පොලේ පිටි මිල ඉහළ යාම හා ඩොලරයේ අගය පහත වැටීම මත මිල ඉහළ දැමීමට සිදුවන බවය. එය ඇත්ත නම් පැල්වත්ත හා හයිලන්ඩ් කිරිපිටි මිල ඉහළ ගියේ කුමන කාරණය පදනම් කරගෙන ද යන්න පැහැදිලි නැත. හයිලන්ඩ් යනු සියයට සියයක්ම දේශීය කිරි වලින් පිටි නිෂ්පාදනය කරන ආණ්ඩුවේ සමාගමකි.
පැල්වත්ත සමාගම ද කියන්නේ තමන් ද සියයට සියයක් දේශීය කිරි ගොවියාගෙන් ගන්නා කිරිවලින් පිටි නිෂ්පාදනය කරනු ලබන සමාගමක් බවය.
පැල්වත්ත ආනයනික කිරි පිටි සමාගම් වැඩි කළ මිලටම පිටි මිල වැඩි කළ අතර හයිලන්ඩ් සමාගම ග්‍රෑම් 400 පිටි පැකැට්ටුවක් රුපියල් 90 කින් ද කිලෝවක පිටි පැකැට්ටුවක් රුපියල් 225 කින්ද ඉහළ නැංවූවේය. හයිලන්ඩ් සමාගමේ සභාපති ලසන්ත වික්‍රමසිංහ කියා සිටියේ සමාගම සතු පාඩු අවම කිරීමටත්, කිරි ගොවියාට ගෙවන මිල ඉහළ දැමීමටත් සිය කිරි පිටි මිල ගණන් ඉහළ නැංවූ බවය.
මෙය හතර බීරි කතාවකි. ආණ්ඩුවේ හයිලන්ඩ් සමාගම පාඩු අවම කිරීමට පිටි මිල වැඩි කරන බව කියද්දී ඛනිජ තෙල් සංස්ථාව ද තෙල් මිල වැඩි කරන්න ඉල්ලා සිටින්නේ පාඩු අවම කිරීමට බව කියමිනි.ඒ අනුව ආණ්ඩුව කරන්නේ ද ආණ්ඩු කිරීමක් නොව බිස්නස් එකක් බව පෙනෙයි.
පාඩු ලබන නිසා මිල වැඩි කරනවාය කීම තරම් ඇමතිවරුන් කියන තවත් තුච්ඡ ප්‍රකාශයක් ඇතැයි නොසිතේ.ආණ්ඩුවේ ඕනෑ එපාකම් වෙනුවෙන් කරනා ලද නාස්තිකාර වියදම් මත ලබන පාඩුව ජනතාවගේ කරපිට පැටවීම සාධාරණ නැත.
ජනතාව පීඩාවට පත් කරන සෞභාග්‍යයේ දැක්මේ ඖෂධ මිල ද ඉහළ ගොස් තිබේ. මාස කිහිපයකට පෙර ඖෂධ ගත් මිලට වඩා තුනෙන් එකක වැඩි වීමක් සියළු ඖෂධවල දක්නට ලැබේ.ෆාමසි කරුවන් කියන්නේ දුප්පත් මිනිහාට සහන සැලසූ එස්පීසී බෙහෙත් ලැබීම ශීඝ්‍රයෙන් අඩු වෙමින් තිබෙන බවය.
කලින් වෙළඳ පළට නිකුත් වී මේ වනවිට වෙළඳ පොලට නෝන එස්පීසී ඖෂධ වල නම් ෆාමසි හිමියෝ කට පාඩමින් කියති. මිල පාලනය සුරංගනා කතාවක් බවට පත්වීමත් සමඟ පාරිභෝගික අධිකාරිය විහිළු සපයන ආයතනයක් බවට ආණ්ඩුව විසින්ම පරිවර්තනය කර ඇත.
මේ අතර සාගිනි දර්ශකය ද ඉකුත් දිනක එළිදක්වනු ලැබීය. එහි ලංකාවට හිමිව ඇත්තේ රටවල් 116 කින් 64 වන ස්ථානයේ ය. ගිය වසරට වඩා ශීඝ්‍ර වර්ධනයක් මෙහි දක්නට ලැබේ.
සාගිනි දර්ශකයේ ඉහළට යාම සාගිනි ඇති රටක් බවට ලංකාව පරිවර්තනය වන බවට පැහැදිලිවීමකි. දැන් බඩ ගැන නොසිතා රට ගැන සිතිය යුතු කාලය එළඹ ඇතැයි පොහොට්ටු මාධ්‍ය ප්‍රකාශක සාගර කාරියවසම් කියයි.
බඩ ගැන නොසිතීම යනු උදර පෝෂණය ගැන නොසිතීමය.නො එසේ නම් බඩගින්නේ හිඳීමය.
ඒ අනුව බඩ ගැන නොසිතා රට ගැන සිතීමට යාමේදී සිදුවන එක දෙයක් තිබේ.එනම් රට එපා වීමය.දැනටමත් බොහෝ දෙනෙකුට එය සිදු වෙමින් තිබේ.
ලසන්ත වීරකුලසූරිය